මට බලෙන් රඟපාන්න බැහැ - රුක්ෂානා දිසානායක

Wednesday, June 23, 2021 , 0 Comments

 




කුඩා අවධියේ සිටම නැටුමට හැඩවැඩ කළ ඇය දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බවට පත්වෙලා. රුක්ෂානා දිසානායක නමින් රටම හඳුනන මේ රුවැත්තිය පසුගිය දිනවල ‘සොමිබර ජරමර’ ටෙලිනාට්‍යයෙන්ද ප්‍රේක්ෂකයන් අතරට පැමිණියා. ඒත් හිටි හැටියේම ඇය එම ටෙලිනාට්‍යයේ දකින්නට නොලැබී ගියා. ඉතින් ඒ ගැන වගේම ඇගේ ජීවිතයේ තවත් තොරතුරු දැනගන්න ගැන  ෙමලස පුවත්පතකට පවසා තිබුනා.


 රුක්ෂානා මේ දවස්වල ගෙදරට වෙලා නටනවා නේද?

ඔව්, හිරු මෙගා ස්ටාර් රියැලිටි තරගය සඳහා පුහුණුවීම් කටයුතු කරනවා. හිතුවාට වඩා අසීරු අභියෝගයක් කියලා තමයි දැනෙන්නේ.


ඔබත් දක්ෂ නර්තන ශිල්පිනියක් නේද? ඉතින් අමාරු වෙන්නේ කොහොමද?

එහෙම තමයි මමත් හිතුවේ. මම රියැලිටි වැඩසටහනකට සම්බන්ධ වන පළමු අවස්ථාව තමයි මේ. දක්ෂ ශිල්පීන් සමග ලොකු තරගයක් තමයි තියෙන්නේ. අපි ඉදිරිපත් කරන නර්තනය තුළ නිර්මාණාත්මක දේවල් තිබිය යුතුයි. එහෙම ආවාට ගියාට නටන්න බැහැ. පසුගිය දවස්වල පුහුණුවීම් කටයුතු කරන අතරතුර පිච්චුණු අවස්ථාවක් එහෙම තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම විඳදරාගෙන කරන්නේ නිර්මාණාත්මකව ලස්සන වැඩ ටිකක් කරන්න තමයි.


 සංචරණ සීමා කාලය තුළ රූගතකිරීම්වලට සම්බන්ධ වෙන්නේ නැද්ද?

‘නීල පබළු’ ටෙලිනාට්‍යයේ රූගතකිරීම් කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. හැබැයි ඉතින් වෙනදා වගේ සැහැල්ලුවෙන් ඉන්න අමාරුයි. සෞඛ්‍ය නීතිරීති අනුගමනය කරමින් ආරක්ෂාකාරීව තමයි වැඩ කරගෙන යන්නේ. මේ දවස්වල හිතට බයකුත් තියෙනවා මේ කොවිඩ් ප්‍රශ්නය නිසා. එහෙමයි කියලා භාරගත්තු වැඩකටයුතු අතහැරලා ගෙදරට වෙලා ඉන්න බැහැනේ.


 සංචරණ සීමාවලට පටහැනිව බොහෝ දෙනා සාද පවත්වනවා. ලැබුණු විවේකයත් එක්ක ඔබ එහෙම සාදවලට යොමුවුණේ නැද්ද?

රටේ සංචරණ සීමා කාලයක් පනවලා තියෙන්නේ අපි සියලුම දෙනාගේ ආරක්ෂාවට. මේ කොරෝනා උවදුර තුරන් කරගත්තොත් අපට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අනෙක මම කොහොමත් කැමැති නැහැ එදා ඉඳලා සාදවලට සහභාගි වෙන්න. විවේකයක් ලැබුණු හැම මොහොතකම මම උත්සාහ කරන්නේ ගෙදරට වෙලා ඉන්න තමයි. මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ ආරක්ෂාකාරීව ගෙදරට වෙලා ඉන්න කියලා තමයි.


‘සොමිබර ජරමර’ ටෙලිනාට්‍යයේ ඔබ සුවිශේෂ රංගනයක නිරතවෙලා සිටිනවා අපි දැක්කා. එත් පසුකාලීනව ඔබ ඒ ටෙලිනාට්‍යයේ දැකගන්න ලැබුණේ නැහැ. ඒ ඇයි?


‘සොමිබර ජරමර’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරුන් මාරුවීමක් සිදුවුණා. ඉතින් පසුකාලීනව මට ඒ නිර්මාණයට ආරාධනා කළේ නැහැ. ඉතින් මම සම්බන්ධ වුණේ නැහැ. ඒ ගැන මම හොයන්න ගියෙත් නැහැ. එහෙම අපට බලෙන් ගිහින් රඟපාන්න බැහැනේ. නිර්මාණයකට අපව සුදුසු නම් සම්බන්ධ කරගනීවි.


 ඔබ නිර්මාණයකට සම්බන්ධ වන විට ඒ ගැන සොයාබැලීමක් කරන්නේ නැද්ද?


එහෙම මම සොයාබැලීමක් කරන්නේ නැහැ. මට වැදගත් නිර්මාණ පිටපත විතරයි. මට ලැබෙන චරිතයත් එක්ක මම අධ්‍යක්ෂවරයා සමග කතාබහ කරලා මට කළ හැකි උපරිම සාධාරණය නිර්මාණයට ඉටුකරනවා. මට බාහිර පුද්ගලයන් අදාළ නැහැ. සහයෝගය තමයි වැදගත්.


 නිතර දෙවේලේ සිනාමුසු මුහුණින් කාලය ගෙවන ඔබ හාස්‍ය රංගනයේත් යෙදෙනවා. කොහොමද ඒ සඳහා යොමුවෙන්නේ?


ඇත්තටම එය අමාරුම දෙයක්. ‘මෙඩිසිනා’ ටෙලිනාට්‍යයේදි සම්පත් ජයවීර, මිහිර සිරිතිලක, ප්‍රියන්ත සෙනෙවිරත්න වැනි ප්‍රවීණ රංගන ශිල්පීන් සමග මට වැඩ කරන්න ලැබුණා. ඔවුන් සමග කාලය ගෙවනවා කියන්නේ සිනා සාගරයක් තමයි. ඒ වගේම හොඳ දැනුමක් ලබාගැනීමට පුළුවන්. මට ඕනෑම චරිතයක් කරන්න පුළුවන්. හැබැයි හාස්‍ය නිර්මාණවල එක දිගටම වැඩකරන්න කැමැති නැහැ. මම කලින් පැවසූ පරිදි චරිතයක් වගේම නිර්මාණයක් සාර්ථක වීමට නම් සියලු දෙනාගේම සහාය අවශ්‍යයි. එතකොට හිතට දැනෙන විදියට ඕනෑම චරිතයක් කරන්න පුළුවන්.


 වසන්ත විතාරණගේ