මට ආද­රයේ හෝඩිය කියා දුන් ඇයට දිවිය පුරා ආද­රය දෙන්නට ඇත්නම් - සාරංග දිසාසේකර

Monday, May 10, 2021 , 0 Comments




අම්මාවරුන්ට වසරේ සෑම දිනයක් ම තම දරුවන් වෙනුවෙන් වෙන් වෙද්දී සෑම වසරකම අම්මාවරු වෙනුවෙන් වෙන්කර ඇති එක් දිනයක් තිබේ. අදට යෙදෙන ඒ දිනය වෙනුවෙන් අම්මාගේ ආදරය දශමයකින් හෝ අඩු නැතිව විඳගන්නට මෙන්ම අදටත් විඳිමින් සිටින්නට වාසනාවන්ත වූ ආදරණීය පුතකු ලෙස සාරංග දිසාසේකර ඔහුගේ අම්මා ගැන  ගුණ  ෙමලස  පුවත්පත්ක් සමඟිනි කියා තිබුණා.


 

ඉතා කුඩා වයසේ ඉඳලා මම ජීවිතේ ඉදිරියට ආවේ අම්මත් එක්කමයි. ඒ නිසාම අම්මා මගේ ජීවිතයට අතිශයින්ම සමීපයි. ළමා විය පසුකර ටිකෙන් ටික තරුණ අවධියට එනවිටත් අම්මා මට යහළුවෙක් තරම් සමීප වුණා. ඒ නිසාම මගේ ජීවිතයේ සෑම දෙයක්ම අම්මා සමඟ පවසන්නට, බෙදා ගන්නට මට හැකි වුණා. ඒ වගේම අම්මගේ ජීවිතේ තිබෙන ප්‍රශ්න ගැටලු මාත් එක්ක නිදහසේ කතාකරන්නට ඇයට හැකි වුණා. දරුවෙක් ලෙස මට විශාල සැහැල්ලුවක් අත්විඳින්නට ඒ නිසාම පුළුවන් වුණා. සෑම දරුවකුටම අම්මා සමඟ එහෙම සමීපව ඉන්න පුළුවන් නම්, සෑම අම්මා කෙනකුටම දරුවෙක් ඒ වගේ දැනෙනවා නම එය මහත් වාසනාවක් ලෙස මම දකිනවා.


ආදරය කියන සංකල්පය මුලින්ම දරුවකුගේ හිතට ඇතුළු වන්නේ අම්මගෙන්. ඒ නිසාමයි ආදරය හෝඩිය කියවන්නෙ අම්මගෙන් කියා මම මේ ගීතයෙන් කියන්නේ. ගීතයේ එක් තැනක කියවෙනවා 'ලියක් වෙලා මැවූ ලොවේ හිස්තැන් නෑ තිබුණේ' කියලා. අම්මා තනි ගැහැනියක් ලෙස මම මේ ලෝකෙ දුටු අතිශයින්ම ශක්තිමත් ගැහැනියක්. ඇය මට ලබා දුන් රැකවරණය ,ආදරය සහ අනෙකුත් කිසිදු දෙයක කිසිම හිස් තැනක් තිබුණේ නැහැ. අම්මගෙ ආදරය ඇතුළේ ජීවත් වන මට කිසිම අඩුවක් දැනුණේ නැහැ. තනිවම ජීවත් වන ගැහැනියක් ලෙස ඇයටත් ආර්ථිකව සාමාජීයව එන ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වෙන්නට ඇති. නමුත් ඇය ඉතාම ශක්තිමත්ව ඒ අභියෝගවලට මුහුණ දුන් බව මම දැක්කා. ඒ සෑම අභියෝගයක්ම අතරේ මාව මේ තැනට රැගෙන එන්න අම්මා දැඩි වෙහෙසක් දැරුවා.


අම්මා ගැන තියෙන මගේ මතක අතරේ ඉතාම කුඩා වයසට මගේ මතකය දිව යනවා. ඇය මා නමින් ගීයත් ලියනවා. ඒ ගීතය පටන් ගන්නේ පාළුව තනිකම පාවීලා කියන වචනවලින්. ඒ ගීතයේ ඇගේ ජීවිතයේ ඇය විඳගත් හැඟීම් සහ සියල්ල සමඟ ඇයට මාව දැනෙන තරම් හරි අපූරුවට ලියැවී තිබෙනවා. එදා ඒ ගීතයේ ඇතුළාන්තය පිළිබඳ හරිම අවබෝධයක් මට තිබුණේ නැති වුණත් අද ඒ ගීතය අහද්දි එහි කියවෙන අදහස මට ඉතාම තදින් දැනෙනවා. අපි වටේ කවුරුන් හිටියත් නැතත් අම්මට මමත් මට අම්මත් සිටියා සහ සිටිනවා කියන හැඟීම ඉතාම ප්‍රබලයි.


මම පුංචි කාලේ මොන වගේ දරුවෙක් ද? අම්මට කරදර කළා ද වගේ දේවල් මම දැනුත් ඉඳහිට අම්මගෙන් අහනවා. ඇය හැමවෙලේම කියන්නේ මම කිසිම කරදරයක් නොකළ හොඳ කීකරු දරුවෙක් ලෙස වැඩුණු බවයි. ඇතැම් විට මම දඟකාර හිතුවක්කාර දරුවෙක් වුණා නම් අම්මට ජීවිතය තවදුරටත් අසීරු වෙන්න තිබු බව ඇය පවසනවා. අම්මා මා වෙනුවෙන් කැප වෙන තරම දකින විට ඇගේ සිත සතුටින් තියෙන්න ඕනෑ යන හැඟීම ඉතාම කුඩා කාලයේ සිටම මට ඇති වුණා. ඒ නිසාම ඇය අපේක්ෂා කරන ආකාරයේ දරුවෙක් වෙන්නට මම නිරායාසයෙන් ම උත්සාහ දරන්නට ඇති. අදත් මං ගැන කවුරු හෝ හොඳක් කියන විට ඇගේ මුහුණේ මැවෙන හැඟීම් අතරින් ඇය සතුටුවන තරම මං දකිනවා.


අම්මා සමඟ ඇති අත්දැකීම් අතර කිසිම දරුවකුට විඳින්න නොලැබුණු ඉතාම විරල අවස්ථාවක් මගේ මතකයේ තිබෙනවා. ඒ මම කුඩා කාලයේ එක්තරා අවස්ථාවක අම්මා ජාතික ගුවන් විදුලියෙහි සජීවී වැඩසටහනක් මෙහෙයවන හෝරාවක ඒ පැයේ දී ම මටත් ස්වදේශීය සේවයේ ළමා වැඩසටහනක් සජීවීව මෙහෙය වන්නට අවස්ථාව හිමිවීම. එකම දවසක එකම වේලාවක අම්මා සහ පුතා දෙදෙනාම සජීවීව ගුවන්විදුලි නාළිකා දෙක වැඩසටහන් මෙහෙයවීම මෙතෙක් කලක් සිදුවී ඇති බව මට වෙනත් තැනක අසන්නට ලැබී නැහැ.


අම්මා නිවේදිකාවක් වීම ගීත රචිකාවක් වීම සහ සමාජයේ බොහෝ දෙනා ආදරය කරන කෙනෙක් වීම මට ආඩම්බරයක් වුණා. මගේ වයසෙ සහ මට සමකාලීන මිතුරන් බොහෝ දෙනෙක් 'ඩේන්ටි නැන්දා' වශයෙන් අම්මව ඒ කාලේ දැන සිටියේ එකල බොහෝ ජනප්‍රිය ළමා වැඩසටහනක් වූ ඩේන්ටි රසපැන රූපවාහිනි වැඩසටහනේ නිවේදිකාව වූයේ අම්මා නිසා. අම්මා බොහෝ දෙනාගේ ආදරය දිනා ගත් කෙනෙක් වීම මට හැමදාම අභිමානයක් වුණා.


මගේ අම්මා අදටත් බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නට කැමැති කඩිසර ශක්තිමත් කාන්තාවක්. ඇය විශ්‍රාම සුවයෙන් පසු වුණත් සෑම මොහොතකම ක්‍රියාශීලීව ඉන්නයි කැමති. ජීවිතයේ බොහෝ කාලයක් තනි ගැහැනියක් ලෙස දරුවෙකු සමඟ බොහෝ අසීරුතා මැද දිගු ගමනක් පැමිණ ඇති අම්මාට සැනසීමෙන් ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්නට අවස්ථාව ලබාදීමයි දරුවෙක් ලෙස මගේ බලාපොරොත්තුව. මට ආදරයේ හෝඩිය කියා දුන් ඇයට ජීවිත කාලය පුරාම ආදරය දෙන්නට තිබෙනවා නම් ඊට වඩා වෙනත් සතුටක් මා තුළ නැහැ.