හැමදාම පේන කෙනෙක් වෙන්න මම කැමැති නැහැ - ප්‍රාර්ථනා සෙව්වන්දි

Friday, May 28, 2021 , 0 Comments




රාවණා කියන්නේ අපේ රටේ හැදුව දැවැන්ත ටෙලිනාට්‍යයක්. එහි රංගනය සඳහාත් විශාල පිරිසක් එකතු වෙලා හිටියා. ඒ හරහා බොහෝ නවක ශිල්ප ශිල්පිනියන් කිහිප දෙනකුත් අපිට හඳුනාගන්න ලැබුණා. ප්‍රාර්ථනා සෙව්වන්දි ඒ අතර ඉදිරියේම හිටිය ශිල්පිනියක්. රාවණා හරහා ප්‍රාර්ථනා බොහෝ දෙනාගේ ආදරය දිනාගන්න සමත් වුණා. රාවණා ගැන වගේම එතැනින් පස්සේ කලා කටයුතු ගැන  ප්‍රාර්ථනා පුවත්පතකට ෙමලස පවසා තිබුනා.


බොහෝ දෙනා ප්‍රාර්ථනාව හඳුනා ගත්තේ රාවණා ටෙලිනාට්‍යයෙන්. ඒත් ඔබේ මුල්ම ටෙලිනාට්‍ය රාවණා නෙවෙයි?


ඔව්. ‘සිද්ධාර්ථ ගෞතම’ ටෙලිනාට්‍යයෙන් තමයි මම රංගනයට එක්තු වුණේ. ඒ ටෙලිනාට්‍යයේ කුමාරිකාවගේ චරිතයකට පණ පොවන්න මට අවස්ථාව ලැබුණා. ඒත් බොහෝ දෙනා මාව හඳුනාගත්තේ රාවණා හරහා.


 රංගන ශිල්පිනියක් වෙන එක අද කාලේ බොහෝ තරුණියන්ගේ සිහිනයක්. ප්‍රාර්ථනාත් ඒ සිහිනය දැකපු කෙනෙක්ද?


අපෝ නැහැ. මම නිළියක් වෙන්න හීනෙන්වත් හිතුව කෙනෙක් නෙවෙයි. ඇත්තම කිව්වොත් මට පාසල් යන කාලේ ඒ වගේ ලැබුණු ආරාධන ප්‍රතික්ෂේප කරලත් තියෙනවා. පාසල් යන කාලෙත් මම සංගීතය තමයි හැදෑරුවේ.


 එහෙනම් ඔබට හොඳට සිංදු කියන්නත් පුළුවන් ඇති?


සිංදු කියන්න පුළුවන්. ඒ වගේම මම පාසල් තූර්ය වාදක කණ්ඩායමත් නියෝජනය කළා. සංගීතය පැත්තෙන් පාසල් යන කාලේ ගොඩක් දේවල් කළා.


 සංගීතයත් එක්ක හිටපු ප්‍රාර්ථනා නිළියක් වුණු විදිය ගැනත් අපි කතා කරමු?


ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්න කාලේ මට ගොඩක් නිරූපණ අවස්ථා සඳහා ආරාධනා ලැබුණා. මගේ උස තමයි ඒකට බලපෑවේ. මුලින් මම ඒවට සහභාගි වුණේ ඒ තරම් කැමැත්තකින් නෙවෙයි. ඒත් ඒ අවස්ථාවල මට ජයග්‍රහණ ලැබෙද්දි ඒ ගැන ආශාවක් ඇති වුණා. ඒ විදියට නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරද්දි තමයි සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍ය ගැන දැනගන්න ලැබුණේ. ඊට පස්සේ ඒකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා.


 ජීවිතේ පළමුවරට කැමරාවක් ඉදිරියේ රංගනයේ නිරත වෙනකොට දැනුණු හැඟීම මොන වගේද?


ඒ අත්දැකීම නම් තවමත් මතකයි. මොකද නිරූපිකාවක් විදියට කැමරාවට මුහුණ දෙනවාට වැඩිය ඒක වෙනස්. බිය, චකිතය, ලැජ්ජාව වගේ හැම දෙයක්ම එදා දැනුණා. කොහොම හරි ඒකට හුරු වුණා.


රාවණා කියන්නේ අපේ රටේ නිෂ්පාදනය කළ දැවැන්ත නිර්මාණයක්. ඒකෙදි ඔබට ලැබුණු අත්දැකීම මොන වගේද?


ඇත්තටම රාවණා ටෙලිනාට්‍ය එක්ක සම්බන්ධ වෙන්න ලැබුණු එක මගේ භාග්‍යයක්. ඒ වෙද්දි රංගනය පැත්තෙන් මම ඒ තරම් හොඳ මට්ටමකත් නෙවෙයි හිටියේ. ඒත් රාවණා අධ්‍යක්ෂ තුෂාර අයියා ගුරුවරයෙක් වගේ හැමදෙයක්ම මට කියලා දුන්නා. ඒකෙදි මම රඟපෑවේ සෙන්පතිණියකගේ චරිතයක්. එතැනදි සුකුමාල කාන්තාවක් කියන තැනින් වෙනස් වෙන්න මට සිද්ධ වුණා. මම ඇවිදින විදිය පවා වෙනස් කරන්න සිද්ධ වුණා. රාවණා මගේ ජීවිතේ වෙනස් කළා කිව්වොත් හරි.



රාවණා’ ටෙලිනාට්‍යයේදී ලැබුණු ප්‍රතිචාර ගැන කතා කළොත්?

‘රාවණා’ ටෙලිනාට්‍යයේ අදියර දෙකේදිම මට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. රාවණා කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන වීර චරිතයක්. ඒ හින්දා ඒ ටෙලිනාට්‍ය බොහෝ දෙනෙක් උනන්දුවෙන් නැරඹුවා. ඒ ආදරය අපිටත් ලැබුණා. විශේෂයෙන් කුඩා ළමයි මගේ චිත්‍ර පවා ඇඳලා තිබුණා. ඒ ආදරය ගැන හරිම සතුටුයි.


අවසන් වශයෙන් ඔබේ අනාගත බලාපොරොත්තු ගැන ඇහුවොත්?

රංගන ශිල්පිනියක් විදියට ඉදිරියට යන්න නම් රංගනය හදාරන්න ඕනෑ කියලා මම හිතනවා. ඒ හින්දා ළඟදිම රංගනය හදාරන්න පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මට ඕනෑ හැමදාම පේන නිළියක් වෙන්න නෙවෙයි. ඉඳහිටලා පේන ඒත් හැමදාම රසිකයන්ගේ මතකයේ රැඳෙන නිළියක් වෙන්නයි. පේන්න නැති වුණාම මෙයා කෝ කියලා මිනිස්සු කතාවෙන විදියේ නිළියක් වෙන්නයි මම කැමැති.



චන්දන පොන්නම්පෙරුම