සිංහල සිනමාවේ වර්තමාන සුපර් ස්ටාර් රන්ජන් රාමනායක ගැන නොදන්නා අයෙක් අපේ රටේ සිටිත්ද? රංගන ශිල්පියෙක්, සිනමා අධ්යක්ෂවරයෙක්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් ලෙස අපේ රටේ අතිශය ජනප්රිය චරිතයක් වන රන්ජන් මෙවර තරුණී අම්මාවරුනේ විශේෂාංගය හැඩ කිරීමට අප හා එක් විය. මේ ඔහු සිය මව ගැන අප සමඟ කියූ කතාවයි.
මගේ අම්මා රෝස් බ්රිජෙට් අල්ෆොන්සෝ. මං පුංචි කාලේ හැදුණේ වැඩුණේම අම්මාගේ සෙනෙහස සහ රැකවරණය සමඟයි. අම්මාගේ සෙනෙහස මට උපරිමයෙන් ලැබුණා. ඉතින් ඇය මගේ ජීවිතය හා සමාන යැයි පැවසුවහොත් වැරදි නෑ.
පුංචි සන්දියේ අම්මා හා බැඳුණු මතක පොත රන්ජන් විසින් මෙසේ දිග හැරියේය.
මං පොඩි කාලේ චිත්රයක් ඇඳලා, දුවගෙන ගිහින් අම්මාට පෙන්වන හැටි මගේ මතකයේ තවමත් මැවි මැවී පෙනෙනවා. ඒ වගේම මං සිංදුවක් කියලා පෙන්වන කොට අම්මා ඊට තාල අල්ලමින් අත්පුඩි ගසමින් සතුටු වුණා. නළුවෙක් වෙන්නට හිතේ තියෙන කැමැත්ත මං මුලින්ම කියා සිටියෙත් මගේ අම්මාටයි. ඉතින්, අම්මත් එක්ක ගෙවුණු මතකය බොහොම සුන්දරයි. අපි දෙන්නා දෙන්නෙක් වුණත් සිතන පතන විදිහ අනුව අපේ සිතුම්පැතුම්වල තිබුණේ ලොකු සමානකමක්. ඉතින් අම්මා නැතිවෙන විට වියෝ වේදනාව මං තදින්ම වින්දා.
එය මට උහුලගන්නට නොහැකි වූ තරම්. දැන් මගේ නිවෙසේ මං ඇයගේ ෆොටෝ එකක්වත් තියාගෙන නෑ. ඇත්තටම අම්මගේ ෆොටෝ එකක් හෝ නිතර දකින කොට මට අම්මාත් එක්ක තිබුණු මතක සිහිපත් වනු ඒකාන්තයි. ඉතින් අම්මාගෙ ආදරය අහිමි වීම මගේ හිතට ලොකු බරක්, පීඩාවක් ගෙන දුන්නා කිව්වොත් නිවැරදි.
ඒ වේදනාව දරා ගන්න බැරුව මං මනෝ උපදේශකවරයකු පවා හමු වී උපදෙස් ගත්තා. නිතර අම්මාවරුන් ගැන පොත් ලියූ ජෝර්ජ් සෙනෙවිරත්න නම් උපදේශකවරයා එහිදී මට කියා සිටියේ, “අම්මා මේ ලෝකයට ඔයාව බිහි කළා. ඔයාව උස්මහත් කර රටක් ආදරය කරන වැඩදායී පුද්ගලයෙක් කළා. ඒ නිසා දැන් ඇයට ඇගේ ගමන සතුටින් යන්න ඉඩ දෙන්න“ කියායි. මං ඇය ගැන දුක් වුණොත් ඇය ඒ ගැන ගොඩාක් දුක් වීම ඇගේ ඉදිරි ගමනට බාධාවක් යැයි ඔහු මට උපදෙස් දුන්නා.
ඒ උපදෙස් පිළිපදිමින් මං ඇයව මතකයට හෝ නොනඟන්නට ඉන් පසුව උත්සාහ කළා.
රන්ජන්ගේ දඟකාර ගතිපැවතුම් හමුවේ ඔහුගේ මව කටයුතු කළ ආකාරය ගැන මෙසේ සිහිපත් කළේය.
පුංචි කාලේ මං හුඟාක් දඟයි. ගෙදර නිතරම දඟ වැඩ කරලා මං අම්මාගෙන් ගුටි කාපු අවස්ථා ගණන මෙතෙකැයි කියන්නට බෑ. මං කරන වැරදිවලට දඬුවම් නොකරත් බෑ. ඉතින් අම්මා ඒ වැරදිවලට දඬුවම් කළා. බිස්කට් හොරෙන් කෑම, අක්කාත් එක්ක රණ්ඩු වීම, මිතුරන් එක්ක නිතර රණ්ඩු සරුවල් කර ගැනීම වගේ දඟ වැඩ මං නොසෑහෙන්න කළා.
කලාවට සම්බන්ධ පවුලකින් පැවත එමින් සොඳුරු කලාකාමී ජීවිතයක් ගත කළ රන්ජන්ගේ මවගේ ජීවන අත්දැකීම් රන්ජන්ගේ කලා දිවියටද ආභාසයක් විය. මේ ඒ ගැන ඔහු කියන කතාවයි.
මගෙ අම්මාත් හොඳ කලාකාරිනියක්. ඇයට හොඳට ගී ගයන්න පුළුවන්. මට විජය කුමාරතුංග නෑ වෙන්නේත් අම්මාගේ පැත්තෙන්. විජය මාමාගෙ තාත්තයි මගේ අම්මගේ අම්මයි සහෝදර සහෝදරියන්. ඉතින් විජය මාමා නිතරම අපේ ගෙදර ආවා ගියා වගේම මාත් අම්මත් එක්ක නිතර සීදූවේ විජය මාමගේ ගෙදර ගියා. ඒ වගේම අපේ අම්මා අධි සිනමා රසිකාවියක්. පුංචි දවස්වල අපේ අම්මා මාවයි අක්කාවයි චිත්රපට බලන්නට කොළඹ එක්කරගෙන එනවා. කොටුවේ රීගල් එකේ උදේ 10.30 දර්ශනය බලන අපි ගෙදර යන්නේ සවස 2.30 දර්ශනයත් නැරඹීමෙන් අනතුරුව. ඒ විදිහට අපි එක දවසට චිත්රපට දෙක තුනක් නැරඹූ අවස්ථා බොහෝමයක් තිබුණා..
ඒ වගේම ඇය ජීවත්ව සිටි සමයේ මා නිර්මාණය කළ හැම චිත්රපටයකම මුහුරත් උලෙළවල මුලින්ම පොල්තෙල් පහන දැල්වූයේ ඈ විසින්. පාර්ලිමන්ට් ජෝක්ස් 1, වන් ෂොට් ඇතුළු මගේ චිත්රපට රැසක මුහුරත් උලෙළවල කුමන ආරාධිත අමුත්තෙක් හිටියෙත් මුලින්ම පහන දැල්වූයේ මගෙ අම්මා. ඇය මුළු ආත්මයම මා වෙනුවෙන් කැප කළා යැයි මං තරයේ විශ්වාස කරනවා. මගේ ජීවිතය නමැති පහන දැල්වූයේ ඇයයි. අම්මා නොසිටින්නට මගේ ජීවිතය ආලෝකවත් නොවන බව මගේ විශ්වාසයයි. ඉතින් මට ආලෝකය දුන් මගේ අම්මාට ගෞරවයක් ලෙස ඈ ජීවත් ව සිටි සමයේ මගේ චිත්රපටවල හැම මුහුරතකම පළමු පහන දල්වන්නට මං ඇයව තෝරා ගත් බව කිව යුතුයි.
මගේ චිත්රපට රූගත කරන තැන්වලට පවා අම්මා නිතර එනවා. වන්ෂොට් චිත්රපටය වෙනුවෙන් බස් රථයක් කෝච්චියක හැපෙන දර්ශනය අප රූගත කළේ අනුරාධපුරයේ. ඒ කාලේ අද වගේ ග්රැෆික් තාක්ෂණය දියුණු නෑ. ඉතින් ඒ රූගත කිරීම බලන්නට පැමිණි අම්මා පුදුමයෙන් මෙන් ඒ දෙස බලා හුන් හැටි මට අදටත් මතකයි. ඒ මතකය බොහොම සුන්දරයි. ඒ වගේම මං පිටරට යද්දී මාව ගුවන්තොටුපළට ඇරලවන්නට වගේම නැවත මවුබිමට එද්දි මාව පිළිගන්නට පවා මුලින්ම ආවේ මගෙ අම්මා.
මවගේ ගතිලක්ෂණ රන්ජන්ට ආභාස වී ඇති ආකාරය ගැන රන්ජන් පැවැසුවේ මෙයාකාරයෙනි.
අපේ අම්මා හුඟාක් නිර්භීතයි. අප පුංචි කාලේ අපිට දේශපාලන ප්රශ්න තිබුණා. ඒ දවස්වල මැරයන් පිරිසක් සමඟ ප්රශ්නයක් ඇති වුණ අවස්ථාවක අම්මා නිර්භීතව කටයුතු කළ ආකාරය මට අමතක වෙන්නේ නෑ. අපේ ලොකු අම්මා, ආච්චි අම්මා කියන විදිහට මහගෙදර තිබුණු මොරිස් මයිනර් කාර් එක පවා අපේ අම්මා පදවා තිබෙනවා. දැන් කාලේ වගේ ඒ දවස්වල කාන්තාවන් රිය පදවන දසුන් සුලබව දැක ගන්නට ලැබුණේ නෑ. එයාර්ගන්වලින් වෙඩි තියන්න ආදී අමුතු වැඩ කරන්න අපේ අම්මා හරිම දක්ෂයි. ඉතින් ඒ සියලු කාර්යයන් අපේ අම්මාගේ අපූරු වැඩ යැයි කිව හැකියි. ඇය බොහොම සටන්කාමී කාටවත් බය නැති චරිතයක්. ඉතින් පුංචි කාලේ ඉඳන්ම අම්මාගේ ඒ ආභාසය මට ලැබුණා කිව්වොත් ඉතාම නිවැරදියි.
සිය මවගේ චරිත ලක්ෂණ තවදුරටත් රන්ජන් විසින් මෙසේ විස්තර කරනු ලැබුවේය.
හැම ප්රශ්නයක්ම කාලය විසින් විසඳනවා යන විශ්වාසයෙන් ඇය ජීවත් වුණා. ඇය ගෙවන මොහොත හැම තත්පරයක්ම සතුටින් කාලය ගත කළා. මං රංගන ශිල්පියෙක් විදිහට වෘත්තීය ජීවිතය සාර්ථක කර ගන්නා ආකාරය පවා ඇය සතුටින් වින්දනය කළා. ඇය අසනීපව කල් ගත කරන කාලයේ අඩු සිහියෙන් වුණත්, මගේ පුතා වන් ෂොට්, මගේ පුතා ලීඩර් යනුවෙන් පැවසුවේ බොහොම අභිමානයකින්. ඇය කවදාවත්ම මාව මානසිකව වැට්ටුවේ නෑ. ඉතින් ඒ ආශීර්වාදය මට ලොකු ශක්තියක් වුණා.