උදෑසන ආහාර වේල ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි -අයෝමි ශානිකා

Tuesday, May 18, 2021 , 0 Comments




බාහිර පෙනුම කෙනකුට අතිශයින්ම වැදගත් තමයි. බාහිරින් දකින සමේ වර්ණය, මුහුණ පැහැපත් කිරීම, ආලේපන, කෘත්‍රිම හැඩගැන්වීම් පෙනුමට යම් විශේෂත්වයක් එකතු කරන බව සැබෑවක්. මෙතෙක් අප ‘රූ රහස්‘ ඔස්සේ ඒ සම්බන්ධව ප්‍රමාණවත් තරම් කතා කළා. නමුත් කෙනකුට හිමි සැබෑ ස්වභාවික ලස්සන මතුකර ගැනීම යනු ශරීර අභ්‍යන්තරයෙන් මතුකර ගත යුතු, අවබෝධයෙන් පාලනය කරගන්න අවශ්‍ය විද්‍යාවක්. අප මේ කලාපයේ සිට ‘රූ රහස්‘ ඔස්සේ කතා කරන්නේ තමන් තුළ සැඟවී ඇති සැබෑ ලස්සන මතු කරගන්නට අනුගමනය කළ යුතු ඒ දැනුමයි. ඒ දැනුම ඇය ෙමලස පුවත්පතත් සමඟින්  බෙදාෙගන තිබුනා.  ඇය නමින්  රටම හඳුනා ගත් රංගන ශිල්පිනියක් වගේම දේශීය වෛද්‍යවරියක ඒ අයෝමි ශානිකා යි.


 

බ්‍රහ්ම මුහුර්තය


ආයුර්වේදයේ උදෑසන අපිට අවදි වූ කාලයේ සිට දින චර්යාවක් හඳුන්වා දී තිබෙනවා. උදෑසන අවදි වන්න කියන්නෙ බ්‍රහ්ම මුහුර්තයෙන්. බ්‍රහ්ම මුහුර්තය කියන්නේ ඉර උදාවට විනාඩි හතළිස් අටකට කලින්. දිනෙන් දින ඉර උදාව වෙනස් දවස් පවතිනවා. උදෑසන හතරයි පනස් පහත් පහ මාරත් අතර අවදි වීම ඔබට සුදුසුම වෙලාවයි. ඒ වේලාවට අවදි වූ විට ඔබේ මනස ඉතා ප්‍රසන්න වෙන බව අතීතයේ පොත පතෙහි සඳහන්. පිරිසිදු වාතාශ්‍රය සේම අපට එම වේලාව අතර විශ්වයෙන් ලැබෙන යම්කිසි ශක්තියක් තිබෙනවා. ඒ ශක්තිය අපේ මනසට ළඟාකරගැනීමට මෙය ඉතා සුදුසු වෙලාවෙක් බව ආයුර්වේද රහස්වල සඳහන්.


බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ උදේට කිරි හෝ තේ කෝප්පයක් පානය කරන්න. නමුත් උදෑසන අවදි වූ විගස ඔබ පානය කළ යුත්තේ මඳ උණුසුම් වතුර වීදුරුවක්. එයට හේතුවක් තිබෙනවා. රාත්‍රි කාලය පුරාම අපේ අමාශය හිස් වී තිබීමෙන් ආමාශයේ බිත්ති ඛාදනය කරන ආම්ලිකතාවයක් ඇති වෙනවා. එමෙන්ම රාත්‍රි ආහාර දිරවීමෙන් පසු මළපහ කිරීමට ශරීරය සුදානමිනුයි සිටින්නේ. ඒ මළ පිට වීම පවා නිසිලෙස නියාමනය වන්නෙ ඔබ පානය කරන මඳ උණුසුම් වතුර වීදුරුවෙන්.




ආහාර පාන


උදෑසන ආහාර වේල ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතුයි. රාත්‍රි ආහාරයෙන් පසුව පැය දොළහක් පමණ අපි බඩගින්නේ සිටින නිසා උදේ ආහාරය බර ආහාරයක් වෙනවා නම් හොඳයි යන්නයි මගේ අදහස. එළවළුවක් සමඟ බත් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි. නැතිනම් මම නිර්දේශ කරන්නේ හාල්පිටිවලින් සෑදූ ආහාර කෑමට එක්කර ගන්නයි. කඩ කෑමෙන් පුළුවන් තරම් මිදෙන්න. එකම තෙල දහදොළොස් වතාවක් භාවිත කරන නිසා එයින් අහිතකර සංයෝග නිපදවෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ඒ නිසාම ඒ හදන කෙටි කෑම ශරීරයට අහිතකරයි.


දොඩම් ගෙඩියකින් බීමක් සාදා ගන්නවාට වඩා එහි බික් ගලවා ආහාරයට ගැනීම වටිනවා. දොඩම් බිමක් ලෙස සාදා ගන්නවා නම් එයට සීනී ලුණු අනිවාර්යයෙන් කලවම් කරන පුරුද්දක් අපට තියනවා. සීනී හා ලුණු කියන්නේ ශරිරයට අහිතකර දෙයක්. හැකි තාක් කෘත්‍රිම ආහාර පාන වලින් මීදීම වඩාත් සෞඛ්‍යට හිතකරයි. බොහෝ කෘත්‍රිම ආහාරවල අද වැඩිපුර ඇත්තේ රසකාරක. එයින් පිළිකා වැලඳීමේ අවදානම වැඩි බව දැන් හෙළි වී තිබෙනවා. කඩෙන් ගන්නා එළවළු පලතුරු කල් තබා ගන්න‍ෙ කාබයිට් ගසා විවිධ රසායනික ද්‍රව්‍ය යොදාගෙන. ඒ එළවළු පලතුරු ආහාරයට ගැනීමෙන් කැසීම්, රතු ලප, බිබිලි වැනි සමේ විවිධ ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ඉතින් හැකි තාක් උත්සාහ කරන්න නිවසේදීම එළවලු පලතුරු වවන්න.


බත් කන ගමන් වතුර බීම එදිනෙදා අපේ පුරුදු අතර තිබෙන ඉතා නරක පුරුද්දක්. ආහාර ගෙන වතුර උගුරු දෙක තුනක් බී පැය බාගයකට පසුවයි ඇති තරම් වතුර පානය කළ යුත්තේ. අමාශයෙන් හරි අඩක් ආහාර ලබා ගැනීමයි නිවරැදි ක්‍රමය. ඉතින් බඩගිනි වුණු ගමන් බඩ පැලෙන්න කන්න එපා. එනම් ඔබ කන ප්‍රධාන ආහාරයෙන් අඩක් කෑ පසු ඉතිරියෙන් හතරෙන් එකක් බීම වර්ග ( වතුර,කිරි,කැඳ ජාති ) ලබා ගත යුතුයි. ආමාශයේ ඉතිරි කාල අප හිස්ව තැබිය යුතුයි.


 

මිනිස් සිරුරට අවශ්‍ය වතුර ප්‍රමාණය දැන ගැනීමේ සූත්‍රය


අපේ ශරීරයේ බර හතෙන් බෙදා ඒ ලැබෙන ගානට වතුර වීදුරු පානය කරන්න අවශ්‍යයි. ඕනෑවට වැඩියෙන් ජලය පානය කිරීම වගේම අඩුවෙන් ජලය පානය කිරීමත් හොඳ පුරුද්දක් නෙවෙයි. බොහෝ දෙනෙක් සීත කාලයට අඩුවෙන් වගේම පායන කාලෙට වැඩිපුර වතුර බීමට උත්සාහ කරනවා. අවශ්‍ය පමණට වතුර ලබා ගැනීම මඟින් ඔබේ නිරෝගී බව වඩාත් තහවුරු කර ගන්න පුළුවන් .