සෑම කලාකරුවකුටම වැටුපක් ලැබිය යුතුයි කියන මතයේ මම ඉන්නවා - මාලනී ෆොන්සේකා

Tuesday, June 22, 2021 , 0 Comments




සිනමා වංශ කතාවේ ඇයගේ නාමය රන් අකුරින් ලියා හමාරය. ඒ නිසාම ඇයව වැඩීමට අටුවා ටීකා තිප්පණි පොහොසත් ද යන්න ගැටලුවකි. එතෙක් මෙතෙක් කිරුළු දැරූ නිළි රැජින නාමය  ඇයට පුදන්නේ ඒ කඨාර කාර්යයෙන් පහසුවෙන් පැන යෑමටයි.  මාලනී ෆොන්සේකා අැෙග් අලුත්ම විස්තර ගැන ෙමලසින් පුවත්පතක් සමඟින් පවසා තිබුනා.


කොහොමද මේ දවස්වල ජීවිතේ?


මෙය තමුනුත් පරිස්සම් වෙලා අනුගේ ජීවිත ගැනත් හිතිය යුතු කාලයක්. ඒ නිසා ගෙදරටම වෙලා පරිස්සමෙන් ඉන්නවා.


රංගනය හැදෑරීමට අවකාශ නොමැති අවධියක විශේෂ ජූරි සම්මාන ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලැබීමට තරම් රංගන හැකියාව මුවහත් කරගත්තේ කොහොමද?


රංගනයට අවතීර්ණ වෙනකොට රංගනය ගැන හසළ දැනුමක්වත්, අවබෝධයක්වත් මට තිබුණේ නැහැ. නොදැනුවත්වම පාසලෙන් හා දහම් පාසලෙන් ලැබුණු මඟපෙන්වීම මත මම වේදිකා නාට්‍යවලට යොමු වුණා. මට රංගනය ගැන මුල් ගුරු හරුකම් ලැබෙන්නේ වේදිකා නාට්‍යයෙන්. ඉන්පසු රිදී තිරයට අවතීර්ණ වී දිගු ගමනක් යන්නත් රංගනය තුළින් ලැබූ අත්දැකීම් පිටිවහලක් වුණා.


චිත්‍රපටවලට රංගනයෙන් දායක වන අතරම අධ්‍යක්ෂණ කාර්යයත් ඔබ සිදුකළා. කොහොමද ඒ ද්විත්ව කාර්යයන් සමබර කරගත්තේ?


රංගනය ගැන අවබෝධය සහ අත්දැකීම් තියෙනවා නම් අධ්‍යන කාර්ය සිදු කිරීම පහසුයි. එතෙක් අධ්‍යක්ෂවරුන් යටතේ මගේ රංගනය මෙහෙය වූ ආකාරය මත ලැබූ අධ්‍යපනය වගේම ඒ ඒ රංගනයන් ප්‍රේක්ෂකයන් වැලඳ ගත්තේ කොහොමද යන්න මා ලැබූ දැනුම මත රංගන ශිල්පීන්ව හසුරුවන්න මට ගොඩක් පහසු වුණා. ඒ වගේම උනන්දුවක්, ඕනෑකමක් තියෙනවා නම් කාර්මික දැනුමක් ලබාගත හැකියි. මං රංගනයට අවතීර්ණ වූ මුල් අවධියේ පටන්ම අධ්‍යක්ෂණ කාර්ය පිළිබඳව අධ්‍යයනය කළා. ඒ වගේම බොහෝ දෙනෙක්ගෙන් ගුරුහරුකම් ලබාගත්තා. ඒ නිසා එකී කාර්යයන් සාර්ථකව සමබර කළා කියා මා විශ්වාස කරනවා.


ඔබ හිතන විදියට රංගනය කියන්නේ අනුකරණය කිරීමක්ද? පරිකල්පනයද? නැතිනම් අත්දැකීමක්ද?


පිටපත් රචකයාගේ සිතේ මැවෙන පරිකල්පනය අවබෝධ කරගෙන සමාජයේ  හැලහැපෙන චරිත සමඟ ආදේශ කර හා අධ්‍යක්ෂවරයාගේ අදහස් එකතු කරගැනීම  තුළයි රංගනය ගොඩනැගෙන්නේ.



සෙනාලි ෆොන්සේකා , සමනලී ෆොන්සේකා ජනප්‍රියම සහ හොඳම නිළිය සම්මානවලින්  පිදුම් ලබනවා. ඒ ජානගත කුසලතාව නිසාද?


ඇත්තටම ඔව්. උප්පත්තියෙන් ලබන දක්ෂතාව රංගනයට අත්‍යවශ්‍යයි. විශේෂයෙන් ලංකාව වගේ රටකට එය සුවිශේෂයි. පාසල් අධ්‍යාපනය තුළ රංගනය හැදෑරීමට හා පුහුණු වීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රමිතියෙන් යුත් රංගන පාසල් ලංකාවේ ඉතාමත් සීමිතයි. උප්පත්තියෙන් ලද හැකියාවක් තියෙනවා නම් සමාජයේ ගැටීම තුළින් වගේම පොත පත හා තාක්ෂණය පරිශීලනයෙන් යම් අධ්‍යාපනයක් ලැබිය හැකියි. මගේ මවත් පියාත් කලාවට සම්බන්ධ නොවුණත් මගේ සීයා නාඩගම් ශෛලියේ තිර කතා රචකයෙක්. ඔහුගෙන් ලද ආභාසය වගේම ලේ වල උරුමය මට ලැබිලා තියෙනවා.



ඔබගේ දේශපාලන ජීවිතය ගැන කිව්වොත්?


අපේ රටේ අධ්‍යාපනය, ආර්ථිකය, පරිපාලනය ආදී විවිධ අංශයන් පිළිබඳව ප්‍රමාණාත්මක  දැනුමක් මට තියෙනවා. දේශපාලනය කිරීම තුළ මට ඒ දැනුම ප්‍රායෝගිකව යෙදවීමට අවකාශ ලැබුණා. දේශපාලනයට යොමු වෙන්න මගේ කැමැත්තක් තිබුණා. නමුත් මං එයට යොමු වන්නේ ආරාධනාවක් මත. පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර  ආයතනයක්. හැමෝන්ගෙම හුස්ම ටික රැඳිලා තියෙන්නේ එතැන. එහි වගකීමේ බර මටත් තදින්ම දැනෙනවා. ඒ වගේම එයින් ලද අත්දැකීම ගැනත් මම සතුටු වෙනවා.


බොහොමයක් කලාකරුවන් දේශපාලනයට යොමු වුණත් කලාව තුළ ලොකු උන්නතියක් පෙනෙන්නට නැහැ. දේශපාලනය තුළ කලාවට මෙහෙයක් කරන්න අසීරුතා පැන නඟිනවාද?


එකී බොහොමයක් කලාකරුවන්ට කලාවට යම් සේවාවක් කිරීමට උනන්දුවක් උත්සාහයක් තියෙනවා. නමුත් විරුද්ධ මතධාරීන්ගේ අදහස් හා රටේ අනිකුත් ගැටලු ආදී බාධක නිසා එකී ක්‍රියාදාමයන්ට මඟ ඇහිරෙනවා. එය කලාකරුවෙක් දේශපාලනඥයෙක් වීම තුළ පමණක් සිදු වන්නක් නොවේ. ඒ හැමෝටම පොදුයි.


සිනමාව අගාධයට වැටෙන්නට රතු එළි දැල්විලා තියෙනවා. එහි ඉදිරි ගමන ඔබ දකින්නේ කොහොමද?


අපේ රටේ සිනමා කර්මාන්තය යම් පසුබෑමකට ලක්වෙලා තියෙනවා. කලාව තුළින් සිදුවන්නේ යම් විනෝදාස්වාදයක් ලබාදීම. ජීවත් වීම තුළ මූලික අවශ්‍යතාවන් ප්‍රථමයෙන් සම්පූර්ණ විය යුතුයි. මූලික අවශ්‍යතාවන්ට මිනිසුන් සටන් කරන කොට විනෝදාස්වාදය මිනිසුන්ගේ ජීවිතවලින් ගිලිහෙනවා. එසේ ගැටලු අතරේ ඉදිරියට ඇදෙන රටක් විදිහට සිනමාව මෙතරම් හෝ රැකී තිබීම සතුටට කරුණක්. තවමත් ඕනෑම රටකට අභියෝග කළ හැකි තරමේ නිර්මාණ ශක්තීන් ඇති පිරිසක් අපේ රටේ ඉන්නවා. ඕනෑම ක්ෂේත්‍රයක මූලික පදනම මූල්‍යමය තත්වයයි. සිනමාවටත් එය පොදුයි. එය ඇද වැටෙන්නේ එතැනදියි.



ස්ලිම් නීල්සන් සම්මානය එක දිගට ටෙදාළොස් වතාවක් දිනාගෙන ඔබ වාර්තාවක් තබනවා. ලෝක වාර්තාවක් තබන්නත් බලාපොරොත්තුවක් තියෙනවද?


ප්‍රේක්ෂකයන් මට තාමත් ආදරෙයි කියලා දැනෙනකොට මට හරිම සතුටුයි. ඒ කිසිම සම්මානයක් මං බලාපොරොත්තු වූ ඇගයීම් නෙවෙයි. මට ලැබෙන අගය කිරීම් සම්මාන ඉදිරියේදීත් සතුටින් භාරගන්නවා.



ප්‍රවීණ කලාකරුවන් වියපත් විම තුළ ඔවුන්ගේ ආර්ථික තත්වය දුර්වල වෙනවා. ඔවුන්ට නොසලකා හරිනවා කියා චෝදනා කරනවා. කලාකරුවන්ට එවැනි තත්වයක් ගොඩනැඟී තිබෙන්නේ ඇයි?


චිත්‍රපට සංස්ථාවෙන් හා යම් යම් සංවිධානවලින් කලාකරුවන්ට ලැබෙන සුළු වේතනයක් හැරුණු කොට ඔවුන්ට විශ්‍රාම වැටුපක් හිමි වෙන්නේ නැහැ. එතැනදී මං කාටවත් චෝදනා කරන්නේ නැහැ. නමුත් රංගන ශිල්පීන්ට, අධ්‍යක්ෂවරුන්ට ආදී සෑම කලාකරුවෙක්ටම විශ්‍රාම වැටුපක් හිමි විය යුතුයි කියන මතයේ මම ඉන්නවා. ඒ වෙනුවෙන් මං සටන් කළත් තාමත් එය ඉටුකරගන්නට මට හැකි වුණේ නැහැ.


අනාගත බලාපොරොත්තු මොනවාද?


කාටවත් කරදරයක් නැතිව බොහොම සතුටින් ජීවත් වෙන්නයි මගේ එකම බලාපොරොත්තුව.