පිටින් අපට දෙන වටි­නා­කම් ඇඟට ගන්න හොඳ නෑ - එරංග ජීවන්ත

Wednesday, April 28, 2021 , 0 Comments




චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘උතුරු සුළඟ‘ සිනමා නිර්මාණයේ ප්‍රධාන රංගන භූමිකාවෙන් ප්‍රේක්ෂකයන් හමුවට එන රංගන ශිල්පියා එරංග ජීවන්ත ය. පුංචි තිරයෙන් කාලෙකට සැරයක් වෙනස් හැඩයකින් ප්‍රේක්ෂකයන් අමතන ඔහු සිනමාවෙන් මුණගැහෙන්නේ කලකට පසුවය. ‘උතුරු සුළඟ‘ සිනමා නිර්මාණය ඔහු සිනමාවේ ප්‍රධාන රංගන භූමිකාවකට පණ පොවන පළමු නිර්මාණය වීම ද විශේෂත්වයක්. ඉති ඔහු මේ ගැන මෙලෙස පුවත්පතකට විස්තර කියා තිබුනා.


 


‘උතුරු සුළග‘ ඔබට විශේෂයි?


මම ප්‍රධාන චරිතයකට රංගනයෙන් එකතු වෙන පළමු චිත්‍රපටය ලෙස එය මට විශේෂයි. චාමර ජනරාජ් පීරිස් ගේ ටෙලි නාට්‍යවලට මම සම්බන්ධ වුණා. ඒ ඔස්සේ මගේ රංගනය පිළිබඳ ඔහුට ඇති වුණු විශ්වාසය මත ඔහුගෙත් පළමු චිත්‍රපටය වුණු ‘උතුරු සුළග‘ ට මාව සම්බන්ධ කරගන්න ඇත්තේ.


ගැමි පරිසරයක් තුළ ජීවත් වෙන තරුණයෙක් ලෙස බොහොම ආදරණීය චරිතයක් මට කරන්න ලැබුණා. බොහොම කැමැත්තෙන් එයට සම්බන්ධ වුණා. හැමෝගෙම සහයෝගයෙන් ලස්සනට වැඩේ කළා යැයි හිතනවා. ඒත් ඒ සාර්ථක බව තීරණය කරන්නේ ප්‍රේක්ෂකයෝ.


 


මේ සිනමා නිර්මාණයේදි විවිධ අභියෝගවලට මුහුණ දෙන්නත් එරංගට සිදු වුණා නේද?


‘උතුරු සුලඟ‘ චිත්‍රපටයේ රූ ගත කිරීම් තිබුණේ ආනමඩුවේ හරිම ලස්සන පැත්තක. ඒ කාලේ මගේ බිරියට පුතා ලැබෙන්න නිසා ඇය අපහසුතාවලින් හිටියේ. නමුත් භාර ගත්ත වැඩේ නිසා අම්මලා තාත්තලාට බිරියව බලාගන්න වගකීම පවරලා මම රූගත කිරීම්වලට ගියා. චිත්‍රපටයේ සෑම දර්ශනයකම මගේ රංගනයක් ඇතුළත් නිසා ඒ කාල සීමාවේ ගෙදර එන්න වුණේ නැහැ. සරලාටත් ඒ ගැන හොඳ තේරුම් ගැනීමක් තිබ්බා. ඒ නිසා එයා මට නිදහස දුන්නා ඇය.


 


ඔබව බොහෝ විට දකින්න ලැබෙන්නෙම චාමර ජනරාජ් පීරිස්ගෙ නිර්මාණවලින් ?


ගොඩක් අය හිතනවා මම කරන්නේ චාමර අයියගේ වැඩ විතරයි කියලා. ඔහුගේ නිර්මාණ හතරකට තමයි සම්බන්ධ වුණේ. මම එහෙම නිර්මාණකරුවෝ බෙදාගෙන නැහැ. නිර්මාණයකදි වෙනස් විදිහට හිතලා වෙනස් වැඩක් කරන නිර්මාණකරුවෙක් තමයි චාමර අයියා. ඔහුගේ නිර්මාණයකට කතා කළාම මම සම්බන්ධ වෙනවා.


අනෙක් නිර්මාණකරුවන්ගෙත් හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා. මම මුලින්ම සම්බන්ධ වුණේ උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ ‘චැලෙන්ජර්ස්‘ චිත්‍රපටයට. එය මට අමතක නොවන නිර්මාණයක්. ඒක දැකලා තමයි මට චාමර අයියා ගේ ‘පියවි‘ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ. අද මම මොනම හෝ තැනක ඉන්නවා නම් ඒ වෙනුවෙන් මම උදයකාන්ත මහත්මයාට ස්තූතිවන්ත වෙනවා.




එරංග කාලයක්ම රංගන කටයුතුවලින් ඈත් වෙලා නේද හිටියේ ?


මම දැන් පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. රැකියාව නිසා රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න කාලය ටිකක් අඩුයි. රංගනයට තිබෙන ආදරය නිසයි කොහොම හරි ඉඳලා හිටලා හරි හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ. හිතේ තිබුණු ප්‍රශ්නයක් නිසා මම පහුගිය අවුරුදු දෙක තුනේ අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. ඒ නිසා හොඳ වැඩ කිහිපයක්ම මඟහැරුණා. ඒ ගැන දුකක් නැහැ.


ඉදිරියෙදි හොඳ නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබෙයි. අම්මා තාත්තා බලාගෙන රැකියාවත් කරගෙන මගේ පුංචි පවුලත් බලාගෙන රංගන කටයුතුවල පුළුවන් විදිහට සම්බන්ධ වෙනවා.


රංගනයට හැකියාව තිබිලත් එරංග රංගනය වෘත්තිය කරගෙන නැහැ ?


මම මහා ලොකු දක්ෂ නළුවෙක් නෙමෙයි. වෘත්තිමය තත්ත්වය හදාගන්න මුදල් හම්බ කරන මාර්ගය ලෙස රංගනයෙ නියැලුණොත් මට පවුලත් එක්ක ගත කරන කාලය නැති වෙනවා. හැමදේම සමබර කරගන්න තෝරා බේරා ගෙන වැඩ කළාම අපි කාටවත් අහු වෙන්නෙ නැහැ.


 


කලා ක්ෂේත්‍රය තුළ ඔබට නිසි වටිනාකමක් ලැබෙනව ද?


මට වටිනාකමක් නැතුවම නෙමෙයි. හැබැයි බාහිරින් ලැබෙන වටිනාකම් ඇඟට ගත්තොත් ඒක ප්‍රශ්නයක්. ඒ වටිනා කම් ඇඟට නොගෙන හොඳ දේවල් කළොත් ඒ වටිනාකම් වැඩි වෙනවා.


 


කාලයකට සැරයක් නිර්මාණයකින් හමුවෙන එරංගට ප්‍රේක්ෂක ආදරය අඩුවෙන එකක් නැද්ද?


සාමාන්‍ය ප්‍රේක්ෂක පිරිසක් මට හිටියා. මම නිතර පේන්න හිටියා නම් මට ඒ ප්‍රේකෂක පිරිසත් නැති වෙන්න තිබුණා. හැමදාම පේන්න ගත්තොත් ප්‍රේක්ෂකයන්ටත් අපිව එපා වෙන්න පුළුවන්.




ඔබ දැන් ආදරණීය සැමියෙක් හා පියෙක්. නමුත් ඔබේ විවාහය සිදු වුණේ අප්‍රකටව ?


මමත් සරලාත් ප්‍රසිද්ධිය කියන දෙයට එතරම් කැමැති දෙන්නෙක් නෙමෙයි. සරලා වුණත් ගොඩක් කැපී පෙනෙන්න කැමැති නැහැ. ඒ නිසාම අපිට බොහොම පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්.


අපි ආදරවන්තයෝ වුණේ මීට අවුරුදු අටකට විතර කලින්. තුසිත් ද සිල්වා අයියගේ ‘යකඩ දෝළි ‘ටෙලි නාට්‍යයෙන් තමයි අපි හමුවුණේ. ‘වෝටර්‘ චිත්‍රපටයේ ගැහැනු ළමයා ඒ නාට්‍යයේ රඟපානවා කිව්වම මමත් ටිකක් බලන්න ගත්තා.


හැබැයි නාට්‍යයෙදි අපි අතර ආදර සම්බන්ධයක් තිබ්බේ නැහැ. දින පහළොවක් විස්සක් අපිට එකට වැඩකරන්න ලැබුණා. අපි කතාබහ කළා. ෂුටින් නැති වෙලාවට සරලා සහ මම මගේ ලැප් එකෙන් චිත්‍රපට බැලුවා. ඊට පස්සේ මගේ ‘පියවි‘ නාට්‍ය බලලා සරලා මගේ රංගනය අගය කරලා මැසේජ් එකක් එව්වා. සරලා වගේ කෙනෙක් එහෙම කියද්දි පොඩි සතුටක් දැනුණා. ඊට පස්සේ අපි තව කතාබහ කළා.


එයා එවපු මැසේජ් එක තමයි අපේ කතාව වෙන පැත්තකට පරිවර්තනය කළේ. ඔය කතාව දුර ගිහින් තමයි රණ්ඩු වෙවි ආදරය කර කර ඉන්න තරම් අපිව ළං වුණේ. දැන් අපිට පුතෙකුත් ඉන්නවා. එයාගේ නම ලියම් චත්‍ර ඇලෙක්සැන්ඩර්. දැන් පුතාට අවුරුද්දයි මාස තුනයි. සරලයි පුතයි අම්මයි තාත්තයි තමයි දැන් මගේ ජීවිතේ.


 


දෙන්නා අතර ජීවිතේ ගලාගෙන යන්නෙ කොහොම ද?


සීමා දාගන්න ගනුදෙනුවක් අපි අතර නැහැ. ඇය මටවත් මම ඇයටවත් කිසි දෙයක් කරන්න එපා කියන්නේ නැහැ. සරලාටත් වැඩ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉන්දියාවේ වැඩකටත් ආරාධනා ලැබිලා තියෙනවා. කොරෝනා ප්‍රශ්නය නිසා ඒ වැඩ කල්ගියා. නමුත් මම වගේම සරලත් ඉදිරියේදි නිර්මාණවලට සම්බන්ධ වෙයි.