සිංහල සිනමාවේ ජීවමාන සලකුණ අයිරාංගනී සේරසිංහ

Tuesday, June 08, 2021 , 0 Comments



ඇය අද අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනියයි. තවත් විටෙක නිර්පාක්‍ෂික පරිසරවේදිනියයි. ඒ පදවි තානාන්තරවලින් ඔබ්බට අප සැමට එදා මෙන් අදත් ආදරණීය කරුණාබර සෙනෙහෙවන්ත මාතාවකි. නමින් අයිරාංගනී රොක්සානා මීදෙණිය නම් වූ ඇය අද අප ඉදිරියේ සිටින්නේ අයිරාංගනී සේරසිංහ නාමයෙනි. ඒ තම ආදරණීය ස්වාමියාගේ වාසගම සහිතවය. හරියටම තව දින දෙකකින් එනම් ජුනි 09 දා ජීවන ගමනේ 94 වැනි වියට පා තබන ඇයගේ ඡුායාරූපයකින් අද නවලිය පුවත්පතේ කවරය සරසන අතරතුර ජීවන ගමනේ රසබර තොරතුරු ගැන ඇය ෙමලස  මතකය ආවර්ජනය කර තිබුනා..

 

මම අපේ ආදරණීය ඉදිරි පරම්පරාවට කියන්නෙ අම්ම තාත්තට කීකරු දරුවො වෙන්න. නිසිලෙස අධ්‍යාපන කටයුතුවල නියැළෙන්න. තරුණ වයසෙදි බුද්ධිමත්ව හිතල බලල තමන්ට ගැළපෙන කෙනා තෝරාගන්න. ගෙවෙන හැම තත්පරයකම රටට වැඩදායක යුතුකම් වගකීම් හරිහැටි ඉටුකරන කෙනෙක් වෙන්න. එතකොට ඉබේම තම තමන් මුළු ලෝකයක් ආදරය කරන හැම කෙනෙකුගෙම ආශිර්වාදයට ආදරයට ලක්වෙන ආදරණීය චරිතයක් වෙනවා...


”අනේ බොහොම ස්තුතියි මටවත් ඔය කියනකම් මතකයක් තිබුණෙ නැති මගේ උපන්දිනේ ‘නවලිය’ මතක තියාගෙන හිටියට. ඒත් ඇයි මේ මං නිසා කරදර වෙන්නෙ. දැන් අපි වයසක උදවියනෙ...” ඇය සිනහසෙමින් පැවසුවා.


එළඹුණේ මගේ වාරය බැවින් කෙතරම් වයසට ගියත් අද අපට සිටින ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනිය ඇය බවත් එදා මෙන් අදත් ඒ රංගන ශෛලියට ආදරය කරන ආදරණීය රසික කැළට ඔබ ඉතා වටිනා වස්තුවක් බවත් පැවසූයෙන් ඒ බව ඉතා නිහතමානීව පිළිගත් ඇය කෘතඥතා පූර්වකව ඇගේ කතාව නවලියට මෙහෙම කිව්වා.


ජෝශප් හර්කියුලිස් සහ වයලට් එල්ලාවල දෙපළ මවුපියන් කරමින් 1927 ජුනි 09 වැනිදා පවුලේ දෙවැනි දරුවා විදිහට තමයි මම මෙලොව එළිය දකින්නේ. ඒ රුවන්වැල්ල මුදුන්ගොමුව මීදෙණිය වලව්වේදී . අක්කයි මමයි නංගියි මල්ලියි තමයි අපේ පවුල.


පුංචි කාලෙ ඉඳලම කාටවත් බය නැති දඟකාර චරිතයක් වුණ නිසා ගෙදරින් මට පෙට් නේම් එකක් දාල තිබුණ ‘චණ්ඩි’ කියල.


අහල පහළ ළමයි එක්ක සෙල්ලම් කරල හැන්දෑ වෙනකොට ගුරුගොඩ වැවට පැනල නාල ගෙදර එන සුන්දර සරල ළමා කාලයක් තමයි මට තිබුණෙ.


මොකක්දෝ වාසනාවකට ඔය රංගනය කියන උතුම් හැකියාව මගේ ඇෙඟ් තිබුණා. ඒ කාලෙ ගම්වලට එනව සර්කස් කණ්ඩායම්. ඒවා ඇතුලෙ නැටුම් ගැයුම් විකට වැඩසටහන් පැවැත්වෙනවා. ඒ විකට වැඩසටහනක එක් පුද්ගලයෙක් ආප්ප ඉල්ලලා පුංචි දරුවෙක් වගේ අඬන දර්ශනය ඒ කාලෙ මගේ හිතේ පැළපදියම් වෙලා තිබුණා. ඉතින් මම ගෙදරදී නිතරම ඒ විදියට බොරුවට අඬනවා. ඕක බලන් ඉඳල අම්ම තාත්ත හරියට සතුටු වෙනවා. ඊළඟට ඉතින් ගෙදරට කවුරු ආවත් මාව ගෙන්නල ආප්ප ඉල්ලල අඬන්නෙ කොහොමද කියල අහනවා. මම ඒ අය ඉදිරියේ කරල පෙන්වනව. එහෙම බලනකොට මම මුලින්ම රඟපෑවෙ මගේ ගෙදරදීම තමයි. එතකොට මගේ වයස අවුරුදු 6 ක් විතර ඇති.


ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමයෙන්, බිෂොප් විද්‍යාලයෙන්, උසස් බාලිකා විදුහලෙන් වගේම මහනුවර ලංකා විශ්වවිද්‍යාලයෙන් මම මූලික අධ්‍යාපනයේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලැබුවා.


ඒ ඒ පාසල්වල මම නැති විවිධ ප‍්‍රසංගයක් ඒ කාලෙ තිබුණෙම නෑ. ඒ තරම් මම ඒ ප‍්‍රසංගවල නැටුවා. රඟපෑවා.එහෙමයි කියල අධ්‍යාපන කටයුතු කවදාවත් අතපසු කළේ නැහැ. විභාග සමත් වෙවී ඉහළට ඇවිත් විශ්වවිද්‍යාලෙට සමත් වුණා. අම්මෝ එදා තාත්ත බොහොම කලබල වෙලා නෑ නෑ ඔය ඉගෙන ගත්ත ඉහටත් උඩින්. ඕවගෙ යන්න අවශ්‍ය නෑ. මොකට යනවද කියල බාධා කරන්නම හැදුවා. ඞී. එස්. සේනානායක මහත්තයා අපේ පවුලේ හිතවතෙක්. ඔහු තාත්තට කිව්වා ගෑනු ළමයිනුත්් හොඳට ඉගෙන ගන්න ඕනෑ කියලා. මමත් අතඇරියෙ නෑ. අඬල හැපිල කෙහොමහරි විශ්වවිiාලෙට ඇතුළත් වුණා.


අම්මත් ඒ වගේම තමයි. මම කියන කිසිම දේකට එකඟ වුණේ නෑ. මම හරි ආසාවෙන් හිටිය උඩරට නැටුම් ඉගෙන ගන්න. ඉතින් මම අම්ම එක්ක ඒ ගැන කතා කළා. අම්ම ඔළුවෙ අත්දෙක ගහගෙන දෙයි. හාමුදුරුවනේ ගෑනු ළමයි නටන්න යන්න. ඊටත් උඩරට නැටුම් කියල ලොකු තිගැස්මකින් තමයි මගේ ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්කුවේ. හැබැයි ඉතින් මම කොහොම හරි ඒ කාලෙ හිටපු කිරි ගණිත ගුරුන්නාන්සේගෙන් උඩරට නැටුනුත් ඉගෙන ගත්තා.


කලා උපාධිය හදාරන අතරෙ මම විශ්වවිද්‍යාලයේදීත් වේදිකා නාට්‍යවල රඟපෑවා. විශේෂයෙන්ම ඉංග‍්‍රීසි වේදිකා නාට්‍ය. ඔය කියන කාලෙ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මය එංගලන්තයේ ඉඳල ලංකාවට ඇවිත් හිටියා. එහෙම වෙලාවක මගේ නාට්‍ය රඟපෑම් දැකල තමයි ඔහුගෙ පළමු සිනමාපටය වූ රේඛාව චිත‍්‍රපටයේ කතිරිනාහාමිගෙ චරිතෙට මාව තෝරා ගත්තෙ. ඒ චරිතයට මම හොඳම නිළිය ලෙස දීපශිකා සම්මානයෙන් පිදුම් ලැබුවා.


ඔය අතරෙ මම මහාචාර්ය ලූඩොවයික් මහත්මයගෙ මඟපෙන්වීම යටතේ ලන්ඩනයේ රෝයල් ඇකඩමි ඔෆ් ඩ‍්‍රාමර්ස්ටික් ආර්ට් ආයතනයේ සහ ද බි‍්‍රස්ටල් ඕල්ඞ් විත් තියටර් ස්කූල් එකේ රංගනය පිළිබඳ වැඩිදුර හැදැරීම් කළා.


ලංකාවට ආවට පස්සෙ රංගන කටයුතුවල යෙදෙන අතරේ ටයිම්ස් සඟරාවේ කාන්තා පිටුවේ කර්තෘවරිය ලෙසත් මියුසියස් විද්‍යාලයේ රංගනය පිළිබඳ ආචාර්යවරියක ලෙසත් මම සේවය කරල තියෙනවා.


ඒ කාලෙම තමයි මට ඉංග‍්‍රීසි වේදිකා නාට්‍යවල රඟපාන අතරතුර වින්ස්ටන් සේරසිංහ කියන රංගන ශිල්පියා මුණගැහෙන්නෙ. ඔහුත් දක්‍ෂ රංගන ශිල්පියෙක්. අපි දැන හඳුන ගන්නවා. ඒ දැන හැඳුනුම්කම් හා එකිනෙකා කෙරෙහි ඇතිවන අවබෝධය පේ‍්‍රම සම්බන්ධයක් බවට පත්වෙලා මම ඔහු හා විවාහ වෙනවා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වින්ස්ටන් හොඳ සැමියෙක්.විවාහයෙන් පස්සේ අපි දෙන්නා පුතාලම දෙන්නෙකුගෙ දෙමවුපියෝ වුණා. රවි සේරසිංහ සහ රංජිත් සේරසිංහ තමයි අපේ පුතාලා. එතනින් රවි හදිසි අනතුරකින් මේ ලෝකෙන් සමුගත්තා. අදටත් මගේ හිතේ දුකකට කියල තියෙන්නේ මගේ ඇස් දෙකෙන් මගේ දරුවගෙ මරණය දකින්න සිදුවීම සහ මගේ පුතා මට අහිමිවීම විතරමයි.


ඒ ඇරුණුකොට කුඩා දැරියක් ලෙස මම හැමෝගෙම ආදරය මැද හැදී වැඩුණා. ශිෂ්‍යාවක් ලෙස ගුරුවරුන්ගෙ ආශිර්වාද මැද ඒ කටයුතු මැනවින් හමාර කළා. යුවතියක් ලෙස ආදරය විඳල විවාහ වුණා. අම්ම කෙනෙක් වෙලා දරුවන්ගෙ ආදරය වින්දා. රංගන ශිල්පිනියක් ලෙස සිනමාව වේදිකාව පුංචි තිරය හරහා මේ ලෝකේ බොහෝ දෙනෙකුගෙආදරයට පාත‍්‍රවුණා. අද දවසෙ නවලිය මාව හොයාගෙන ඇවිත් තියෙන්නෙත් ඒ ආදරයේ අදටත් අඩුවක් නැති නිසයි.


ඉතින් මම අපේ ආදරණීය ඉදිරි පරම්පරාවට කියන්නෙ අම්ම තාත්තට කීකරු දරුවො වෙන්න. නිසිලෙස අධ්‍යාපන කටයුතුවල නියැළෙන්න. තරුණ වයසෙදි බුද්ධිමත්ව හිතල බලල තමන්ට ගැළපෙන කෙනා තෝරාගන්න. ගෙවෙන හැම තත්පරයකම රටට වැඩදායක යුතුකම් වගකීම් හරිහැටි ඉටුකරන කෙනෙක් වෙන්න. එතකොට ඉබේම තම තමන් මුළු ලෝකයක් ආදරය කරන හැම කෙනෙකුගෙම ආශිර්වාදයට ආදරයට ලක්වෙන ආදරණීය චරිතයක් වෙනවා.


ඒත් එක්කම මම හැමෝගෙන්ම බොහොම ලෙන්ගතුකමින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි අපි හැම කෙනෙකුගෙම ඉදිරිය ගැන හිතල ස්වභාවික පරිසරය කියන්නේ මොකද්ද කියලත් එය රැුකගත හැක්කේ කෙසේද කියන එක ගැනත් කල්පනා කරල තම තමන්ට පුළුවන් විදිහට ඒ සඳහා පෙළ ගැහෙන්න. ඒ දේවල් නැතිවුණ තැන අපේ ඉදිරිය අඳුරුයි කියන එක වටහාගන්න. හැම මොහොතකම ගහට කොළට සතා සීපාවට ආදරය කරන්න. ඒ දේවල් ආරක්‍ෂා කරන්න. එතකොට ඒ දේවල් හරහා අපේ ආරක්‍ෂාව ඉබේම සැලසෙනවා.


අවුරුදු අනුපහක් කියන්නේ ලොකු වයසක්. මේ වගේ වයසක් ගෙවෙද්දී ඉබේම ඇතිවෙන ඇඟපතේ අමාරුකම් එක්ක ඇඳට වෙලා පොතක් කියවන්න තමයි අද මම වැඩිපුර කැමති. පුංචි කාලෙ ආප්ප ඉල්ලලා අඬපු කෙනාගෙ භූමිකාව හරහා රංගනයට ආපු මම පසුගියදා විකාශය වුණ සිහිනි ටෙලිනාට්‍යය දක්වා ගණනක් මිම්මක් නැතිව විශාල නිර්මාණ සංඛ්‍යාවක රඟපෑවා. ඒ හරහා ලබපු රසික ආදරයට මමත් හරිම ආදරෙයි.


මේ වෙනකොට මම මගේ පුතා ලේලිය වගේම මුණුපුරන්ගේ ආදරය රැුකවරණය මැද සතුටින් දිවි ගෙවනවා. වයසත් එක්ක ඇඟපතේ කොච්චර අමාරුකම් තිබුණත් මම අදටත් මගේ අත්උදව්කාරිය සමඟ හැමදාම හැන්දෑවට මිදුලෙ වාඩිවෙලා කුරුල්ලො අහසෙ කරණම් ගහන හැටි, ලේන්නු ගස්උඩ කරන ක‍්‍රියාකාරකම් වගේම පාවෙන වළාකුළු අතරේ ඉර හැංගෙන හැටි බලාගෙන ඉන්නෙ හරිම ආසාවෙන්.


හැම වෙලාවෙම සරලව අවංකව ජීවත්වෙන්න උත්සාහ කරන්න. නීති ගරුක බව වගේම ගුණගරුක බව අගේ කරන්න. උස් පහත් භේද නොසලකා හැමෝම එක්කම සතුටින් සමගියෙන් ආගමට දහමට අනුව ජීවත් වෙන්න. මේ දේවල් අපේ හිත්වල වෙනකාටවත් ඇති කරන්න බැහැ. අපි අපිම තමයි ඒවා අපේ ජීවිතවලට හුරුකරගන්න ඕනැ. අන්න එතකොට තමයි අපි හැමෝටම පුළුවන් වෙන්නෙ ලබපු මේ ලස්සන ජීවිතය විඳවන්නෙ නැතුව විඳින්න.