ජනප්‍රිය ලේබලය ගහගෙන ඒක පස්සේ යන උන්මාදයක් මට නැහැ - තුමිදු දොඩන්තැන්න

Thursday, July 01, 2021 , 0 Comments




තුමිදු දොඩන්තැන්න කියනවාට වඩා ‘කූඹියා’ යැයි කී විට හැමදෙනෙකුම පාහේ ඔහුව හොඳින්ම හඳුනන්නේ. ඇත්තෙන්ම.., තුමිදු ගැන වැඩි විස්තර කියන්නට අවැසි නැති තරමටම ඔහුගේ ප්‍රභාව කවුරුත් වාගේ ඇස්වලින් හරිම යසට රසවිඳ අවසානය. එලෙසම චරිත තෝරා බේරා ගැනීමේදී තුමිදු දොඩන්තැන්න බොහෝ අරපරෙස්සම්ය. නිතර ඔහුගේ රුව පුංචි තිරය මත දිස් නොවන හේතුවද එයම වන්නට ඇත.

එහෙත්..,ප්‍රේක්‍ෂකයන් තුමිදුගේ පෙරළිකාර රඟ සෝබාව නැවැත දැක බලා ගැනීමේ පිපාසය අතහැර නැතුවා සේය.කෝ අර ‘කූඹියෝ’ එකේ හිටපු ‘ඩබල් ගේම්කාරයා..,’ ඔහු දැන් රඟපාන්නේ නැතිද..?

තුමිදු ගැන එවැනි සිත්කලු කසුකුසු ඕනෑ තරම් අසන්නට ඇත. ඇත්තටම තුමිදු රංගනයෙන් ඈත්වෙලාද?එහෙමත් නැත්නම් යම් කලකිරීමක් මත ඔහු රංගනයට තිත තියලාද..?එකී ප්‍රශ්නවලට, ඕපාදූප සහිත හරසුන් උත්තර සොයනවාට වඩා තුමිදුගෙන්ම සියල්ල අසා දැනගන්නට අපට ඕනෑ විය. ඉතින්..,තුමිදු දොඩන්තැන්න හෙවත් ‘කූඹියෝ’ හී පෙරලිකාර ‘ඩබල් ගේම්කාරයා ජෙහාන්’ දැන්  ඒ විස්තර ගැන පුවත්පතකට ෙමලස පවසා තිබුනා.


කියන්න තුමිදු අපට මුලින්ම, කොහොමද මේ දවස්වල ජීවිතේ…?

මේ දවස්වල නම් ඉන්නේ ටිකක් විතර කාර්යබහුලවයි. මොකද කියනව නම් මගේ පශ්චාත් උපාධියට මම සූදානම් වෙනවා.


 රංගන කටයුතුවලින් බැහැරව ඉන්නේ ඒ හේතුව නිසාද?

ඒකත් එක්තරා හේතුවක්… අනෙක නිතරම රූපවාහිනී තිරයේ පෙනී සිටින්න ඕනෑය කියන නළුවන් අතරට මම එකතු වන්නේ නැහැ. ප්‍රේක්‍ෂකයා නිතර කතාබහට බඳුන්කර ගන්නා හෝ ඔවුනට අමතක නොවන චරිතයක් මතක හිටින විදියට රඟපාන එක තමයි බොහෝ විට මගේ අභිප්‍රාය වන්නේ.

ඒ වාගේම ජනප්‍රිය ලේබලය ගසා ගැනීමේ හෝ ඒ පසුපස යෑමේ චේතනාවක්ද මා තුළ නැහැ. එය අවශ්‍ය වන්නේ නළුකම වෘත්තීය කරගත් රංගවේදීන්ට පමණයි. අමතක නොකර මා කිව යුතුයි රංගනය වෘත්තීය කරගත් රංගවේදීන් තම නම ජනප්‍රියත්වයෙහි තබා ගැනීමට ගන්නා වෙහෙස වරදක් යැයි කියා මම කියන්නේද නැහැ.


 ප්‍රේක්‍ෂකයනට තවමත් දැකගැනීමට නොහැකි වූ ඔබේ නිර්මාණ කිසිවක් තිබෙනවාද?

ඔව්.., ලක්මාල් ධර්මරත්න නිර්මාණයෙන් දායක වූ උසස් ටෙලිනාට්‍යයකට මම සහභාගි වුණා. එය වෙනස් මඟක් ගත් අපූරු කතා වස්තුවක්… ‘කෝවිඩ්-19’ උවදුරත් සමග එහි රූගත කිරීම් කඩින්කඩ අඩාළ වුණා. සියල්ල සම්පූර්ණ වූ පසු එය ප්‍රේක්‍ෂකයනට දැකගත හැකි වේවි. තවමත් එයට නමක් තබා නැහැ.

එලෙසම ආරාධිත රංගනයෙන් මා හවුල් වූ චිත්‍රපට කිහිපයක්ම පෝලිමේ රැඳී තිබෙනවා. එයද ‘කොවිඩ්-19’ උවදුර නිසා තවමත් තිරගත වූයේ නැහැ.


ඔබ රංගනයට එක්වන්නේ හොඳ සහ නරක යන තෝරා ගැනීම මත?

ඔව්… මම නිතර තෝරා බේරා ගැනීමට වෙහෙස වෙනවා.


එයට හේතු වන්නේ ඔබේ කථිකාචාර්ය පදවියෙහි ගරුත්වයද?

එහෙමමය කියා කියන්නට අපහසුයි. තෝරා ගැනීමේ ප්‍රධානම හේතුව වන්නේ මගේ වටිනා කාලයෙන් මම වැය කරන පැය ගණන හරසුන් නිර්මාණයකට තිළිණ කිරීමට මම කැමැති නැහැ. අනෙක් කාරණය, මම ප්‍රේක්‍ෂකයාට දුන් දේ පිළිබඳව වගකීම කියන දේ මා සතුව තිබිය යුතුය යන හැඟීමටද මම ගරු කරනවා. ඒ වාගේම මම රඟපාන චරිතය සමාජයට යම් පණිවුඩයක් එකතු කරන ප්‍රයෝජනවත් මෙහෙවරක්ද විය යුතුයි.


 එම හේතු පාඨ මත ඔබ අතින් ප්‍රතික්‍ෂේප වූ චරිතයන් තිබෙනවද?

ඔව්… මම ඉතාම සුහදව එම නිර්මාණකරුවන් හමුවේ මගේ මනාපයක් නැති බව ප්‍රකාශ කළා.


යමක් කළ හැකිව තිබූ හොඳ නිර්මාණ ඔබට මගහැරුණු අවස්ථා තිබෙනවද තුමිදු?

සත්තකින්ම ඔව්… ඉතාම උසස් ගණයේ සාර්ථක චරිත නිරූපණයන් මා අතින් ගිලිහී ගිය කනගාටුදායක අවස්ථා තිබෙනවා. එයට හේතු වූයේ මගේ අසීමිත වැඩ කන්දරාවයි.


 එය අපරාධයකැයි ඔබ ඒ ගැන සුසුම් හෙළනවාද?

ගිලිහී ගිය වටිනා අවස්ථාවන් ගැන ශෝකයක් ඉතිරිව තිබෙනවා. නමුත් ඒ ශෝකය යටපත්ව යන විදියේ බොහෝ වටිනා දෑ එම මඟහැරී යෑම තුළ මට ලැබුණා. මම විතරක් නෙවෙයි බොහෝ ප්‍රවීණයත්වයට පත් කලාකරුවනටද එවැනි සංකීර්ණ තැන් තම රංගන ජීවිතයේදී හමුවෙනවා.


ප්‍රවීණත්වයට පත් ලෙස්ටර් – සුමිත්‍රා සුසංයෝගය ‘වෛෂ්ණාවී’ සඳහා ඔබ සොයා ආවේ ‘කූඹියෝ’ හී ජෙහාන්ව දැකලාද?

නැහැ… ‘වෛෂ්ණාවී’ රූගත කිරීම් සිදුවූයේ 2012දී පමණ. එය තිරගත වීමට බොහෝ කල් ගතවුණා. ‘කූඹියෝ’ හී ජෙහාන් පුංචි තිරයට එන විට ‘වෛෂ්ණාවී’ නිර්මාණය කර අවසානයි. ලෙස්ටර් සහ සුමිත්‍රා යන උසස් ගණයේ ප්‍රවීණයන් මා සොයා ආවේ ‘සංකාරා’ චිත්‍රපටයෙහි මා කළ නිරූපණය නිසයි.



 ඔවුන්ගේ පැමිණීම ඔබට ගෞරවයක් වුණා..?

අනිවාර්යයෙන්ම… ඔවුන් මා සොයා පැමිණීම මට විශාල සතුටක් වාගෙම ගෞරවයක්… අනෙක ‘වෛෂ්ණාවී’ චරිතයට මගේ සිත බොහොම ප්‍රිය කළා… නිතර නොදකින එවැනි කතා වස්තූන් හරිම ආශ්වාදජනකයි.


 තුමිදු ඔබ වඩාත්ම ප්‍රිය වූයේ වේදිකාවට නේදැයි කියා ඇසුවහොත්?

ඔව්… මම වේදිකාවට හරිම ප්‍රියයි. මගේ රංගනයෙහි ආරම්භය සහ ආභාෂයද එයයි. වේදිකාව කියන්නේ ඉතාම හොඳ නිර්මාණකරුවන් බිහිකරන තෝතැන්නක්.


 උසස් ගණයේ ප්‍රවීණයන් බොහොමයක් බිහිවූයේ වේදිකාවෙන් කියන මතය තුළ ඔබත් සිටිනවාද?

නැහැ… එවැනි මතයක් මා තුළ නැහැ. වේදිකාව හොඳ නිර්මාණකරුවන් බිහි කළා. ඒ වාගේම වේදිකාවට පය නොතැබූ අති විශිෂ්ට ගණයේ කලාකරුවන්ද සිනමාව සහ ටෙලි කලාව තුළ ඕනෑ තරම් සිටිනවා.


 ඔබ ගත් විරාමය දිගු වැඩියි.., ප්‍රේක්‍ෂකයන් ඔබව සොයනවා තුමිදු..?

ඔව්… මටත් වුවමනාව තියෙනවා ආලින්දයේ සිනමාවට කරපොවන්න. මාව ප්‍රේක්‍ෂකයනට ඕනෑ නම්, ඒ තරමටම මටද ඔවුන් අතරට යෑම අවශ්‍යයි. උපාධිය නිමවූ වහාම අප හමුවේවි මම හිතන්නේ.


ඔබ කතාබහට ලක්වූ සාර්ථක නළුවෙක්. ඒ නළුකම ඔබ කවදා හෝ දුටු හීනයක්ද?

අපොයි නැහැ… නළුවකු වීමේ හීනයක් නම් තිබුණේ නැහැ. ඒ වාගෙම ජනප්‍රිය වීමේ උන්මාදයක් මා තුළ වූයේ නැහැ.