මම මේ ක්‍ෂේත්‍රයට තවම බීජයක් විතරයි - සෙනුර පීරිස්

Friday, May 21, 2021 , 0 Comments




ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ පෙම්වතුන් අතරට එකතුවුණු අලුත් තරුවක් ලෙසට මොහුව හඳුන්වන්නට පුළුවන්. නිමන්ත චරිතය අපට හමුවන්නේ ‘තාදී’ ටෙලිනාට්‍ය තුළින්. නිමන්තගේ ආදරය නිරාශාට වගේම සමන්තිටද හිමිවෙනවා. එහෙත් නුදුරු දිනෙකදී නිමන්තගේ ආදරය කාට හිමිවේවිද කියා  නිමන්ත ලෙස ඔබ හමුවට එන සෙනුර පීරිස් ඒ ගැන  පුවත්පතක් සමඟින් මේ විදියට පවසා තිබුනා.


 ඔබව දැන් බොහෝ දෙනෙක් හඳුනන්නේ සෙනුර ලෙසද? එහෙමත් නැත්නම් නිමන්ත ලෙසද?

බොහෝ දෙනෙක් සෙනුර කියලා කෙනෙක්ව දැනහඳුනා ගත්තේ ‘තාදී’ ටෙලිනාට්‍යයේ මම කරන නිමන්ත චරිතය හරහා තමයි. නිමන්ත චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබට පළමුවෙන්ම ප්‍රධාන චරිතයක් හරහා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?

කලාව කියන්නේ උතුම් තැනක්. මම එයට හදවතින්ම ගෞරව කරනවා. මම නළුවෙක් වෙන්න ඕනෑ කියලා කවදාවත් හිතුවේ නැහැ. චරිත් අබේසිංහ අයියා මාව හමුවෙලා මේ චරිතය ගැන පැහැදීක් කරලා මාව ඒ

චරිතයට තෝරාගත්ත එකට මම ඔහුට ස්තුතිය පුදකරනවා.

ඒ වෙනස්ම අත්දැකීම සෙනුරට දැනුණේ කොහොමද?

මට එය ලොකු අභියෝගයක් වුණා. මොකද මම මීට කලින් රඟපාලා නැති නිසා. හැම අත්දැකීමක්ම නුහුරු බවක් මුලදී දැනුණා. ඒ වගේම විශේෂයෙන්ම මතක් කන්න ඕනෙ ‘තාදී’ ටෙලිනාට්‍ය කණ්ඩායමෙන්ම මට පුදුමාකාර සහායක් ලැබුණා. මම අලුත් කෙනෙක් කියලා පැත්තකට කළේ නැහැ.

 සෙනුර මේ දවස්වල පෙම්වතියන් දෙදෙනකුට ආදරය කරනවා නේද?

සෙනුර තවම ආදරය ගැන හිතලා නැහැ. හැබැයි නිමන්ත, නිරාශාට වගේම සමන්තිටත් ආදරය කරනවා. මේ ආදරය ආදර කතාව කොතැනින් නිම වෙයිද කියලා මට තවම කියන්න බැහැ.

 ඔබ ඔස්ටේ්‍රලියාවේ ඉඳලා ලංකාවට ආවේ ‘තාදී’ ටෙලිනාට්‍ය වෙනුවෙන්මද?

මම ඔස්ටේ්‍රලියාවේ අධ්‍යාපන කටයුතුවල තමයි නිරත වෙලා සිටියේ. කොරෝනා ප්‍රශ්නයත් එක්ක ලංකාවට ආවා. ඒ ආවාට පස්සේ තමයි මට ටෙලිනාට්‍යයට ආරාධනා ලැබුණේ.

 ඔබේ පවුලෙත් කලාවට සම්බන්ධ පිරිසක් පිටුපස ඉන්නවා. ඔවුන්ගේ නිර්මාණ සඳහා දායකවීමට හිතුවේ නැත්තේ ඇයි?

මගේ තාත්තා ජයලත් පීරිස්. එක්ටැම් ගෙය, යකඩ පහන් තිර ඇතුළු නිර්මාණ කිහිපයක් නිෂ්පාදනය කළා. මගේ අක්කා ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කළා. මම ඒ කාලේ කලාවට ලොකු නැඹුරුවක් තිබුණේ නැති නිසා උනන්දුවක් දැක්වූයේ නැහැ.

 ඉදිරියේදී දිගටම නිර්මාණ සඳහා යොමුවීමට අදහසක් තියෙනවද?

දැනටමත් නිර්මාණ කිහිපයකින් ආරාධනා ලැබුණා. ‘තාදී’ ටෙලිනාට්‍ය නිසා තමයි මේ ආරාධනාවන් මට ලැබුණේ. මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා දිගටම කලාවේ රැඳෙන්න අදහසක් තිබෙනවා. මගේ බිස්නස් වැඩකටයුතුවලට බාධාවක් නොවන විදියට.

 සිනමාවට එතරම් ලොකු කැමැත්තක් නැහැ වගේ සෙනුරගේ?

චිත්‍රපටයක රඟපෑමට කවුද අකැමැති. ඒත් මම මේ ක්ෂේත්‍රයට තාම බීජයක් විතරයි. ටෙලිනාට්‍ය කිහිපයක රඟපාලා අත්දැකීම් එකතු කරගෙන සිනමාවට සම්බන්ධ වෙනවා. මොකද එය පුළුල් මාධ්‍යයක් නිසා දැනීමක් අවශ්‍යයි කියලා

තමයි මට හිතෙන්නේ.

 ආදරයට කෝඩුකාර වුණු ඔබ පුංචි තිරයට ප්‍රේමය බෙදාගන්න විදිය ගැන කතා කළොත්?

ආදරය කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි. කොල්ලොනේ අපි. අනික තාදී ටෙලිනාට්‍යයේ තරුණ සෙට් එකක් හිටිය නිසා කතාබහ කරලා එකමුතුවෙන් වැඩ කළා. එය මට අමුතු දෙයක් ලෙස දැනුණේ නැහැ. මම කැමරාව ඉදිරිපිට ජීවත් වුණේ නිමන්ත විදියට නිසා.

 ‘තාදී’ ටෙලිනාට්‍ය ජනප්‍රිය ටෙලිනාට්‍ය ලෙසට සම්මාන හිමිකර ගත්තා. ඔබටත් ලැබෙයි කියලා හිතුවද?

‘තාදී’ ටෙලිනාට්‍ය හරහා තමයි මාව බොහෝ දෙනෙක් අඳුනගත්තේ. ඉතින් මම මේ ක්ෂේත්‍රයට අලුත්. සම්මාන ගන්න මට ලොකු අත්දැකීමක් නැහැ.ඒ නිසා මම ඒ ගැන හිතුවේ නැහැ.

 සෙනුරගේ අනාගත සැලසුම්?

මගේ ව්‍යාපාර වැඩකටයුතුත් හොඳින් කරගෙන ප්‍රේක්ෂකයන්ට දැනෙන විදියේ හොඳ නිර්මාණ හරහා විවිධ චරිත රඟපාන්න අදහසක් තිබෙනවා.