අද අරියි හෙට අරියි කියලා බල බල ඉඳලා බැහැ - නොයල් රාජ්

Friday, July 02, 2021 , 0 Comments



ලෝකය පුරා ඇති වෙලා තියෙන වසංගත තත්ත්වය අපි හැමෝගෙම ජීවිතවලට විවිධාකාරයේ බලපෑම් එල්ල කරලා තියෙනවා. කලාකරුවන් අතරින් ඒ බලපෑම වැඩියෙන්ම එල්ල වෙලා තියෙන්නේ සංගීත ශිල්පීන්ට කිව්වොත් ඒකේ වැරැද්දක් නැහැ. විශේෂයෙන් කණ්ඩායම් සංගීතයේ නියුතු කලාකරුවන්ට ඒ බලපෑම ඉතාම තදින් දැනිලා තියෙනවා. මේ තත්ත්වයට ඒ කලාකරුවෝ මුහුණ දෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හොයලා බලන්න අපිට හිතුණා. ඒ ගැන දැන නොයල් රාජ්ට ෙමලස පුවත්පතකට විස්තර පවසා තිබුනා. 


 මේ දවස්වල මොකද කරන්නේ කියලා කලාකරුවෙක්ගෙන් අහන එකත් ලොකු ප්‍රශ්නයක්. ඒ අමාරු ප්‍රශ්නයට උත්තර දීලම අපි කතාබහ පටන් ගමු?

මේ දවස්වල සංගීත ක්ෂේත්‍රය ගැන කතා කරන්න දෙයක් නැහැනේ. මේ තත්ත්වය කවදා වෙනස් වේවිද කියලා බල බල ඉන්නත් බැහැ. ඒ හින්දා මායි මගේ නෝනයි පුංචි ව්‍යාපාරයක් පටන් ගත්තා. මේ දවස්වල ඒ වැඩ ටික බලා කියාගෙන ඉන්නවා.


ඒත් බොහෝ සංගීත ශිල්පීන් නිවාඩු පාඩුවේ අලුත් නිර්මාණ කරනවා. ඔබට එහෙම අදහසක් නැද්ද?

මේ තියෙන මානසික මට්ටමත් එක්ක ඒ වගේ දෙයක් කරන්න ඇත්තටම බැහැ. නිර්මාණයක් කරන්න නම් ඒකට හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනෑනේ. ඒ හින්දා මේ දවස්වල අලුත් නිර්මාණයක් ගැන හිතලාවත් නැහැ.


 මානසික මට්ටම ඒ තරම් අයහපත් වෙලා තියෙන්නේ මේ රටේ ලෝකේ තියෙන තත්ත්වය හින්දද? නැත්නම් වෙනත් දෙයක්ද?

අනාගතය ගැන හරිම අවිනිශ්චිත වටපිටාවකනේ අපි හැමෝව ජීවත් වෙන්නේ. හෙට මොනවා වෙයිද කියන එක කාටවත් කියන්න බැහැ. ඒ හරහා ප්‍රශ්න ගොඩක් නිර්මාණය වෙලා තියෙනවා. එහෙම වටපිටාවක හොඳ මානසික මට්ටමක් තියෙන්න විදියක් නැහැනේ.


කලාකරුවෝ කියන්නේ ජනතාවගේ සතුට වෙනුවෙන් කැපවන පිරිසක්. ඒ අය මෙහෙම අසරණ වුණාම ඒ ගැන බලන්න කවුරුත් නැහැ වගේ නේද? කවුරුත් ඒ අයගේ ප්‍රශ්න ගැන හොයන්නේ නැහැ කියන එකද ඔබ කියන්නේ?

නැහැ. මේ වෙලාවේ එහෙම කියන්න බැහැ. මොකද මේක හැමෝටම බලපාන තත්ත්වයක්. මේ ප්‍රශ්නය ඇත්තටම කතා කරලා වැඩක් නැති එකක්. මොකද කාටවත් මේකට උත්තර නැහැ. මේ වෙලාවේ ප්‍රසංග තියන්න දෙන්න කියලා අපිට ඉල්ලන්න බැහැ. කවදා ඒකට ඉඩ ලැබේවිද කියලත් කියන්න බැහැ. ඒ හින්දා මම නම් කියන්නේ මේ ටික දවසට ජීවත් වෙන්න පුළුවන් ආදායම් මාර්ගයක් හැමෝම හොයා ගන්න එක තමයි හොඳ.


 සංගීතය පැත්තෙන් අනාගතය ගැන බලාපොරොත්තු සියල්ල අත්හැරලා වගේ තමයි ඔබ කතා කරන්නේ?

එහෙම දෙයක් නෙවෙයි. මේ විදියට හැමදාම තියෙන එකක් නැහැ. මේවා අතීතයේදීත් ඇති වෙලා තියෙනවා. ඒත් තත්ත්වය සාමාන්‍ය අතට හැරෙනකම් අපි ජීවත් වෙන්න ඕනේ. ඒ හින්දා හෙට මේක හරියාවි, අනිද්දා හරියාවි කියලා බල බල ඉන්නේ නැතිව එදිනෙදා ජීවත් වෙන්න පුළුවන් තරමට හරි ආදායම් මාර්ගයක් හදාගන්න එක හොඳයි කියලයි මම හිතන්නේ. එහෙම හිතලා කටයුතු කරන්න කියලයි මම අපේ සහෝදර කලාකරුවන්ගෙනුත් ඉල්ලන්නේ.


එතකොට ඔබේ සංගීත කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් මේ අවස්ථාවට මුහුණ දෙන්නේ කොහොමද?

අපි සංගීත කණ්ඩායම පටන් අරගෙන දැන් අවුරුදු තුනක් වෙනවා. කණ්ඩායම පටන් ගනිද්දිම මම හැමෝටම එක දෙයක් කිව්වා. අපි මේක දෙවැනි වෘත්තිය විදියට තියාගමු කියන එක තමයි මම කිව්වේ. මොකද ඉස්සරහට සංගීතය අංක එකට තියාගෙන ගමනක් යන්න බැහැ කියන එක මට තේරිලා තිබුණා. ඒ හින්දා අපේ කණ්ඩායමේ බොහෝ දෙනෙක් වෙනත් රැකියාවක නිරත වෙන ගමන් තමයි සංගීතය එක්ක සම්බන්ධ වුණේ. ඒ තීරණය කොච්චර හොඳද කියලා අද හැමෝටම දැනිලා තියෙනවා. අපේ සාමාජිකයෝ කතා කරලා මට ඒ ගැන මතක් කරන අවස්ථාත් තියෙනවා.


 මේ වගේ වටපිටාවක ඒ තීරණය සාර්ථක එකක් වෙන්න පුළුවන්. ඒත් රට සාමාන්‍ය අතට හැරිලා සංගීත කණ්ඩායම කාර්යබහුල වුණු කාලෙකට ඒ තීරණය ගැලපේවිද?

අපි ඒ වගේ කාලවලත් වැඩ කළානේ. ප්‍රසංගයක් ලැබුණාම කණ්ඩායමේ හැමෝගෙන්ම අහලා තමයි මම ඒක බාර ගන්නේ. කාට හරි රැකියාවේ ප්‍රශ්නයක් නිසා ඒ දවසට එන්න බැරි නම් මම ප්‍රසංග බාර ගන්නේ නැහැ. එවැනි හේතු හින්දා ප්‍රසංග රාශියක් අපි ප්‍රතිකේෂේප කරලා තියෙනවා. කණ්ඩායම ආරම්භයේදී ගත්ත තීරණය හින්දා මම ඒකට වගකියන්න ඕනෑ.


අවසන් වශයෙන් නොයෙල් රාජ්ගෙන් අලුත් සිංදුවක් අහන්න ලැබෙන්නේ කවදාද කියලා ඇහුවොත්, ඒකට ඉඟියක්වත් දෙන්න බැරිද?

මම කොහොමත් එක දිගට අලුත් සින්දු එළියට දාන කෙනෙක් නෙවෙයි. එක සිංදුවක් කරලා අවුරුදු එකහමාරකට දෙකකට පස්සේ තමයි මම වෙනත් සිංදුවක් කරන්නේ. ඒක මගේ ක්‍රමය. ඉදිරියටත් ඒක වෙනස් කරන්න ඕනෑ කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම දැන් මගේම කියලා නිර්මාණ කෙරුවා ඇති කියලත් මට හිතිලා තියෙනවා. ඒ හින්දා ඉදිරියේදී බොහෝ විට සංගීත කණ්ඩායමේ නිර්මාණයක් තමයි එළිදක්වන්න හිතා ගෙන ඉන්නේ. ඒත් ඒකත් කවදා වේවිද කියලා කියන්න බැහැ.


 චන්දන පොන්නම්පෙරුම