මම රඟපෑම ඉගෙන ගන්න කැමතියි - ඉස්කෝලේ විහාරා ටීචර් - දමිිත්‍රි සුබසිංහ

Thursday, May 20, 2021 , 0 Comments



දෙරණ තරු අතරේ මේ දවස්වල බොහෝ දෙනා ආදරේ කරන චරිතයක් තමයි විහාරා ටීචර්. ඒ ඇය මේ දිනවල දෙරණ නාළිකාව ඔස්සේ රාත්‍රී 7.30 ට දිග හැරෙන ඉස්කෝලේ ටෙලි වෘතාන්තය තුළින් ගෙනන විහාරා ටීචර්ගේ චරිතය නිසාය. සුන්දර හිනාවකට මෙන්ම කතාවකටද හිමිකම් කියන ඇය නමින් දමිත්‍රි සුබසිංහ. 2019 වසරේ දෙරණ අවුරුදු කුමරිය වෙමින් රංගනයට යොමු වන දමිත්‍රිට අද වන විට ලැබිලා තියෙන ප්‍රේක්ෂක ආදරය වගේම ඇගේ පෞද්ගලික තොරතුරුත්  බෙදා ගත්තේ මේ විදිහට...


 


දමිත්‍රිට ආදරේ කරන අයට දැනගන්න පෞද්ගලික විස්තර ටිකක් කියමු?


මම පාසල් ගියේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට. උසස්පෙළ වාණිජ අංශයෙන් හදාරලා දැනට ව්‍යපාර කලමනාකරණය පිළිබඳ උපාධිය හදාරනවා ඒ වගේම බැංකු නිලධාරිනියක් විදිහට පෞද්ගලික බැංකුවක සේවය කරනවා.


 


ඔබත් දෙරණ බිහිකළ තරුවක්?


ඔව්. 2019 වර්ශයේදී දෙරණ අවුරුදු කුමරිය වුණාට පසුව මා මුලින්ම මම දායක වුණේ නොනිමි ටෙලිචිත්‍රපටයට. ඉන්පසුව පාවෙලා වලාකුළේ ඒවිද අම්මා සති අන්ත ටෙලි නාට්‍යය. ඉන් පසුවයි මට ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ විහාරාගේ චරිතය ලැබෙන්නේ. මේ සියල්ලම දෙරණ නිර්මාණ.


 


මුලින්ම කැමරාව ඉස්සරහට යනවිට මොකද හිතුණේ?


මේ වෙලාවෙදි මම මතක් කරන්න කැමතියි දිලූක ගුණතිලක අයියව. රංගනය මම ඉගෙන ගන්නේ ඔහුගෙන්. මේ වෙනකම් මම රඟපෑ සියලුම නිර්මාණය අධ්‍යක්ෂණය කළේ ඔහු. කැමරාව ඉදිරියට මුලින්ම එනවිට ලොකු බයක් තිබුණා. මාව හරියට පෙනෙයිද, මගෙ රඟපෑම කොහොම වෙයිද වගේ ප්‍රශ්න ගොඩක් මට තිබුණා. නමුත් අධ්‍යක්ෂවරයාගෙන් හා ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලැබුණ ගුරුහරුකම් නිසා මා තුළින් නිරායාසයෙන් ආ දෙය මට කරන්න පුළුවන් වුණා.


 


දමිත්‍රි රංගනය වෘත්තීය කරගන්න අදහසක් නැද්ද?


මම රංගනයෙන් යම්කිසි ආදායමක් ලබනවා. රංගනය කියන්නේ වෘත්තීමය වශයෙන් කරන්න හොඳ නැති දෙයක් නෙවෙයි. මම දැනටමත් බැංකු නිලධාරිනියක්. ඉදිරියේදී මගේම ව්‍යාපාරක් ආරම්භ කරන්නයි මා සැලසුම් කරන්නේ. නමුත් රංගනයට මම කැමතියි. ඒ නිසා එය අතහරින්නේ නෑ.


 


දමිත්‍රි ටීචර් කෙනෙක් වුණා නම් හොඳයි කියලා හිතුණේ නැද්ද?


මම ගොඩක් ආසයි ඒ වෘත්තීයටත්. ඉස්කෝලේ නාට්‍යයේදී වුණත් මං පොඩි දරුවො එක්ක ඉද්දි රඟපානවා කියලා තේරෙන්නේ නෑ. ඒ අය මට හරිම එකතුයි. මට හිතෙනවා මොන්ටිසෝරියක් වුණත් බලාගන්න හැකියාව තියෙනවා කියලා. ඒවගේම බොහෝ දෙනෙන් මගෙ නර්තනයන් දැකලා ඉල්ලීමක් කළා නැටුම් පංතියක් පටන් ගන්න කියලා. නමුත් මේ පවතින වසංගත තත්ත්වය එක්ක එය ආරම්භ කිරීමට පහසු නෑ.


 


දමිත්‍රි නර්තනය හදාරලා තියෙනවාද?


ඇත්තටම මම නර්තනය හැදෑරුවේ සාමාන්‍ය පෙළට අතිරේක විෂයක් විදිහටයි. පාසල් නර්තන කණ්ඩායමට හය වසරේ සිට සම්බන්ධ වෙලා හිටියා. නමුත් නර්තනයෙන් ඉදිරියට යන්න මට අදහසක් තිබුණෙ නෑ. මගෙ පවුල් පරිසරය ගෙන බැලුවත් නර්තනයට පරම් පරාවෙන් එන සම්බන්ධකමක් නෑ. ඒ වගේම මම නර්තනය වැඩිදුර හදාරලා නෑ. මට නම් හැඟෙන්නේ මෙය උපතින්ම ලැබුණ හැකියාවක්.


 


විහාරයි සැබෑ ජීවිතයේ දමිත්‍රියි සමානද?


විහාරගෙ චරිතය රඟපානවිට එය මට නුහුරු නුපුරුදු දෙයක් කියලා හැඟුණේ නෑ. ලොකුවට චරිතයට හැඩගැහෙන්න ඕන වුණේ නෑ. මමත් කලාවට ආදරෙයි. විහාරා වගේ සරලව ජීවත් වෙන්න කැමතියි. මගේ සාමාන්‍ය චරිතයත් විහාරත් දෙකම එක්කෙනෙක් කියලයි මට හැඟෙන්නේ.


 


රඟපාන්න හොඳ හැදෑරීමක් අවශ්‍යයයි කියලා දමිත්‍රිට හිතෙන්නේ නැද්ද?


රඟපාන්න මට අහම්බෙන් අවස්ථාව ලැබුණත් මට හරිම ආසයි එය ඉගෙනගෙන කරන්න. මට හිතෙනවා මගෙ දක්ෂතාවය තව තවත් ඔපමට්ටම් කරගන්න පුළුවන් රංගනය ඉගෙන ගැනීම තුළින්. ඒ ඔස්සේ මීට වඩා දෙයක් ප්‍රේක්ෂකයාට දිය හැකියි කියන විශ්වාසය මට තියෙනවා.




දමිත්‍රිට පවුලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා ඇති?


මගේ පවුලේ එකම ළමයා මං. ඇත්තටම මගේ අම්මා හැමදේකදීම මගෙ පස්සෙන් ඉන්නවා. තාත්තාගෙන් සහයෝගය ලැබුණත් අම්මා තමයි මගෙ යාළුවා. ඉතින් ඕනම තැනකට අපි දෙන්නා යාළුවෝ දෙන්නා වගේ යනවා.


 


ආදරේ කරන බොහෝ පිරිසක් අතරේ හිත ගත්ත කෙනෙක් ඉන්නවද දමිත්‍රි?


ම්ම්ම්ම්... ඔව්. මම ආදරවන්තියක්. ඔහුගෙන් මගේ වැඩවලට ලොකු සහායක් ලැබෙනවා. මට හොඳ ආරක්ෂකයෙක් ඔහු. ඒ වගේම මමත් මගේ සීමාව තුළ ඉදලයි වැඩ කරන්නේ. ඒ නිසාම මට කිසිම තහංචියක් නෑ ඔහුගෙන් හෝ දෙමාපියන්ගෙන්.


 


නිළියකගේ සිහිනය සිනමාවට එක්වීම. දමිත්‍රිටත් එවන් සිහින ඇති?


ආරාධනාවක් ලැබිලා තියෙනවා. නමුත් මම 'ඉස්කෝලේ' වැඩකටයුතු නිසා මම එයින් ඈත් වුණා. කාලය නිසා එකවර නිර්මාණ කිහිපයකට සම්බන්ධ වීමට අසීරුයි.


 


දමිත්‍රිට ලැබුණ දැනුණම ප්‍රේක්ෂක ප්‍රතිචාරය මොකද්ද කියලා ඇහුවොත්?


විහාරගේ චරිතයට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා. දැනටත් චූටී ටීචර්, විහාරා ටීචර්, නැටුම් ටීචර් වගේ නම්වලින් තමයි කතා කරන්නේ. එහෙම ඇහෙද්දි ලොකු සතුටක් දැනෙනවා. ඒ අතරේ විශේෂම දෙයක් වුණා අපි ගියපු ගමක හැගැණු ළමයි නවදෙනෙක් විතර මා දං අරගෙන මාව බලන්න ආවා. කොරෝනා නිසා අපේ නිෂ්පාදන කණ්ඩායම එන්න දීලා නැහැ. ඒත් ටික වෙලාවකට පස්සේ පිටිපස්සෙන් ඇවිත් මට වෙරළුගෙඩි හතරක් දුන්නා. ඒක මට හදවතට ගොඩක් දැනුණා.


තිළිණි රාජපතිරණ