මීෂා, ගෑනු පිරිමි මල් පලතුරු, නීල සමනලී වැනි ටෙලි නිර්මාණ කිහිපයකින්ම ඔබ හමුවට එන වගීෂා සල්ගාදු ඔබට බොහෝසෙයින් සමීප වූවේ දිවිතුරා ටෙලි නිර්මාණයේ කාව්‍යා ලෙසිනි. මීෂාහි දුල්මී ලෙසින් මේ දිනවල සුවිශේෂී රංගනයක නියැළෙන ඇය ඉදිරියේදී සිනමාවේද බහුලව දකින්නට ලැබෙනු ඇත. මේ කතාබහ ඇය සමඟිනි.
වගීෂා මේ දිනවල ඉතාම කාර්යබහුල චරිතයක් නේද?
මේ දිනවල ටෙලි නාට්‍ය තුනක් විකාශය වෙනවා. ස්වාධීන රූපවාහිනියේ ‘මීෂා’, ජාතික රූපවාහිනියේ ‘ගෑනු පිරිමි මල් පලතුරු’ සිරස නාළිකාවේ ‘නීල සමනලී‘. නුදුරේදීම දෙරණ නාළිකාවේත් ටෙලි නිර්මාණයක් විකාශය වෙනවා. මේ වැඩකටයුතු එක්ක තමයි කාර්යබහුල වෙලා ඉන්නේ.
මීෂා ටෙලි නාට්‍යයේ දුල්මී කියන්නේ මොනවගේ අත්දැකීමක්ද?
දුල්මී මට වෙනස්ම අත්දැකීමක් වුණා. කොල්ලෙක් වගේ හැසිරෙන ටොම් බෝයි කැරැක්ටර් එකක්. ෂෝට් ඇඳලා, කැප් දාලා, කණ්ණාඩි, මාල දාලා කොල්ලෙක් වගේ හැසිරෙන හරිම කෙළිලොල්, දඟ චරිතයක්. මේ මම නිවන්ත අයියා එක්ක කරන දෙවැනි වැඩේ. මිෂෙල්, චතුරංග, මිහිර අයියා වගේ මිතුරන් පිරිසක් එක්ක මේ වගේ ඩිරෙක්ටර් කෙනෙක් ළඟ ලස්සන වැඩක් කරන්න ලැබීම ගැන හරිම සතුටුයි.
ටොම් බෝයිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාම ඉහළයි. දුල්මි කියන්නේ කියන්න තියෙන දේ මූණටම කියන, කිසිම දේකට බය නැති, කොතරම් තද ගති තිබුණත් තමන්ගේ අය වෙනුවෙන් හිත උණුවෙන එයාලා වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න දෙපාරක් නොහිතන චරිතයක්. මේ මම ටොම් බෝයි කැරැක්ටර් එකක් කරන පළමුවතාව. “ගොඩක් හොඳයි ඔයා ඒ කැරැක්ටර් එක හොඳටම කරනවා කියලා“ බොහෝ දෙනෙක් කියනවා. “මටත් ඔය වගේ යාළුවෙක් ඉන්නවා“. “මාත් ඔය වගේ“ කියලත් සමහරු ප්‍රතිචාර දක්වලා තියෙනවා. ප්‍රේක්ෂකයන් දුල්මිව හරිම ආදරෙන් වැලඳගෙන තියෙනවා. මේ වෙද්දි දුල්මිට හැමෝම ආසයි. දුල්මි කියලා කතාකරන අයත් ඉන්නවා. විශේෂයෙන්ම පුංචි ළමයි ගොඩක් ආදරේ කරන චරිතයක් බවට පත්වෙලා. මාත් ගොඩක් ආසයි ඒ කැරැක්ටර් එකට.
ටොම් බෝයි චරිතයක් භාරගනිද්දී දෙගිඩියාවක් තිබුණේ නැද්ද?
මේ සඳහා මට ආරාධනා ලැබෙන්නේ අධ්‍යක්ෂවරයාගෙන්මයි. ඔහු මට කෝල් කරලා කියන්නේ මම මෙහෙම ITN එකට වැඩක් කරනවා. ඒකේ මේ වගේ චරිතයක් තියෙනවා. ඔයාට ඒක හරියටම මැච් වෙනවා. කරමුද ඇහුවා. ඒ වෙද්දි මටත් ඕනවෙලා තිබුණේ වෙනස් දෙයක් කරන්න. මමත් හරිම ආසාවෙන් භාරගත්තා. දැන් ලස්සනට කරගෙන යනවා.
නීල සමනලී වගේම ගෑනු පිරිමි මල් පලතුරු කියන්නෙත් එකිනෙකට වෙනස් නිර්මාණ නේද?
නීල සමනලීහි නෙහාරාත් ගොඩක් ප්‍රතිචාර ලබමින් සමාජ මාධ්‍යයේ ගොඩක් වයිරල් වුණු චරිතයක්. ඒ වගේම සුමිත් රත්නායකගේ ගෑනු පිරිමි මල් පලතුරු කියන්නෙත් මං හරිම ආසාවෙන් කරන නිර්මාණයක්. එහි චාන්දනී සෙනෙවිරත්නගේ පොඩි දුවගේ චරිතය. ඒ වගේ ප්‍රවීණයන් එක්ක වැඩකරන්න ලැබීම ලොකු සතුටක්. මීෂා, නීල සමනලී කොමර්ෂල් පැත්තට බරයි වගේම ගෑනු පිරිමි මල් පලතුරු කලාත්මක පැත්තට බරයි.
මේ වසර වගීෂාට සිනමාවේත් වසන්තය උදාවූ වසරක් නේද?
මම මේ අවුරුද්ද පටන් ගත්තෙම සිනමාවෙන්. ජනවාරි 1 වැනිදාම මගේ පළමුවැනි චිත්‍රපටය පටන් ගත්තා. මේ වෙද්දි සිනමා නිර්මාණ 5ක් කරලා තියෙනවා. ඒ අතරින් 2ක් දෙමළ සිනමාවට සම්බන්ධයි. නුදුරේදීම අලුත්ම චිත්‍රපටයේ වැඩ පටන් ගන්නවා. ඒකත් දෙමළ සිනමාපටයක්. ටෙලි නිර්මාණ පැත්තටත් වඩා මං මේ අවුරුද්දෙ වැඩිපුරම අවධානය යොමු කළේ සහ වැඩ භාරගත්තේ සිනමාවේ. සිනමාව පැත්තත් හරිම ලස්සනට කෙරීගෙන යනවා.
ඔබට ගායන හැකියාවත් තියෙනවා නේද?
සංගීතය පැත්තෙන් ගත්තොත් මේ වෙද්දි මගේම පද සහ තනුවලට ශානර තුනක ගීත නිර්මාණ තුනක් අවසන් කරලා තියෙනවා. ලස්සන මියුසික් වීඩියෝ තුනක් එක්ක ලබන වසරේ රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
වගීෂා කියන්නේ මනෝවිද්‍යා පිළිබඳ උපාධිධාරිනියක්. කොහොමද ඒ අත්දැකීම?
ඔව්. මම මේ වන විට මනෝවිද්‍යාව පිළිබඳ උපාධිය සම්පූර්ණ කරලා සේවාදායකයන් සමඟ කටයුතු කරනවා. පෞද්ගලික මනෝවිද්‍යා උපදේශනයේත් යෙදෙනවා. මනෝවිද්‍යාව පැත්ත හැදෑරීම මගේ රැකියාවටත් ලොකු උදව්වක් වුණා. මිනිසුන්ව හඳුනාගන්න වගේම මිනිසුන් එක්ක කටයුතු කරන්නත් ඒක ලොකු පහසුවක් වුණා. මම නිතරම උත්සාහ කරන්නේ මගේ ජනප්‍රියත්වයෙන් වගේම ඉගෙනගත්ත දෙයිනුත් මිනිසුන්ට උදව්වක් කරන්න. ඔවුන් සුවපත් කරන්න.
ආදරය, විවාහය ගැනත් වගීෂට අදහසක් ඇති නේද?
මම මගේ පවුලෙන් වගේම ආදරණීය රසිකයන්ගෙන් ආදරය නොඅඩුව ලබන කෙනෙක්. සහකරුවකුගේ ආදරයක් ගැන නම් තවම හිතල නැහැ. මේ ක්ෂේත්‍රය තේරුම් ගන්න, මගේ වැඩකටයුතුවලට සහය දෙන ආදරණීය සහකරුවෙක් හමු වුණොත් විවාහයත් හරි විදිහට හරි වෙලාවට සිදුවේවි.<