මායාවී ටෙලි නිර්මාණයේ නයනා මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය දිනාගනිමින් සිටින භූමිකාවකි. ප්‍රේක්ෂකයන්ගේ අසීමිත දෝෂාරෝපණයට ලක්ව සිටින නයනාගේ භූමිකාවට පණ පොවන ඇය දුලක්ෂි රාජපක්ෂය. පසුගියදා රොකී ටෙලි නිර්මාණයේ නීතිගරුක පොලිස් නිලධාරිනියකගේ භූමිකාවට පණ පෙවූ ඇය නයනා ලෙස ඊට හාත්පසින්ම වෙනස් රංගනයක යෙදෙන අතරම බෝල්ට් ඇණයක් ටෙලි නිර්මාණයේ තමාරා ලෙසින්ද මේ දිනවල ප්‍රේක්ෂක ඔබේ මුවඟට සිනහවක් ගෙන එන්නීය. මේ ඇය හා කළ කතාබහයි.
මායාවී ටෙලි නිර්මාණයේ රේල් ගේට්ටුවේ නයනා ලෙසින් ඇය ලැබූ බිහිසුණු අත්දැකීම් ඇය අප හා මෙලෙස බෙදාගත්තාය.
“මුලින්ම අහිංසකව හිටිය නයනා මේ වෙද්දි ටිකක් බය හිතෙන දුෂ්ට චරිතයක් බවට පත්වෙලා තියෙන නිසා ප්‍රේක්ෂකයන්ගෙන් දැන් මම හොඳටම බැණුම් අහනවා. රොකී එකේ චරිතය නැවත සිහිපත් වෙනවා වගේ දේකුත් වෙනවා. කොතරම් දරදඬු චරිතයක් වුණත් ඒකෙ පොසිටිව් පැත්තේ නියෝජනයක් නිසා ප්‍රේක්ෂකයන්ගෙන් ලොකු බලපෑමක් වුණේ නැහැ. නමුත් මායාවී නයනා කියන්නේ එන්න එන්නම වියරු වැටුණු දරුණු ගැහැනියක් බවට පත්වෙමින් ඉන්න චරිතයක් නිසා මේ දවස්වල ගොඩක් බැණුම් අහනවා.“
නයනාගේ අසරණකමට ලැබුණු ප්‍රේක්ෂක ආදරය මේ වනවිට දරුණු දෝෂාරෝපණයක් බවට පත්වී ඇතැයි ඇය පැවසුවේ ද දුක්මුසු ස්වරයෙනි.
“මුලින් මුලින් හැමෝම වගේ නයනාට ආදරය කළා. නමුත් පසුගිය දවසක වුණු සිදුවීමත් එක්ක මිනීමැරුම සංකල්ප පිට පටවන්න උත්සාහ කිරීම නිසා මිනිස්සුන්ගේ හිතේ නයනාට තිබුණු ආදරය වෛරයක් බවට පත්වෙලා. දැන් නම් කමෙන්ට්ස් දාන්නෙම බැණලා. සමහර ඒවා කියන්නත් බැරි තරම්. බොහෝ වෙලාවට මම කමෙන්ට්ස් බලන්නෙත් නැහැ.
“නයනා හිරේ යවන්න ඕන….”
“නයනා මැරෙන්න ඕන…”
“මුලින්ම හේෂාන්ව මැරෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරපු ප්‍රේක්ෂකයා අද පණ එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.”
අනිත් අතින් පද්මෙගේ රත්රන් බඩු ටික ආරක්ෂා කරන විදිහටත් මිනිස්සු නයනාට හොඳටම බණිනවා.
“පද්මේ ළමයට කරදර කරන්න ආව වෙලාවේත් කරබාගෙන හිටිය නයනා පද්මේගේ පුතාට රත්රන් බඩු ටික දෙන්න වේවි කියලා මේ තරම් දරුණු වුණේ කොහොමද කියලා ගොඩක් අය අහල තියෙනවා. නයනා නිසා මිනිස්සු දැන් මාව එක එක විදිහට වර්ග කරගෙන යනවා. මම ගොඩක් දුරට කමෙන්ට්ස් බලන්නෙත් නැත්තේ ඒවා බැලුවහම මටත් එහෙම දැනෙනවා. අද ප්‍රේක්ෂකයා හරිම බුද්ධිමත්.“
මායාවී දුලක්ෂිට බොහෝ අත්දැකීම් එකතු කළ ටෙලි නිර්මාණයක් කීවද නිවැරදිය.
නයනා මුලින්ම හඳුන්වා දෙන්නේ අහිංසක චරිතයක් විදිහට. නමුත් ඇය මුහුණපාන අනේකවිධ ගැටලුත් එක්ක තමයි ඇය තුළ සැඟවී සිටින පිරිමි චරිතය එළියට එන්නේ. ඇය විවාහ වෙන්නේ පාතාල ලොක්කෙක් එක්ක. පස්සේ හමුවෙන්නෙත් ඒ වගේම කෙනෙක්. ඒවත් එක්ක තමයි ඇය තුළ තියෙන දරුණුකම එළියට එන්නේ.
මායාවී නිර්මාණය පුරාවටම මට විවිධාකාරයේ අත්දැකීම් එකතු කළා කිව්වත් හරි. සැබෑ ජීවිතේදී මම සත්තුන්ට හරිම බයයි. කැරපොත්තටත් බයයි. එහෙම තියෙද්දී ඇත්තම නයෙක් එක්ක සමීපව රඟපාන්න සිදුවෙනවා කියන එක හිතාගන්න පුළුවන්නේ. බයෙන් ගැහි ගැහී තමයි ඒ ටික කළේ. ඒ වගේම හේෂාන්ට අනින පිහියත් ඇත්තම එකක්. ඒකෙදි මගේ අතින් හේෂාන්ගේ බඩ සීරිලාත් තියෙනවා. මටම දැනිලා ඒ ෂොට් එක මමම අතරමඟ නතර කළා. ඔහු ඒ වෙලාවේ නොකිව්වත් පොඩ්ඩක් සීරීලා තිබුණා කියලා අපේ ඒඩිට කියල තිබුණා. ඒ වගේ ගොඩක් අත්දැකීම් ලැබුවා. ඇත්තටම නයනා කියන්නේ මට ලොකු පීඩනයක්. නිතරම කෑගහගෙන නහර පුප්පගෙන රඟපානවා කියන එක ලේසි නැහැ. පහුගිය දවස්වල මගේ ඔළුව දෙපැත්තෙ රිදිල්ලක් ආවා. නයනා කියන්නේ මං කරපු අනෙක් චරිතවලට වඩා ලොකු බරක් දෙන්න ඕන චරිතයක්.“
සැබෑ ජීවිතයේ ඇය නයනාට වඩා හාත්පසින්ම වෙනස් සතුටින්, සැහැල්ලුවෙන්, විනෝදයෙන් ගතකරන චරිතයක් බව ද ඇය අප හා පැවසුවාය.
“සාමාන්‍ය ජීවිතේදී මට තරහ යන්නෙම නෑ. මගේ යාළුවොන්ට තරහ ගියත් එයාලව සන්සුන් කරන්නෙත් මම. ඒ නිසා තමයි නයනාගේ චරිතයට අනුගත වෙන්න මට ලොකු වෙහෙසක් ගන්න වුණේ. සැබෑ ජීවිතේදී මම හරිම නිහඬ චරිතයක්. මගේ යාළුවොත් පුදුම වෙනවා මේ රඟපාන විදිහට. මේකෙ දෙබස් පුහුණුවත් මට ලොකු අභියෝගයක් වුණා. මේ චරිතය සාර්ථක කරගන්න අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුණා.“
බෝල්ට් ඇණයක් ටෙලි නිර්මාණයේ තමාරා ඇය ලැබූ පළමු හාස්‍යජනක රංගන අත්දැකීම වීමද විශේෂත්වයකි.
බෝල්ට් ඇණයක් දිල්ෂාන් සජුන් බණ්ඩාරගේ පළමුවැනි ටෙලි අධ්‍යක්ෂණය. තිරපිටපත චාලක රණසූරියගේ. ඒක බ්ලැක් කොමඩියක්. මම මේ වගේ කැරැක්ටර් එකක් කරන පළමු අවස්ථාව. එහා ගෙදරයි මෙහා ගෙදරයි අතර හුවමාරුවන ඕපාදූප කතන්දරයක්. හරිම ෆනී අත්දැකීමක්. මායාවී නයනා බෝල්ට් ඇණයක් තමාරා එක්ක බලද්දි අහසට පොළොව වගේ චරිත දෙකක්. ජෙනට් ඇන්තනී එක්ක රඟපානවා කියන්නේ වෙනමම අත්දැකීමක්. පුහුණුවේදීවත් මට හිනා නොවී ඉන්න බෑ. බෝල්ට් ඇණයක් තමාරාට ප්‍රේක්ෂකයන් බණින්නේ ඕපදූප හොයනවා කියලා. ඉතින් දුලක්ෂිට මේ දිනවල හැම පැත්තෙන්ම බැණුම්ම තමයි.“
ඒ හීනය, හිත ළඟ හිනැහුණා, සිදාදියේ සමනලියෝ, රාජිනී,මලක්, අම්මා, රොකී, මහරාණී, මායාවී බෝල්ට් ඇණයක් ඇතුළු ටෙලි නිර්මාණ රැසක් ඔස්සේ පුංචි තිරයෙන් ඔබ හමුවට ආ ඇය ඉදිරියේදී බුද්ධික ජයරත්නගේ සැප්තැම්බර් සිනමාපටය ඔස්සේ රිදී තිරයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් ද සිටින්නීය.