ප්‍රසිද්ධිය වෙනුවෙන් අශෝභන චරිත රඟපාන්න කිසිම අදහසක් නැහැ - ශේෂාද්‍රි ප්‍රියසාද්

gossiplanka image 1
 කාලයක් රංගන කටයුතුවලින් තරමක් ඈත්ව නිහඬව සිටි ජනප්‍රිය රංගන ශිල්පිනී ශේෂාද්‍රි ප්‍රියසාද්, මේ දිනවල චිත්‍රපට තුනක් ඔස්සේ එකවර ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ සිටී. සිය රංගන ජීවිතයේ මෙම නව පිබිදීම සහ ඉදිරි කලා කටයුතු පිළිබඳව ඇය පසුගියදා අරුණ පුවත්පත සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී අදහස් දක්වා තිබුණි.


ශේෂාද්‍රි මේ වන විට සිනමාවේ නිතර දැකගත හැකි නිළියක් බවට පත්ව සිටිනවා නේද?


කුඩා කාලයේ සිටම මගේ ලොකුම සිහිනය වූයේ රංගන ශිල්පිනියක් ලෙස ඉදිරියට යාමයි. අද වන විට එම සිහිනය සැබෑ වී තිබෙනවා. මේ දිනවල තිරගත වන 'එදා රෑ', 'අග්නිජ' සහ 'රහයි ජීවිතේ' යන චිත්‍රපට තුනෙන්ම රසිකයන්ට මාව දැකගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.


මේ දිනවල තිරගත වන 'රහයි ජීවිතේ' ඔබ රංගනයෙන් දායක වූ කීවැනි චිත්‍රපටයද?


මම ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වූයේ 2011 වසරේ තිරගත වූ 'චැලේන්ජස්' චිත්‍රපටය හරහායි. නමුත් ළමා නිළියක් ලෙස මම මුලින්ම සිනමාවට පිවිසියේ 1997 වසරේදී මගේ පියා වන දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කළ 'අපායේ තත්පර අසූහාරදාහක්' චිත්‍රපටයෙනි. ප්‍රධාන චරිතයකින් සිනමාවට පිවිසියේ 2011 වසරේදීයි. ඒ අනුව මේ දිනවල තිරගත වන 'රහයි ජීවිතේ' මම රංගනයෙන් එක් වූ 11 වැනි චිත්‍රපටයයි.


කලා ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් යන ශේෂාද්‍රි, දිනක්ෂි සහ ශනුද්‍රි යන දියණියන් තිදෙනා ගොඩනැඟූ දැවැන්ත ශක්තිය ලෙස දිනේෂ් ප්‍රියසාද් හැඳින්විය හැකියි. පියා පිළිබඳව ඔබට හැඟෙන්නේ කෙසේද?


අප කලා ක්ෂේත්‍රයට පිවිසියේ තාත්තා නිසයි. කුඩා කාලයේ සිටම තාත්තා සිනමාවේ වැඩ කරන ආකාරය අපි දුටුවා. ලොකු වූ පසු රංගන ශිල්පිනියක් විය යුතුය යන අදහස අප තුළ ඇති වූයේත් තාත්තා නිසයි. රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ යහපත් ගමනක් යාමට අපට නිවැරදි මඟ පෙන්වීම ලබා දුන්නේ තාත්තායි.


පියා අධ්‍යක්ෂණය කළ 'රහයි ජීවිතේ' චිත්‍රපටයට රංගනයෙන් දායක වීම ඔබට දැනුණේ කෙසේද?


එම චිත්‍රපටයේදී 'තාත්තා' යන භූමිකාවෙන් බැහැරව වෘත්තීය අධ්‍යක්ෂවරයෙකු ලෙසයි මම ඔහුව දුටුවේ. ඒ නිසා මෙම චිත්‍රපටයේ රඟපෑම මට එතරම් පහසු වූයේ නැහැ. තාත්තාගේ වෘත්තීය අධ්‍යක්ෂණ නීතිරීතිවලට යටත්වයි මම රංගනයේ නිරත වූයේ. කෙසේ වෙතත් එය මට ඉතා අපූරු අත්දැකීමක් වුණා.


'රහයි ජීවිතේ' මොන ආකාරයේ කතාවක්ද?


ආදරය සහ පවුල් සබඳතා පිළිබඳව හාස්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කරන චිත්‍රපටයක් ලෙස 'රහයි ජීවිතේ' හැඳින්විය හැකියි. සැමියාව පාලනය කරමින් සිටින ඉතා සැර බිරිඳකගේ චරිතයයි මම මෙහි රඟපාන්නේ. මගේ සැමියා ලෙස රංගනයෙන් දායක වන්නේ ටෙනිසන් කුරේයි. මෙම චිත්‍රපටය නැරඹීමෙන් සිනාසී ලේ පිරිසිදු කරගෙන ජීවිතය රසවත් කරගැනීමට හැකියාව ලැබෙනවා.


විකට ලොවේ රජු ලෙස හැඳින්වෙන ටෙනිසන් කුරේ සමඟ රඟපෑමෙන් ලැබූ අත්දැකීම කෙබඳුද?


ටෙනිසන් අංකල් පෙර සිටම අපේ පවුලේ සමීප හිතවතෙක්. කුඩා කාලයේ සිටම මම ඔහුව හඳුනනවා. ඒ නිසා 'රහයි ජීවිතේ' චිත්‍රපටයේදී එතුමා සමඟ රඟපෑමට අවස්ථාව ලැබීම මට ඉතා සුන්දර අත්දැකීමක් වුණා.


ඔබ රංගනයෙන් දායක වූ 'එදා රෑ' චිත්‍රපටය දින 50 ඉක්මවමින් තවමත් සාර්ථකව තිරගත වනවා. යුගයක් වසඟ කළ මිල්ටන් මල්ලවආරච්චිගේ පෙම්වතිය ලෙස රඟපෑමට ලැබුණු අවස්ථාව පිළිබඳව ඔබට දැනෙන්නේ කෙසේද?


'එදා රෑ' චිත්‍රපටයේදී මම රඟපාන්නේ මිල්ටන් මහතාගේ පෙම්වතියක වූ 'ශිරානි'ගේ චරිතයයි. මගේ රංගන හැකියාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වූ විශිෂ්ට අවස්ථාවක් ලෙස මම මෙම චරිතය හඳුන්වන්න කැමතියි. සාමාන්‍යයෙන් මම අඳින පළඳින ආකාරයට වඩා වෙනස් ඇඳුම් විලාසිතාවක් මෙම චරිතය වෙනුවෙන් භාවිත කෙරුණා. එයත් සුන්දර අත්දැකීමක් වුණා. දින 50 ඉක්මවා ගියද තවමත් ප්‍රේක්ෂක ඉල්ලුමේ අඩුවක් නැහැ. චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන් නිතරම පවසන්නේ මිල්ටන් මහතාගේ විරහ වේදනාව ප්‍රේක්ෂකයන්ට සමීප කරවන පෙම්වතියක් වීමට මට හැකි වී ඇති බවයි.


ඔබ රංගනයෙන් දායක වූ තවත් චිත්‍රපට කිහිපයක්ම ඉදිරියේදී තිරගත වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා?


ඔව්. මම රඟපෑ තවත් චිත්‍රපට දෙකක් ලබන වසරේදී ප්‍රේක්ෂකයන්ට නැරඹීමට හැකි වනවා. ඒ අතරින් මහේෂ් විදානපතිරණ සහ මාලිංග විජේසිංහ සම අධ්‍යක්ෂණය කරන 'Honeymoon Of Tomorrow' චිත්‍රපටය මුලින්ම තිරගත වනු ඇති. ඊට අමතරව බුද්ධික ජයරත්නගේ අධ්‍යක්ෂණයෙන් සහ ජයන්ත චන්ද්‍රසිරිගේ තිර රචනයෙන් නිර්මාණය වූ 'කොළඹ 13' චිත්‍රපටයත් ලබන වසරේදී රසිකයන්ට දැකගත හැකියි.


පසුගිය කාලයේ රංගනයෙන් ඈත්ව නොසිටියේ නම් මීට වඩා ඉහළ තැනක සිටීමට හැකියාව තිබුණා නේද?


අපේ ජීවිතයට ඇතැම් දේවල් නොලැබෙන්නේ සහ අහිමි වන්නේ ජීවිතය තිබුණාට වඩා යහපත් ආකාරයෙන් වෙනස් කිරීමට බවයි මම විශ්වාස කරන්නේ. රංගනයෙන් ඈත්ව සිටි කාලය තුළ මිනිසුන් සහ සමාජය පිළිබඳව මම බොහෝ දේ ඉගෙන ගත්තා. ඇතැම් කරුණු පිළිබඳව ඔවුන්ගේ පැත්තෙන්ද මම කල්පනා කළා. ඒ සියල්ල ගැන සිතා මගේ ආධ්‍යාත්මය දියුණු කරගැනීමට මට හැකි වුණා. පෙර සිටියාට වඩා මනසින් දියුණු වීයි මම නැවත රංගනයට පිවිසියේ. ඒ නිසා නිහඬව සිටි කාලය පිළිබඳව මට ඇත්තේ සතුටක් මිස කිසිදු පසුතැවීමක් නොවෙයි.


නැවත රංගන ක්ෂේත්‍රයට පැමිණ කෙටි කාලයක් තුළ මෙවැනි සාර්ථකත්වයක් ළඟා කරගැනීමට හැකි වූයේ කෙසේද?


මා වටා සිටින ආදරණීය රසිකයන් නිසයි නැවත පැමිණ මෙතරම් සාර්ථකත්වයක් ලබාගැනීමට හැකි වූයේ. ඒ සඳහා මගේ පවුලේ අයගෙන්ද විශාල සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම මගේ සැමියා වන ක්‍රිෂාන් හැකියාව අපතේ නොහැර වැඩ කරන ලෙස මට නිතරම පවසනවා. අද මා සිටින ස්ථානය මට හිමි වූයේ මා වටා සිටින යහපත් මිනිසුන් නිසා බවයි මම සිතන්නේ.


සිනමාවේදී රඟපෑමට විශේෂ කැමැත්තක් දක්වන චරිතයක් තිබෙනවාද?


'ශේෂාද්‍රි ප්‍රියසාද්' ලෙස නොව, ප්‍රේක්ෂකයාට වෙනස් ආකාරයකින් පෙනෙන සහ දැනෙන අභියෝගාත්මක චරිතයක් කිරීමට මගේ බලාපොරොත්තුවක් තිබෙනවා. එහෙත් කිසිම අවස්ථාවක ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් අශෝභන චරිත රඟපෑමට මගේ කිසිදු අදහසක් නැහැ.


ප්‍රියසාද් පවුලට එක් වූ බෑනාවරුන් තිදෙනාම කලාකරුවන්. ඔවුන් සමඟ පවුලේ බැඳීම කෙබඳුද?


අපේ පවුලට සම්බන්ධ වී සිටින සාරංග අයියා, ක්‍රිෂාන් සහ දිනේෂ් මල්ලි යන තිදෙනාම කලාවට විශාල ලැදියාවක් දක්වන අයයි. ඔවුන් කලාවට ආදරය කරන නිසාම අපේ පවුල හොඳින් තේරුම් ගැනීමට ඔවුන්ට හැකි වී ඇතැයි මම සිතනවා. ඒ තිදෙනාම අපට මෙන්ම අපේ මවට සහ පියාටත් බෙහෙවින් ආදරය කරනවා.


ENGLISH SUMMARY:

Sri Lankan actress Sheshadri Priyasad has returned to the silver screen with three films screening simultaneously, marking a major comeback after a quiet period in her acting career. In a recent interview with the Aruna newspaper, she spoke about her current releases—Eda Rae, Agnija, and Rahai Jeevithe—which fulfill her childhood dream of advancing in cinema. Having debuted as a child actress in her father Dinesh Priyasad's 1997 film Apaye Thathpara Asuharadahak before gaining widespread recognition with Challengers in 2011, she noted that Rahai Jeevithe is her 11th film. Working under her father's professional direction alongside veteran comedian Tennyson Cooray, she plays a strict wife in the family comedy. She also highlighted the ongoing success of Eda Rae, which has passed 50 days in theaters, where she portrays Shirani, the girlfriend of legendary singer Milton Mallawarachchi. Looking ahead, Sheshadri revealed two upcoming films set for release next year: Honeymoon Of Tomorrow, co-directed by Mahesh Vidanapathirana and Malinga Wijesinghe, and Colombo 13, directed by Buddhika Jayaratne and written by Jayantha Chandrasiri. Reflecting on her hiatus, she expressed no regrets, crediting the break for her personal and spiritual growth, while thanking her fans, family, husband Krishan, and the close-knit Priyasad family—including sisters Dinakshi and Shanudrie and brothers-in-law Saranga and Dinesh. While eager to take on challenging roles, Sheshadri firmly stated she has no intention of accepting inappropriate roles for fame.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post