ටීචර් අම්මාගේ මුල්ම රසිකයා මම - හිරුෂි වසුන්දරා

Thursday, July 08, 2021 , 0 Comments



ඇය විටෙක ගුරුවරියක් තවත් විටෙක ආදරණීය මවක්, ඒ සියල්ලම එහාට බැඳුණු ඇය තවත් විටෙක ආදරණීය පෙම්වතියක්. මෙලෙස පුංචි තිරයට ආදරවන්තියක් වුණු ඇය දැන් ‘ටීචර් අම්මා’ කෙනෙක් ලෙසට ඔබට සමීප වෙලා හමාරයි. ඉතින් ‘ටීචර් අම්මා’ ලෙස පුංචි තිරයට සමීප වුණු ඇය තමයි හිරුෂි වසුන්දරා. ඇගේ තොරතුරු දැනගන්න අපි ඇයට කතා කළේ මේ විදයට.



හිරුෂි මුලින්ම හඳුන්වනවාට කැමැති ගුරුවරියක් විදියටද? එහෙමත් නැත්නම් අම්මා කෙනෙක් විදියටද?

මම ගොඩක් කැමැති මවක් විදියට හඳුන්වනවාට. මොකද ටීචර් අම්මා කෙනෙක් ලෙස මම චරිතය නිරූපණය කළාට ඒ ගමේ මිනිසුන්ට දයාව, කරුණාව, ආදරය ඒ සියල්ලම ගැබ්වෙලා තමයි මම ගුරුවරියක් විදියට රඟපාන්නේ. හරිම සංවේදී චරිතයක් ලෙස තමයි මට ඒ චරිතය දැනුණ්.


ටීචර් අම්මාට දැන් ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?

‘ටීචර් අම්මා’ තිර පිටපත සම්පූර්ණයෙන්ම මම අධ්‍යයනය කරන කොට මට තදින්ම දැනුණා. ටීචර් අම්මාගේ මුල්ම රසිකයා වුණේ මම. ඒ තරමට මම ටීචර් අම්මාට ආදරය කළා. දැන් නම් වයස් භේදයකින් තොරව ටීචර් අම්මා කියලා හැම දෙනාම කතාකරද්දී හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. මොකද එක චරිතයක් තුළ මම චරිත දෙකක් නිරූපණය කරමින් ඒ දරුවන්ගේ හීන සැබෑ කරගැනීමට උදව් කරන නිසා. අපි පොඩි කාලේ ඉඳලා වුණත් දෙවැනි අම්මා ලෙස සැලකුවේ අපේ ගුරුවරුන්වයි. ඒ ගුරුවරුන් අපට දක්වපු සෙනෙහස මම ටීචර් අම්මා තුළින්ම ප්‍රතිනිර්මාණය කළා.


 ඔබ විවිධ කාල වයස් පරතරවල ඔබේ හැකියාවන් ඉස්මතු කිරීමට උත්සාහ කළා නේද?

කුඩා කාලයේ ඉඳලම මම කලාවට ගොඩක් කැමැතියි. ඉතින් පාසලේදීත් මගේ දක්ෂතාවෙන් උපරිම වැඩ කළා. 2009 ළමා රංගන ශිල්පිනියක් ලෙස රාවණා අඩවිය ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඉන් පසු 2018 වසරේ දෙරණ අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය හිමි කරගත්තා. ඉන් පසු ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා’ ටෙලිනාට්‍යයේ රඟපෑවා. ඔය විදියට විවිධ නිර්මාණවල සීමාවක් ඇතිව චරිත නිරූපණය කළා.


 ඔබේ සුන්දරත්වයත් මේ ගමනට ආභරණයක් වෙන්න ඇති?

රූපය ගැන හිතලා මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට උත්සාහ කළේ නැහැ. මම ගොඩක්ම කැමැති වුණේ නිවේදිකාවක් වෙන්න. මගේ තිබුණු දක්ෂතාවන් දැන හඳුනාගෙන එය ඉදිරියට ගෙන යෑමට තමයි මම ගොඩක් උත්සාහ කළේ. ඉතින් ඒ සඳහා මට ගොඩ දෙනකුගේ සහාය ලැබුණා. මම මේ තනියම ආපු ගමනක් නෙවෙයි.


 හිරුෂිගේ තිබෙන සීමාව නිසාද නිර්මාණවල වැඩිපුර දකින්න නැත්තේ?

අවුරුද්දකට එක නිර්මාණයක් හරි කළොත් මට ඇති. හැබැයි මට ආරාධනාවලින් කිසිම අඩුවක් නැහැ. විවිධ නිර්මාණවලින් ආරාධනා කරනවා. ඒ අතර තෝරාගැනීමක් ඇතිව සීමාවක් තුළ තමයි මම රඟපාන්නේ. විශේෂයෙන්ම මම පිටපත් සම්පූර්ණයෙන්ම කියවලා ඒ නිර්මාණය මොන වගේද, මගේ තෝරාගැනීම්වලට ගැළපෙනවාද කියලා මම සොයා බලනවා.


 ටීචර් අම්මා ටෙලිනාට්‍යයේ ඇති වෙනස ඔබට දැනුණාද?

ඇත්තටම ඒ වෙනස මට දැනුණා. මම ගමක ඉපදුණු කෙනෙක්. මගේ ගම් පළාත මාතර. දැන් ඉන්නේ ගම්පහ. ඉතින් විවිධ නිර්මාණවල මම දකිනවා ගමේ දුෂ්කරතා මැද ගෙවන ජීවිත කතා. නමුත් ඒ ගමේ සුන්දරත්වය දකින්න නැහැ. බෙලිහුල්ඔය ප්‍රදේශයේ තමයි ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍ය රූගත කිරීම් සිදුකරන්නේ. එවැනි සුන්දර ප්‍රදේශයක ගමේ සුන්දරත්වය විවිධ ආකාරයට ප්‍රේක්ෂකයන්ට සමීප වෙන්නේ කියලා ‘ටීචර් අම්මා’ ටෙලිනාට්‍යයෙන් මම දැක්කා.


ඔබ දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් නිසා ආදර ඇරයුම්වල අඩුවක් නැතුව ඇති?

මම පෙම්වතියක්. හැබැයි එතැනින් එහාට මොනවත් කතා කරන්න මම කැමැති නැහැ.


වසන්ත විතාරණගේ