මට නළුවෙක් වෙනවාට වැඩිය කැමරාව පිටුපස ඉන්න තමයි ඕනෑ වුණේ-රිද්ම

gossiplanka image 1
අහසක් තරම් බලාපොරොත්තු දල්වාගෙන අහසක් තරම් ආදරය මැදින් යන ගමනේ “අහස තරම්’ හි අහස්වීම සතුටකට එහා ගිය හැඟීමක්.ඔබ වෙනුවෙන්ම ආදරයෙන් පිදෙන ‘අහස තරම්’ හි අහස් අපිත් එක්ක ඔන්න ඔහොමයි කතාවට මුලපිරුවේ. එතකොට කවුද මේ අහස්. ඒ වෙන කවුරුවත් නෙමෙයි ඔයාලා හැමෝටම අමතක නොවන කටහඬක් හිමි රිද්ම වීරවර්ධන.


ඇත්තටම මේ දවස්වල හැමෝම මගේ රංගනය ගැන තමයි කතාබහ වෙන්නේ. මම හිතුවේවත් නැති විදිහට ප්‍රතිචාර ගලාගෙන එනවා. මගේ ක්‍ෂේත්‍රයේ අය මේක දැකලා මොනවා කියාවිද කියන බය තමයි මුලින්ම තිබුණේ. හැබැයි ඔවුනුත් මේ ගැන හොඳ කියලා තිබුණා.


රිද්මට ‘අහස තරම්’ හි අහස්ව හම්බවුණ විදිහත් හරි අපූරුයි.


මම කොහොමටත් භාරත හෙට්ටිආරච්චි, සනත් වික්‍රමාරච්චි වගේ මගේ මිතුරන් සමග සිනමාවට සම්බන්ධ වෙලා වැඩ ටිකක් කරමු කියලා කතාබහක් යන අතරේ තමයි චතුරංග අයියගෙන් මට මේ ආරාධනාව ලැබෙන්නේ. මේ ආරාධනාව ලැබුණු ගමන් ඒ අභියෝගය භාර අරගෙන ඒ අත්දැකීම විඳිනවා කියලා හිතලා ඒ පැත්තට අඩිය තිබ්බේ. ඒකත් එක්ක මට අහස්ව මුණගැසුණා.


ගායකයකුට අමතරව රිද්ම නළුවෙක් වෙනවා කියන අදහසෙන් ඉඳලා තියෙන හැඩයි.


මට නළුවෙක් වෙනවාට වැඩිය කැමරාව පිටුපස ඉන්න තමයි ඕනෑ වුණේ. ඉතිං ඒකටත් ඒක අඩිතාලමක් වෙන්න පුළුවන් මේ අවස්ථාව. ගොඩාක් අය දන්නේ නැති වුණාට මම ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවේ වැඩ කරලා තියෙනවා. මම කාලයක් අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවට එකතුවෙලා එතැනදී වේදිකාවේ පන්නරය ලැබුවේ ඔය අතරේ. මම සංගීතයට ඇවිත් ඒ ජනප්‍රියත්වය ලබන්න කලින් රූපවාහිනි වෙළෙඳ දැන්වීම්වලට පවා පෙනීඉඳලා තියෙනවා. කොරෝනා කාලයේ ටෙලිනාට්‍යයක් රූගත කිරීම් සිදුකරලා ඒක අන්තිමේ අතරමග නැතුණා. මුලින්ම රඟපෑවේ ටෙලිනාට්‍යයක. ඒක අදටත් විකාශය වුණේ නැහැ. මෙච්චර ඉක්මනට සිනමාවට ඒවි කියලා හිතුවේ නැහැ.


රිද්මට, අහස්ව රිදී තිරයෙන් දකිනකොට හරි අපූරු හැඟීමක් ඇතිවෙන්න ඇති.


හරි අතිශෝක්තිමත් හැඟීමක් තමයි මුලින්ම දැනුණේ. ලොකු තිරයේදී දකිද්දී මට දැනුණු දේ තමයි ෆිල්ම් කැමරාවට බොරුකරන්න බෑ කියන එක. හැම පොඩි වැරැද්දක්ම පේනවා. මම ටිකක් වැඩිපුර හිතන හින්දා මට මගේ අඩුපාඩු ටිකක් පෙනෙන්න ගත්තා. ඒක හරි අමුතු සහ වෙනස් අත්දැකීමක්. අපි ප්‍රසංගයකදී සජීවීව සිදු කරන ගායනයට ලැබෙන ප්‍රතිචාර අත්විඳලා තියෙනවා. මේ අත්දැකීම ඊට වැඩිය හාත්පසින්ම වෙනස්. අනික මම නියැළී සිටින සංගීත ක්‍ෂේත්‍රය එක්ක ගත්තහම සිනමා ක්‍ෂේත්‍රය කියන්නේ වෙනස්ම අත්දැකීමක්. අනික මට එක දිගටම රඟපාන අදහසකුත් නැහැ. ප්‍රධාන අරමුණ සංගීතයෙන් ඉදිරියට යෑමයි.


එහෙනම් කියමු බලන්න රිද්ම වීරවර්ධන ගායකයාගේ වැඩකටයුතු එහෙම.


චිත්‍රපටයේ වැඩකටයුතු එක්ක ගායකයාගේ වැඩකටයුතු කරගෙන යනවා. සංගීත වැඩකටයුතු රැසක් කරලා තියෙනවා. ඔක්තෝබර් 31 වැනිදා නාදගම ප්‍රසංගයක් මෙල්බර්න්වල පැවැත්වෙනවා. ඒකටත් සූදානම් වෙනවා. ඔය අතරේ කොන්සර්ට් ටිකක් එකදිගට තියෙනවා.


අහස තරම් රූගත කිරීම්හි අත්දැකීම් ගැනත් රිද්ම කතාබහ කළා.


මයුර පෙරේරා සහ උමා අසේනිට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනෑ. මොකද අපි කණ්ඩායමම එකතු කරගෙන රූගත කිරීම් පටන් ගැනීමට පෙර ලොකු වැඩමුළුවක් සිදු කළා. ඒක මට ලොකු උදව්වක් වුණා මේ වැඩේ කරගෙන යන්න. එක එක කාලවලදී එකතු කරගත්තු දේවල් මේකට පාවිච්චි කළා. ජීවිතයේ ලද අත්දැකීම් එක්කත් මට විශ්වාසයක් තිබුණා ‘අහස්’ ට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් වේවි කියලා. නමුත් ඕනෑම කෙනකුට තිබුණ චකිතය මටත් තිරගත වෙනකම් තිබුණා. පිටපතේ තිබුණ සමහර රූගත කිරීම් අමාරු අවස්ථා, තිරයේ දකිනකම් බයෙන් හිටපු අවස්ථා තිබුණා. අන්තිමේ ඒ සියල්ලටම සාර්ථකව මුහුණ දුන්නා කියලා මට හිතෙනවා.


රිද්ම දැන් වැඩිපුර කැමැති රඟපෑමටද? නැතිනම් රංගනයටද? ඒකට උත්තරය තියෙන්නේ ඔහු ළඟමයි.


මම අනිවාර්යයෙන්ම කැමැති සංගීතයට. සංගීතය කියන්නේ ලොකු සුවයක් ලබන දිව්‍ය ඔසුවක්. සංගීතය වගේම සුවයක් ලබාදෙන විෂයක් තමයි රංගනයත්. නමුත් මේ දෙක අතර ලොකු සමානකම් වගේම වෙනස්කම් පවා තියෙනවා. රංගනය හදාරන්නත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගැනත් මේ වෙලාවේ සොයා බැලීමක් සිදු කරනවා. මගේ හැකියාවන් ඇතුළේ තෝරාගත් නිර්මාණවල මම ඉදිරියේදී වැඩ කරාවි.


අහස තරම් චිත්‍රපටය එක්ක රිද්ම අලුත්ම ආදරයක පැටලිලා කියලා කතාවකුත් පැතිරිලා යන පාටයි.


සිනාසෙමින්… චිත්‍රපටයේ නම් රෂීගෙයි මගෙයි හරි ආදරණීය විදිහට සම්බන්ධතාවයක් ගෙඩනැඟිලා තියෙනවා. මම හිතන්නේ ගොඩක් අය ඒ ගැන කතාබහ කළා. අපි දෙන්නා හොඳට රංගනයේ නියැළෙනවා කියලා ගොඩක් දෙනෙක් කතාබහ කළා. ඒක නිසා අපි දෙන්නා අතර සම්බන්ධයකුත් තියෙනවා කියලා කාට හරි හිතෙනවා නම් අපි දෙන්නාගේ රංගනය සාර්ථකයි කියලයි මට හිතෙන්නේ.


අද කාලේ සංගීතය ඇතුළෙත් ලොකු තරගයක් තියෙනවානේ. හැබැයි රිද්ම බොහොම හෙමින් ගමනක් තමයි යන්නේ.


මට තරගය කියලා දෙයක් ලොකුවට දැනුණේ නැහැ. මම මගේ ගමන පටන් ගත්තු කාලයේ ඉඳලා බොහොම හෙමින් ගමනක් ගියේ. මම මේ ක්‍ෂේත්‍රයේ ගත කරපු අවුරුදු අටක කාලය ඇතුළත ප්‍රේක්‍ෂකයා සහ ක්‍ෂේත්‍රයේ වෙනස මම දැක්කා. අනික මම මගේ ගමන ෂේප් එකේ යනවා. මම මගේ පැෂන් එක්ක කොච්චර දුරට ළඟා කරගන්න පුළුවන්ද කියන එකටයි මට ආසාව තියෙන්නේ. තරගයක් එක්ක සෙට් වුණොත් හරි කලබලකාරීයි. එතකොට තමන්ට ආසා විදිහට වැඩ කරගෙන යන්න වෙන්නේ නැහැ. මම ඒකට කැමති නැහැ. ටේ‍රන්ඩ් එක හරි තාවකාලිකයි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
Previous Post Next Post