මම ප්‍රසිද්ධියේ සමාජ සත්කාර කරන්නේ පොර කියන ලේබලය ගහගන්න නෙවෙයි - විශ්ව කොඩිකාර

Friday, July 09, 2021 , 0 Comments

 



උතුම් පැතුම්, පාරා, නෙතු, පැහැසරා ආදී ටෙලි නාට්‍ය ගණනාවක අමතක නොවන චරිත රැසකින් සහෘදයන්ගේ සිත් සතන් තුළ ලැගුම් ගත් ඔහු විශ්ව කොඩිකාරයි.  ඔහුගේ මේ දවස්වලප වැඩකටයුතු ගැන මෙලස පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


කොහොමද මේ දවස්වල ජීවිතේ?

“කියාදෙන්න ආදරේ තරම්”, “අහස් මාලිගා" නාට්‍යවල රූගත කිරීම් එක්කයි මේ දවස්වල කාලය ගත කරනෙ.


කලාවේ මුලකුරු කියවන්නේ පිය ආභාෂයෙන් නේද?

මගේ පියා චිත්‍රපට නිෂ්පාදන   අධ්‍යක්‍ෂවරයෙක්. ඒ නිසාම මට පොඩි කාලේ ඉඳන්ම කලාවට ලොකු ළැදියාවක් තිබුණා. නමුත් කිසිම විටෙක තාත්තා කලාවට පිවිසෙන්න බල කළේ නැහැ. සදාදර ජෝති චිත්‍රපටයෙන් මට රංගනයට පිවිසීමට වරම් ලැබුණා. ඒ චිත්‍රපටයට රංගනයෙන් දායක වීමෙන් පසුව පියා මට පවසනවා රංගනයෙන් තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා නම් රංගනය ගැන හදාරන්න කියලා. ඒ අනුව මං මහෙන්ද්‍ර පෙරේරා රංගන අභ්‍යාස ආයතනයෙන් වසර තුනක් රංගනය හදාරනවා. ඉන්පසුවයි කලා ජීවිතයට අපොත් තබන්නේ.


ටෙලි නාට්‍යවල ඔබව සුලබව දකින්න ලැබුණත්, චිත්‍රපටවල ඔබව දකින්නේ ඉතාමත් අඩුවෙන්. ඇයි පුංචි තිරයට විතරක් කොටු වුණේ?

මං චිත්‍රපට හයක පමණ රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේත්ම චිත්‍රපට තුනකට පමණ රංගන ආරාධනා ලැබුණත් ඒවා ප්‍රතික්ෂේප කරන්න සිදුවුණේ ඒ වෙනකොට භාරගෙන තිබුණු නිර්මාණවල කාර්යබහුලත්වය නිසයි. මම යම් නිර්මාණයකට දින දුන්නට පසුව තවත් හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණත් ඒක ප්‍රතිෂ්ප කරනවා. එවැනි අවස්ථාවලදී මට හොඳ නිර්මාණ කිහිපයක්ම මඟහැරුණා.


කලාව තුළ ස්ථාවරත්වය ගොඩනඟාගන්න රංගන ශිල්පීන් වන්ම රංගන ශිල්පිනියන් තමන්ගේ මාර්ගය සකසා ගත යුත්තේ කෙසේද?


සෑම ක්ෂේත්‍රයකම පැවැත්ම තීරණය වන්නේ අධ්‍යපනය මත. අත්දැකීම් තුළින් ලබන අධ්‍යපනය වගේම තම කුසලතාව වර්ධනය කර ගැනීමට රංග අභ්‍යාසවල නිරන්තරයෙන් පිහිටිය යුතුයි. කලාව හැමෝටම පිහිටනෙ නැහැ. ඒ නිසා එකී ශාස්ත්‍රය තුළට  පිවිසෙනවා නම් ඇවිත් යන්න එන්නෙ නැතුව කලාව තුළ ස්ථාවරත්වය ගොඩනගා ගන්න අවශ්‍යයි. එයට ප්‍රමාණාත්මක රංගන අධ්‍යපනයක් ලැබිය යුතුමයි.


ඔබ වෘත්තීය රංගන ශිල්පියෙක්ද?


|ඔව්. මම වෘත්තීයමය රංගන ශිල්පියෙක්. වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් හෝ වෙනත් කිසිදු වෘත්තියක මං නියැළෙන්නේ නැහැ.


ඔබ බොහොමයක් සමාජ සත්කාර ප්‍රසිද්ධියේ සිදු කරන කෙනෙක්. ඔබ එයින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?


සමාජ සත්කාර ප්‍රසිද්ධියේ කරන්නේ මං පොරක් කියන ලේබල් එක ගහගන්න නෙමෙයි. මාව ආදර්ශයට අරන් තවත් කෙනෙක්ට අනුන්ගේ දුකට සංවේදී වෙන හැටි කියා දීමටයි මං එය සිදු කරන්නේ . මං දිහා බලලා එක් අයෙක් හරි තවත් කෙනකු වෙනුවෙන් පරිත්‍යාගශීලී වෙනවා නම් මං එතැනදී ජයග්‍රහණය කරලා.


කලා ක්ෂේස්ත්‍රයේ මිතුරන් ගොඩනඟාගන්න අපහසුයි කියලා කතාවක් තියෙනවා. එය ඇත්තද?

තවත් කෙනෙක්ට ගරු කරන්න, තවත් කෙනෙක්ව තේරුම් ගන්න බැරි නම් ඔහුට හෝ ඇයට කිසිම ක්ෂේත්‍රයක යහළුවන් ඇති කරගන්න බැහැ. බොහෝ දෙනෙක් එවැනි කතා කියන්නේ තමන්ගේ දුර්වලතා වසාගන්න. ආගමට දහමට අනුව ජීවත් වෙමින් මිත්‍රත්වයට හදවතින් අවංක වෙනවා නම් කලා ක්ෂේත්‍රය විතරක් නෙමෙයි ඕනෑම ක්ෂේත්‍රයක මිතුරන් ඇති කරගන්න පහසුයි.


නිෂ්පාදන, අධ්‍යක්ෂණ කාර්යයන්ට අත ගසන්න බලාපොරොත්තුවක් තියෙනවද?


නිෂ්පාදකවරයෙක් වෙන්න හිත්තේ ලොකු ආසාවක් තියෙනවා. ඒ හීන් ඉෂ්ට කර ගන්නයි මං පෙරුම් පුරනේ. අධ්‍යක්ෂණ කාර්යයට යොමු වෙන්න මට තවත් අත්දැකීම් එක් විය යුතුයි කියා මං හිතනවා. අනාගතයේදී එයටත් උත්සාහ කරනවා.


පවුලේ විස්තර ගැන කිව්වොත්?


මගේ පවුලේ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි ඉන්නේ. අක්කා විවාහකයි. මාත් විවාහකයි. අපේ පුංචි කැදැලේ මායි, බිරියයි, දරුවෝ දෙන්නයි ඉන්නවා. මගේ බිරිය ව්‍යපාරිකාවක්. ඇය එරන්දි හස්කවිතාන ගමගේ. ලොකු දුව කාවිද්‍යා කොඩිකාර ගමගේ. පුතා ඕනෙත් කොඩිකාර.


වෘත්තීන් දෙකක විවාහය සිදු වුණාම වෘත්තීමය ජීවිතය තේරුම් ගැනීමට නොහැකිව පවුල් ප්‍රශ්න ඇති වෙනවා කියලා කතාවක් තියෙනවා. කලාකරුවන්ට එහි ගැටලුකාරී තත්ත්වය තදින්ම දැනෙනවද?


මං ඒ කතා විශ්වාස කරන්නේ නැහැ. තේරුම් ගැනීම පුද්ගලානුබද්ධ දෙයක්. කලාකරුවන්ට පමණක් එය විශේෂ දෙයක් නෙමෙයි. විවාහය තුළ එකිනෙකාව තේරුම් ගන්නවා වගේම වෘත්තියේ ස්වභාවයත් තේරුම් ගන්න අවශ්‍යයි. අපේ පවුල ඇතුළත් පුංචි පුංචි රණ්ඩු වෙනවා. ආයෙත් යාළු වෙනවා. පවුල් ජීවිතේ හැටි එහෙමයි.


අනාගත බලාපොරොත්තු මොනවාද?


වෘත්තීයමය වශයෙන් නිෂ්පාදන කාර්යයට පිවිසීමට බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වගේම හොඳ නිර්මාණ තුළින් ප්‍රේක්ෂකයා අතරට ඒමටත් කැමැත්තක් තියෙනවා. දරුවො දෙන්නට හොඳ අධ්‍යාපනයක් ලබා දීලා පවුලක් ලෙස ඉදිරියට ගමන් කිරීමත් මගේ එක බලාපොරොත්තුවක්.