“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත”යන කියමන ඔහු සම්බන්ධයෙන් අදාළ නොවේ .ඔහු විටෙක ගේය පද රචකයෙකි. විටෙක
පූරකවරයෙකි. තවත් විටෙක රංගන ශිල්පියෙකි. ගත් කතුවරයෙකි. ඔහු අනුන්ගේ අත්දැකීම් තමන්ගේ කරගෙන නිර්මාණකරණයේ යෙදෙන්නට සමතකු වනවා සේම, ඒ අත්දැකීම් සමස්ත බහුතරයකගේ පොදු අත්දැකීමක් බවට පත්කිරීමට ද සමතෙකු වෙයි. දෑසින් පා, සුදු ගවුමේ ඇයි මඩ ගෑවුණේ, ළබැඳීයේ, කවුරුන්ද කවුළුව වැහුවේ, සෙංකඩගල නුවරට, දැනෙනා තුරු මා ආදී වූ ඔහුගේ අතින් දැනටත් නිර්මාණය වී ඇති ගීතාවලිය තව බොහෝ දිගුය. එසේම ඔහු රම්බරී, සාරි පොටේ, චාඕ මල්ලි, හතර කේන්දරේ වැනි “අමුතු ආරයේ” ගීතවල ද හිමිකරුවාය.පසුගිය දිනවල ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ ධනංජය සිරිවර්ධන විසින් අධ්‍යක්ෂණය කෙරුණු “තාප්පෙන් පැන්නා” ටෙලි නාට්‍යයේ තේමා ගීතයේ අමුතු වදන් වැල ඇමුණුයේ ද ඔහුය. ක්ෂේත්රයේ බොහෝ අයට “මනූ” වූ, මනුරංග විජේසේකර නම් බහුවිද නිර්මාපකයා සමග සරසවිය කළ පිළිසඳරයි මේ.
“සිංබාහුගේ ලිමිට් එක පැන්නා” ගීතයත් ඔබේ වීසා නැති සිතිවිල්ලක්ද?
නැහැ. ඇත්තටම ඒක නම් වීසා නැති සිතිවිල්ලක් නෙමෙයි; වීසා ඇති සිතුවිල්ලක්. මොකද, මේක ලියවුණේ ටෙලි නාට්‍යයකට නිසා යම්කිසි රාමුවක් ඇතුලේ මේ නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය මුල ඉඳලම තිබුණා. මේක පෙර සූදානමක් ඇතිව නිර්මාණය වුණු ගීතයක්. එයට අවශ්‍ය හැඩතල ධනංජය මට කලින්ම කියලා තිබුණා. තාප්පෙන් පැන්නා නාට්‍යයේ අධ්යක්ෂවරයා විදිහට ඔහු තමාගේ ටෙලිනාට්‍යයේ තේමා ගීතයෙන් අපේක්ෂිත ඉලක්කයක් තියෙනවානේ. ඉතින් ඒක සපුරා ගැනීම තමයි ඔහුගේ වෑයම. මං කලේ ඒ වෑයම සඵල කරලා දුන්න එක. කොහොමටත් ටෙලි නාට්‍යයකට හෝ සිනමාපටයකට හෝ ගීතයක් නිර්මාණය කිරීමේදී එහි අධ්‍යක්ෂකවරයාගේ අදහස් ප්‍රධාන වශයෙන් සැලකීමට පාත්‍ර වෙනවා. තාප්පෙන් පැන්නා නාට්‍යයට නිර්මාණය වුණු මේ ගීතයත් ඒ ආකාරයෙන් නිර්මාණය වුණු ගීතයක්. ඒ නිසයි මං කිව්වේ මේ ගීතය වීසා ඇති සිතුවිල්ලක් කියලා.
ඔබේ “වීසා නැති සිතුවිලි” ගැනත් කෙටියෙන් කිව්වොත්?
“වීසා නැති සිතුවිලි” කියලා මම හැම වෙලාවෙම හඳුන්වන්නේ නිර්මාණකරුවෙකු විදිහට මගේ සිතට, මේ ලෝකේ කොහේ හරි තැනක ඉඳලා අනවසරයෙන් එන සිතුවිලිවලට. ඇත්තටම ඒවා කොහෙන් කොහොම එනවද කියලා මමවත් දන්නේ නැහැ. කවුරු හරි මගෙන් ඇහුවොත් ඔබේ නිර්මාණවල මූලය මොකක්ද කියලා; ඒකට දෙන්න පිළිතුරක් මම දන්නෙත් නැහැ. මම එහෙම මහා ලොකුවට හිතලා ගීත නිර්මාණය කරන කෙනෙක් නෙමෙයි. ලෝකෙ පෙරලගෙන කල්පනා කරලා, වචන හොයලා ගීත ලියන පුරුද්දක් මට නැහැ. මගේ හිතට නිරායාසයෙන් පාවෙලා එන ගී පදවලට මම වැඩි ඉඩක් ලබාදෙනවා. විශේෂයෙන්ම ගීතයක් ලියැවෙද්දී ඒ ගීතයේ මගේ හිතට එන පළවෙනි පද පේළියට මම සෑහෙන තැනක් දෙන කෙනෙක්.බොහෝවිට ඒ පද පේළිය වෙනස් වෙන්නෙත් නැහැ.හිතට එන සිතුවිලි කපන්න කොටන්න මගේ වැඩි කැමැත්තක් නැහැ.මගේ නිර්මාණ තුළ මට උපරිම නිදහසක් තියෙනවා. ඒ නිදහස මම උපරිමයෙන් භුක්ති විඳීනවා. කිසිම හේතු කාරණාවකට යටත් නොවී ඔහේ පාවෙලා මගේ හිතට එන නිරායාස සිතුවිලි වලට තමයි මම වීසා නැති සිතුවිලි කියලා කියන්නේ.
මෙම ගීතයෙන් ඔබ මොකක්ද කියන්න හදන්නේ?
“තාප්පෙන් පනිනවා” කියන එකට බහු විධ අර්ථ තියෙන්න පුළුවන්.මං හිතන විදිහට මේ සමාජයේ බොහෝ දෙනෙක් අවිඥානිකව හෝ සවිඥානිකව තාප්පයෙන් පනිනවා. සිංහබාහුගේ ඉඳන්ම සමාජය තුළ මේක සිදුවුණු දෙයක්. තමන්ගේ කොටුවීම නැති කරගන්න, නැත්නම් තමන්ගේ පීඩනය මුදා හරින්න, ඒකාකාරීත්වයෙන් මිදෙන්න, නැත්නම් අලුත් දේවල් හොයන්න, අලුත් ලෝකයක් ගොඩනගන්න හදපු අය සහ හදන අය මං දකින්නේ තාප්පෙන් පැන්නපු අය විදිහට.
ඔය ගීතයේ තව කොටසක් තියෙනවා, සිද්ධාර්ථ කුමාරයා ගැන ලියවුණු. සිද්ධාර්ථ කුමාරයා කියන්නෙත් තාප්පෙන් පැනපු කෙනෙක්. යථාර්ථය කියලා සිතාගෙන අපි රැවටිලා ඉන්න මේ තිර ඉරලා දාලා, සැබෑ යථාර්ථය දකින එකත් තාප්පයෙන් පැනීමක් විදිහටයි මම දකින්නේ. අමුතුයි කියලා මිනිස්සු හඳුන්වන බොහෝ දේවල් කරපු බොහෝ පුද්ගලයින් තාප්පෙන් පැනපු අයයි. බොහෝ විට ලෝකය ඉදි වෙන්නේ ඒ අය මතයි.
මෙම ගීතයේ සංගීත සංයෝජනය සහ ගායකයා ගැනත් කියන්න.
ඔව්. මෙහි සංගීතය රංගන දිලංක පෙරේරාගේ. ඔහු දක්ෂ සංගීතඥයෙක්. ඔහුව ප්‍රථම වතාවට තමයි මට මේ ගීතයේදී මුණ ගැහුණේ. මම මගේ අදහස් ඔහුට පැහැදිලි කළා. ඔහු ඒක හොඳීන් වටහා ගත්තා. රූනි ගැන කිව්වොත් ඉතින්, ඔහු ලංකාවේ වෙනස්ම හඬක් තියෙන වෙනස් හඬ පරාසයක් තියෙන වෙනස්ම ශෛලයක් තියෙන ගායකයෙක්.ධනංජය ගීතයට රූනිව යෝජනා කරාම, මම එකවරම එයට කැමති වුණා. රූනි එක්කත් මම වැඩ කරපු පළවෙනි වතාව මේක. මම හිතනවා අපේ සංයෝජනය සාර්ථකයි කියලා.
සමාජයක ඇති තාප්ප,නැත්නම් රාමු වශයෙන් පටු මානසිකත්වය, ජාති කුලමල ආගම් භේදය වැනි දේවල් හඳුන්වන්න කෙනෙකුට පුළුවන්. නැතිනම් සාරධර්ම, සංස්කෘතිය වැනි දේවල් හඳුන්වන්නත් පුළුවන්. ඔබ හිතන විදිහට මිනිස්සු පනින්න ඕනේ මොන වගේ තාප්පවලින්ද?
ඒක සිද්ධ වෙන්නේ පුද්ගල අනන්‍යතාවය මත සහ එක එක සිදුවීම් එකිනෙකාට ගෝචර වෙන විදිහට. සමහර අය ඉන්නවා, ඒ අය හිතනවා සමහර තාප්පවලින් පැන්නාම ඒක හරි ලොකු දෙයක් කියලා. අදාළ නැති තාප්පෙකින් පැන්නොත් ඒක ලොකු දෙයක් කියලා කියන්න බැහැ.තව සමහරු ඉන්නවා, අපි විතරයි මේ තාප්පයෙන් පැන්නෙ කියලා හිතාගෙන ඉන්න. හැබැයි ඉතින් ඊට කලින් බොහෝ දෙනෙක් ඒ තාප්පෙන් පැනලා තියෙනවා. තාප්පය අනුව තමයි පැනීම වැදගත් වෙනවද නොවැදගත් වෙනවද කියලා තීරණය වෙන්න. ඒක ඉතින් උස් මනසින් යුතු මිනිසා කල්පනා කරලා කරන්න ඕන වැඩක්.
හැබැයි මේ සමාජයේ සමහරු ඉන්නවා සැබෑවටම තාප්පෙන් පැනපු. මේ ගීතයේ එක්තරා තැනක මං සුසන්තිකා ගැන කියනවා. ඇත්තටම සුසන්තිකා කියන්නේ, olympic දුවන්න පුළුවන් කියලාවත් අපේ රටේ අයට හිතන්න බැරි කාලෙක olympic කියන තාප්පෙන් පැනපු අපූරු ගැහැනියක්. අනූ හයේ ක්‍රිකට් ලෝක කුසලානයත් මං හිතන විදිහට තාප්පෙන් පැනීමක්. මගේ රට ගැන “මාරයි” කියන සංකල්පය මට මුලින්ම ඇතිවුණේ එදා.ඒක දින්නාම මටම ලංකාව ගැන ආවේ branded හැඟීමක්. අපේ රටේ කොල්ලෝ මාරයිනේ, අපේ රට නියමයි වගේ අදහසක් ලෝකෙට දුන්නෙත් අපේ හිතට ආවෙත් අනූ හයේ world cup එක නිසා.
සමාජ පීඩනය, පවුල් පීඩනය, මානසිකත්වය වගේ විවිධ තාප්ප සමාජය තුළ අදටත් තියෙනවා. මේවා තුළ එකිනෙකාට ගෝචර වන ප්‍රමාණය අනුව සහ ආකාරය අනුව තමයි මිනිස්සු තාප්පෙන් පනින්න ඕනේ.
ඔබ හිතන විදිහට පුද්ගලාබද්ධව ද සාමූහිකවද තාප්පෙන් පනින්න පහසු?
ඒක ටිකක් වැඩිපුර හිතන්න ඕන ප්‍රශ්නයක්. මෙහෙමයි, සමාජයේ සමහර තාප්ප තියෙනවා, ඒවා කාලානුරූපීව ස්වභාවිකවම බිඳීලා යනවා.කුලමල ජාති ආගම් ප්‍රශ්න ගත්තහම අතීත සමාජයට වඩා ඒවා දිහා විවෘත මනසකින් බලන්න දැන් දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙනවා. ඒවා කාලානුරූපීව සමතලාවෙලා යන තාප්ප. තවත් සමහර අවස්ථාවල් තියෙනවා අපිට සිදුවෙනවා තනි තනිව ඒ බාධකවලට මුහුණ දෙන්න. ඒවා එකිනෙකාට විශේෂ, ආවේණික බාධක. අදාළ බාධකය තරණය කරන්න හිතපු වෙලාවේ සිටම, ඒ තාප්පෙන් පැනලා ඉවර වෙන තුරුම ලැබෙන සියලු ප්‍රතිඵලවලට අපි තනි තනිව මුහුණ දෙන්න ඕනේ. ඒ වගේම මිනිස්සු සාමුහික වශයෙන් ඒකරාශී වීම තුළත් ලෝකයේ තාප්පයෙන් පැනීම්වලට උදාහරණ තියෙනවා.
උදාහරණයක් විදිහට පසුගිය කාලේ රටේ දේශපාලනය හිතන්න. දේශපාලන පෙරළියක් කියලා කියන්නේ සාමුහිකව මිනිස්සු තාප්පෙන් පැනපු අවස්ථාවක්. මිනිස්සු “අරගලය” කියලා කළේ සමස්ත සමාජයේ බහුතරයක් එකට එකතු වෙලා තාප්පෙන් පැනපු එක. මිනිස්සු අලුත් මානයක් සෙව්වා; අලුත් ලෝකයක් සෙව්වා. ලෝකයේ සියලු අරගල,විප්ලව කියන්නේ තාප්පයෙන් පැනීමක් තමයි. කියුබානු අරගලය කිව්වත් වෙල්ලස්ස කැරැල්ල කිව්වත් ඒකෙ කිසිම වෙනසක් නැහැ. අන්තිමට වුණේ තාප්පෙන් පැනපු එක.ඉතිහාස ගත සමාජ පෙරළි සිද්ධ උනේ මිනිස්සු සාමුහිකව තාප්පයෙන් පැනපු නිසය. ඒකයි මම කිව්වේ, පනින තාප්පය අනුව පනිනවද? නැද්ද? කියන එක වගේම, සාමූහිකව පනිනවද? ඒකලව පනිනවද? කියන එකත් තීරණය වෙනවා කියලා.
නිර්මාණකරුවකුගේ නිර්මාණයකට, අත්දැකීම් වගේම අනුභූතින් හේතු කාරණා වෙන්නත් පුළුවන්. ඔබේ නිර්මාණ සඳහා වැඩිපුරුම ප්රස්තූත වෙලා තියෙන්නේ අත්දැකීම්ද?
මං හිතන්නේ වැඩිපුරම ප්රස්තුත වෙලා තියෙන්නේ අනුභූතීන්. අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය වුණු නිර්මාණත් නැතුවා නෙවෙයි. මේ සමාජයේ අපි ජීවත් වෙනකොට අපිට විවිධ සමාජතලවල ජීවත්වෙන විවිධ හැසිරීම් තියෙන අත්දැකීම් තියෙන මිනිස්සු මුණ ගැහෙනවා.ඒ අය අතරින් සමහරුන්ට ඒ අයටම විශේෂිත වූ කතාවක් තියෙනවා. ඉතින් මගේ අවට සැරිසරන මට පෙනෙන මට ඇහෙන මට දැනෙන මා වටා ඉන්නා අයගේ අත්දැකීම් මා තුළ අනුභූතින් බවට පත්වෙලා නිර්මාණ තුළින් එළි දකිනවා. මම කොහොමත් මගේ අත්දැකීම් ලියනවාට වඩා කැමතියි, අනුන්ගේ අත්දැකීම් මගේ කරගෙන ලියන්න.
ඔබගේ ඇතැම් ගීත නිර්මාණ බොහොම ප්‍රේමණීයයි. ඇතැම් ගීත විකල්ප ධාරාවේ ගීත. කොහොමද මේ විදිහට පරස්පර විරෝධී නිර්මාණ එකම සිතක් ඇතුළේ බිහිවෙන්නේ?
ඒ තමයි මගේ මනස. මගේ සැබෑ ජීවිතයත් ඔය වගේ තමයි. වෙලාවකට භාවනා කරන්න හිතෙන, ඒක ඉවර වෙලා ඒ සැණෙකින්ම සිත සැනසෙන බීමක් බොන්නත් හිතෙන මිනිහෙක් මම. මගේ ඔළුව ඇතුලේ ඇත්තටම ඔය වගේ පරස්පර විරෝධී කුටීර දෙකක් තියෙනවා කියලා මමත් හිතනවා. ඒ කුටීර දෙකෙන් බිහිවෙන්නේ ප්‍රතිවිරුද්ධ සිතිවිලි. ඒ සිතුවිලි තමයි ඔපමට්ටම් වෙලා නිර්මාණ විදිහට එළි දකින්නේ. මේක බොරුවක් එහෙම නෙමෙයි. සැබෑවටම මගේ ස්වරූපය තමයි ඔය මම කිව්වේ.
“රම්බරී- මනූගේ upset line එක” ගැනත් කතා කරමු.
ඒක මම ලියපු පළවෙනි පොත.ඒ කාලේ අංග සම්පූර්ණයි කියලා හිතුවට දැන් නම් ඒකෙ තියෙන සමහර කරුණු වෙනස් වුණා නම් හොඳයි කියලා හිතෙනවා.කාලානුරූපීව සමහර දේවල් අපිට මදියි කියලා හිතන වෙලාවල් තියෙනවානේ. විශේෂයෙන්ම පොතක් ලියද්දි ඒක ඒ ලියන කාලයට සාපේක්ෂව තමයි ලියවෙන්නේ. ඉතින් ඉදිරි දවසකදී ආපසු හැරිලා බලනකොට ඒක මීට වඩා මෙහෙම තිබුණා නම් හොඳයි කියලා හිතෙන එක ස්වාභාවිකයි. නමුත් ඉතින් මං සතුටට පත්වෙනවා සමස්තයක් විදිහට ඒ පොත ගැන. මම කතුවරයෙක් කියලා මගේ හිත මට දැනුම් දුන්නු පළමු අවස්ථාව තමයි ඒ. දැන් මම මගේ දෙවෙනි පොත සඳහා සූදානම් වෙනවා.ඒක කපමින් කොටමින් නැවත ලියමින් තමයි මේ දවස් ගත වෙන්නේ.
මේ දක්වා ඔබ අතින් නිර්මාණය වුණු ගීත අතරින් ඔබ වඩාත්ම කැමති නිර්මාණය කුමක්ද?
සනුක ගායනා කරන “අවසන් සටන” ගීතයට මම අනෙක් ගීතවලට වඩා ටිකක් වැඩිපුර කැමතියි.ඒකෙන් අදහස් වෙන්නේ නෑ අනිත් ඒවාට මම කැමති නෑ කියලා. නමුත් මගේ අතින්ම ලියවුණා උණත් අවසන් සටන ගීතයේ මං දකිනවා අමුතු හැඩයක්. ඒ නිසා මං ඒකට කැමතියි. ඒ ලියවිල්ල මාව වෙනම තැනකට අරගෙන යනවා. අවසන් සටන අනිත් නිර්මාණවලට වඩා මගේ හදවතට සමීපයි.
හැබැයි ඉතින් මම තාමත් වැඩිපුරම ආදරේ කරන්නේ “රම්බරීට.”ඒක තමයි මගේ ජීවිතේ අංක එක.එක්තරා කාලයකදී රම්බරී ගීතයට බැනපු දොස් කියපු අයටත්, පසුකාලීනව නැතුවම බැරිව ගිය ගීතයක් තමයි රම්බරී කියන්නේ. රම්බරී, සමාජ කතිකාවතක් නිර්මාණය කරපු සහ යම් යම් සමාජ මති මතාන්තර මතු කරපු ගීතයක්.අදටත් මගේ උපරිම ආදරය ලබන්නේ රම්බරී තමයි ඉතිං.
හෝටල් කලමනාකරණය සහ සංචාරක ක්ෂේත්රය පිළිබඳව ලබා ගත්ත උසස් අධ්‍යාපනයට මොකද වුණේ?
මෙහෙමයි. මට එක එක කාලෙට එක එක දේවල් හිතෙනවා. කාලයකට රට යන්න හිතෙනවා; වෙලාවකට ඉහළට මොනවා හරි දෙයක් ගැන ඉගෙන ගන්න හිතෙනවා. ඇත්තටම ඔය දෙයත් එහෙම ගත්ත තීරණයක්. හැබැයි ඉතින් ඔය ක්ෂේත්රයට මගේ කවදත් කැමැත්තක් තිබුණා. ඉතින් ඒ නිසාම තමයි ඕකට යොමු වුණෙත්. ඒකෙන් පාඩුවක් වුණා කියලා කියන්නත් බැහැ. මේ වෙනකොට මම කොහුවල ප්‍රදේශයේ මගේම කැෆේ එකක් විවෘත කරලා තියෙනවා KAIKO’S නමින්. එහි සියලු කටයුතු සිදු කරන්නේ මගේ බිරිඳ.එහි වගකීම් සහ වගවීම් සියල්ල ඇය ඇයගේ කර මතට අරන්, එයින් යම්තාක් දුරට මාව නිදහස් කරලා තියෙනවා මගේ නිර්මාණ කටයුතු සඳහා. ඇත්තටම සිංගප්පූරුවේ ඉන්න කාලෙ මම හරිම කැමැත්තෙන් තමයි මේ ක්ෂේත්රයේ රැඳුණේ. හැබැයි ඉතින්, සමහර විට තව ටික කාලයකින් මේ හැමදේටම වඩා වෙනස්ම දෙයක් කරන්න මම පෙලඹෙන්නත් පුළුවන්.
ඔබ තුළ සිටින රංගන ශිල්පියා ගැනත් කියන්න.
මම අවස්ථා කීපයක දී රංගන ශිල්පියෙකු වශයෙනුත් කටයුතු කරලා තියෙනවා. දුමින්ද සංජීවගේ සිනමාපටයක කුඩා චරිතයකට මම දායක වුණා. සුපුන් රත්නායකගේ “මගේ ආදර අවනඩුව” ටෙලි නාට්‍යයේ සෑහෙන තරමේ චරිතයකටත් මම දායක වුණා. රයිනිගේ “කළුවරට සිත බය හින්දා” කියන ගීතය පදනම් කරගෙනම නිර්මාණය වුණු කොටස් කිහිපයක ටෙලි නාට්‍යයකටත් දායක වුණා. ඔය වගේ කුඩා දායකත්වයක් රංගනයට දක්වලා තියෙනවා.පාසල් කාලයේදීත් පාසල් නාට්‍ය කණ්ඩායමේ හිටපු ක්‍රියාකාරී සාමාජිකයෙක් මම. ඉතින් ඒ හුරු පුරුදුකම මගේ ඇඟේ තියෙන්න ඇති. හැබැයි ඉතින් මට අනුව නං, මම “මාර රංගන ශිල්පියෙක්” නෙමෙයි; මට “මාර විදියට”රඟපාන්නත් බැහැ. දෙබස් ටිකක් කියලා පොඩි රඟපෑමක් කරන්න පුළුවන්.නමුත් ඒක රංගනය කියලා හඳුන්වන්න මම කැමති නැහැ.අපිට රඟපාන්න පුළුවන් කියනවා නං, අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගේ රංගනයට මොනවද කියන්නේ?
මේ දවස් ගෙවෙන්නේ කොහොමද?
ප්‍රසංග වේදිකාවත් එක්ක මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ. “නාද ගම” වගේ දිගින් දිගටම යන ප්රසංගත් එක්ක ඉන්නකොට කොහොමත් එහෙම තමයි. දැන් ලංකාවේ ඉන්නවා සංගීත ප්‍රසංග කලාවේ අලුත් හැඩයක් හොයන තරුණ පරපුරක්. ඒ තරුණ පරපුර ඉල්ලන රසවින්දනය හරිම කෘතහස්තයි. අලුත් සංගීත ඉසව් ගැන ඔවුන් හරි විමසිලිමත්. ඉතින් මේ පරපුරත් එක්ක ගනුදෙනු කරන්න මං හරි කැමතියි. ඒ නිසා මේ දවස්වල ලංකාව පුරා යන්නත් ලංකාවෙන් පිට යන්නත් සිදුවෙනවා.
ඒ වගේම අලුත්ම දෙයක් කිරීමේ අවශ්‍යතාවයක් කාලයක් තිස්සේ මගේ හිතේ තියෙනවා. ඒකටත් හිමින් සූදානම් වෙනවා මේ දිනවල. මේ වසර අවසානය වෙනකොට ඒ දේවල් වලට යම් කිසි ඉඩකඩක් ලැබෙයි කියලා මම හිතනවා. මගේ you tube නාලිකාවේ වැඩ කටයුතුත් කරගෙන යනවා. සමහර වැඩසටහන් ටික කාලයක් කරලා මම නවත්තනවා. නැවත අලුත් තැනකින් අලුත් විදිහකට පටන් ගන්නවා. ඒ තමයි මගේ විදිහ. කොහොමටත් හෙට කියන්නේ අලුත් දවසක්නේ. අලුත් දවසකට ඕනේ අලුත් දේවල්.
ඔබ කැමැති ඔබව කුමන විදිහකට හඳුන්වනවාටද?
මං කැමතියි වැඩක් ඇතුලේ කල්පනා කරන මිනිහෙක් විදියට මාව හඳුන්වනවාට. ඇත්තටම මම ගොඩක් කල්පනා කරන මිනිහෙක්. ඒ වගේම වැඩක්, වැඩක් විදිහට බාරගෙන, සම්පූර්ණ කරන මිනිහෙක් හැටියට මාව හඳුන්වනවා නම් මං කැමතියි. කෙටියෙන්ම කිව්වොත් මම ලියන කියවන මිනිහෙක්.
“ඔබ හිතන විදිහට” මනුරංග කියන්නේ කවුද?
මනුරංග කියන්නේ බොහෝ දේ හිතලා, ඒ හිතපු දෙයින් බොහොම කුඩා ප්‍රමාණයක් එළියට කියන මනුස්සයෙක්. ඒ එළියට කියන දෙය “ගොඩක්” කියලා අහන දකින අය හිතන්න පුළුවන්. ඒත් ඒක එහෙම නෙමෙයි. ඊට වඩා ගොඩක් හිතන, මහ පොළොව මත ඉන්න වෙලාවට වඩා වැඩිපුර වේලාවක් කල්පනා ලෝකයේ සැරිසරන මනුස්සයෙක්.