එයාලා අදටත් මගේ පස්සෙන් ඉන්නවා - හර්ෂි අංජුමාලා





පුංචි කාලේ රියැලිටි තරු වුණ හැමෝම තමන්ගේ ගමනට කලාව තෝරගන්නේ නෑ. හැබැයි පුංචි නර්තන තරුවක් විදිහට අපිට මුණගැහුණ හර්ෂි අංජුමාලා රංගන ශිල්පිනියක් ලෙස වගේම නිවේදිකාවක් ලෙස කලාවේ ගමනක් යමින් තමන්ගේ තරු සිහිනයට තාමත් ජීවය දෙමින් ඉන්න කෙනෙක්.


හර්ෂි මේ දවස්වල සකල ගුරු එක්කද ජීවත් වෙන්නේ?

ඔව්. මේ දවස්වල මම සකල ගුරු නාට්‍යයට විතරයි රංගනයෙන් සම්බන්ධ වෙන්නේ. සකල ගුරු නාට්‍යයේ රෝෂිනි කියන්නේ හාස්‍යයට බර චරිතයක්. වේදිකාවේ වගේම පුංචි තිරයේ, සිනමාවේ අති දක්ෂ පිරිසක් එක්ක මට වැඩ කරන්න ලැබෙනවා. මම රංගනයට අලුත්. තවම මම රංගනයට ඇවිත් අවුරුදු පහයි. මම මෙතක් කළ චරිතත් එක්ක රෝෂිනිගේ චරිතය කියන්නේ වෙනස් චරිතයක්. ආසාවෙන් ඒ චරිතයට සම්බන්ධ වෙනවා. ප්‍රේක්ෂකයොත් මේ චරිතය ආදරයෙන් වැලඳගෙන තියෙනවා.


ඔබ දකින්න ලැබෙන්නේ සීමිත නිර්මාණ ප්‍රමාණයක. ඇයි ඒ?

ඇත්තටම මම එක සැරේ වැඩ ගොඩක් භාරගන්න කෙනෙක් නෙමෙයි. එක කාලයකට එක ටෙලි නාට්‍යයක් වගේ තමයි මම භාරගන්නේ. මම තවම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ඒ ඉගෙනීම් කටයුතුවලට බාධාවක් නොවෙන්න තමයි මම වැඩ තෝරාගන්නේ.


මොනවද ඔබ ඔබටම දාගත්ත සීමා..

චරිතයකට අඳින්න තියෙන ඇඳුම් ගැන මම සැලකිලිමත් වෙනවා. කරන්න බැරි දේවල්වලට මට මෙතෙක් කතා කරලත් නෑ. මම තවම රංගනය හදාරමින් හිමින් සීරුවේ ගමනක් යමින් ඉන්න කෙනෙක්. මගේ සීමා තුළ වැඩ කරන්න පුළුවන් අවස්ථා මට ලැබිලා තියෙනවා.


ඔබ රංගනයට එන්න කලින් පුංචි නර්තන තරුවක්. එතැන් සිට විවිධ අවස්ථා ඔබට නිර්මාණය වුණා නේද?

2008, 2009 වසරවල දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් 2 තරගයේ වයස අවුරුදු දොළහෙන් පහළ ජනප්‍රියම නර්තන තරුව වුණේ මම. මුලින්ම කලා ක්ෂේත්‍රයට මට එන්න ලැබෙන්නේ ඒ විදිහට. සිදු නාට්‍ය තමයි මම රංගනයට එකතු වුණ මුල්ම නාට්‍ය. ඊට පස්සේ මම කණාමැදිරියෝ, හාරත හේරා, සඳ පිනිවැස්ස, දෙවියන්ගේ රටේ, සිහින සමාගම වගේ ටෙලි නිර්මාණවලටත්, මියුසික් වීඩියෝවලටත් සේද මාවතේ, සහෝ වගේ සිනමා නිර්මාණවලටත් සම්බන්ධ වුණා. වෙළෙඳ දැන්වීම්වලටත් එකතු වුණා. දැන් මම ජාතික රූපවාහිනියේ සජීවීව විකාශය වෙන සංගීත වැඩසටහනක නිවේදන කටයුතු කරනවා. ඒක මගේ කලා ජීවිතයේ අලුත් පියවරක්. නිවේදනය සහ හඬකැවීම් කරන්න මට ඉස්සර ඉඳන්ම ආසාවක් තිබ්බා. මට නිවේදිකාවක් වෙන්න ලැබුණේ රංගන ක්ෂේත්‍රයටත් ඇවිත් අවුරුදු පහකට පස්සේ. නිවේදන හැකියාවත් දියුණු කරගෙන ඒ ගමනත් හිමින් යනවා. මට හැමදේකම හොඳ පාදමක් හැදුණා. ඒ නිසා මට හොඳ ගමනක් යන්න පුළුවන් වුණා. මට ලැබුණ හැම අවස්ථාවක්ම හොඳ ප්‍රයෝජනයක් වුණා මට.



ඔබ රංගනයට එන්නේ අහම්බෙන්ද?


මගේ අම්මයි අක්කයි තමයි මගේ තියෙන හැකියා හඳුනාගත්තේ. මාව ස්ටාර් කෙනෙක් කරන්න ඕන වුණෙත් එයාලට. එහෙමයි කියලා ඔවුන් මාව ඔහේ අතහැරලා දැම්මේ නෑ. අදටත් මගේ පස්සෙන් ඉන්නවා. මගේ අම්මගේ හීනය හැබෑ කරන්න රංගනයට ආවට දැන් මම රංගනයට එකතු වෙන්නේ ආදරෙන්.


මෙතෙක් ලැබුණ අවස්ථා ගැන ඔබට කරන්න ලැබුණ දේවල් ගැන තෘප්තිමත් වෙන්න පුළුවන්ද?


අවුරුදු පහක් ඇතුළත මට දශම ගාණක දේවල් ටිකක් තමයි කරන්න ලැබුණේ. මට තව ඉගෙන ගන්න වගේම කරන්න දේවල් තියෙනවා. කරපු දේවල් ගැන තෘප්තිමත්. ගොඩක් හොඳ අවස්ථා මට ලැබුණා. ඒ ගැන මම තෘප්තිමත්. ප්‍රවීණයන් ඇසුරුකරමින් තව බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා.


සහෝ කියන්නෙත් එහෙම තෘප්තිමත්ව කළ වැඩක් වෙන්න ඇති?


ඔව්.මහාචාර්ය ඇතුගල සර්ගේ සහෝ සිනමා නිර්මාණයට මට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු අවස්ථාවක්. ඒ නිර්මාණය ලංකාවේ තිරගත කරන්නත් කලින් කාන්ස් සිනමා උළෙලට ඉදිරිපත් කරලා දෙවැනි වටයට තේරුණා. ඒක ලොකු වටිනාකමක් අපි හැමෝටම. මාව ඒ නිර්මාණයට එකතු කරගැනීම වෙනුවෙන් සර්ට ස්තූතිවන්ත වෙනවා. රට යහපත් අතට හැරුණම ලංකාවේ ප්‍රේක්ෂකයන්ටත් සහෝ දැකගන්න පුළුවන් වෙයි.


හර්ෂිගේ නර්තන හැකියාවට දැන් මොකද වෙලා තියෙන්නේ?

භරත නාට්‍යම් සහ උඩරට නර්තනය තමයි මම හැදෑරුවේ. මේ දවස්වලත් ඔන්ලයින් නර්තන හැදෑරීම් කරනවා. ඒ වගේම මම ඩාන්ස් කවර්ස් කළා. චන්ද්‍රා පායන්න ගීතයට කළ ඩාන්ස් කවර් එකට මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


ඔබත් රංගනය තාවකාලික නැවතුමක් කරගනියිද?

ඒක මම තවම තීරණය කරලා නැහැ. තවම මම ඉගෙන ගන්න නිසා අධ්‍යාපනයයි කලා කටයුතුයි සමබර කරගෙන කරනවා. කොරෝනා නිසා තමයි විදේශගතවීම ප්‍රමාද වුණේ. මම කොයි කාලේ රටින් යනවද කියලා කොරෝනා තීරණය කරයි. එතකල් මම කලා කටයුතුවලට එකතු වෙනවා.


ඔබේ පෙම්වතා ඉන්නෙත් විදේශගතව. ඔබ ඔහු ජීවත් වෙන රටටමද යන්නේ?


මගේ පෙම්වතා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. ඉදිරි අධ්‍යාපන කටයුතුවලට යන්නේ ඔස්ට්‍රේලියාවටමද කියලා දැන්ම හරියට කියන්න බැහැ. විවාහ වුණොත් එයා ඉන්න රටට තමයි යන්නේ.








Previous Post Next Post