ස්වාධීන රූපවාහිනියේ විකාශය වන මීෂා ටෙලිනාට්‍යයේ නිශානි ලෙසින් ද සිරස නාලිකාවේ විකාශය වන නීල සමනලී හි රේණු ටීචර් ලෙසින් ද ඔබ හමුවට එන ඇය නමින් පේෂිකා ඉෂානි ය. මීෂා සහ නීල සමනලී නරඹන ඔයාලට මෙවර අපි පේෂිකාගේ නැවුම් තොරතුරු ටිකක් මෙලෙස ගෙන එන්න අදහස් කළා.
මේ දවස්වල මොකද වෙන්නේ?
මේ දවස්වල ITN නාලිකාවේ විකාශය වන මීෂා ටෙලිනාට්‍යයේත්, සිරස නාලිකාවේ විකාශය වන නීල සමනලී ටෙලිනාට්‍යයේත් රූගත කිරීම් කරගෙන යනවා. ඒ වගේම මගේ අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා.
මීෂා හි නිශානිගේ චරිතය ලැබුණේ කොහොමද?
නිශානිගේ චරිතය මට ලැබුණේ මීට පෙර කරපු නිර්මාණ හරහා ලැබුණු අවස්ථාවක් විදිහට. මීෂා ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂක නිවන්ත ප්‍රසාර සර් මාව ඒ චරිතයට සුදුසුයි කියලා විශ්වාස කරලා අවස්ථාව දුන්නට මම ස්තූතිවන්ත වනවා.
නිශානි, පේෂිකාට සමාන ද?
නිශානි සහ මම අතර සමානකම් කිහිපයක් තියෙනවා. ඒත් නිශානි කියන්නේ මට වඩා වෙනස් අත්දැකීම් සහ හැඟීම් තියෙන චරිතයක්. ඒ නිසා එම චරිතය මට ලැබුණු අලුත් අත්දැකීමක් වුණා.
මීෂා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් අත්දැකීම් මොන වගේ ද?
ගොඩක් සුන්දර අත්දැකීමක්. කණ්ඩායමේ හැමෝගෙන්ම හොඳ සහයෝගයක් ලැබෙනවා. රූගත කිරීම් අතරතුර විනෝද දේවල් වගේම, චරිතය වෙනුවෙන් අලුත් දේවල් ඉගෙනගන්න ලැබෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඒ නිසා මීෂා කියන්නේ මට ගොඩක් වටින අත්දැකීමක්.
මීෂා ටෙලිනාට්‍යයට මඟතොටේදී ලැබෙන්නේ මොන වගේ අදහස් ද?
හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක මට ලැබෙන ලොකු සතුටක්. ඒ හැමෝටම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
ඔය අතරේ නීල සමනලී හි රේණු ටීචර් ගැනත් කතා කළොත්?
රේණු ටීචර් කියන්නෙත් මට ලැබුණු වෙනස්ම චරිතයක්. නිශානිට වඩා වෙනස් පැත්තක් ඒ චරිතය තුළින් පෙන්වන්න පුළුවන්. ගුරුවරියකගේ චරිතයක් කරන නිසා ඒ වගකීමත් හොඳින් තේරුම් අරගෙන රංගනය කරන්න උත්සාහ කරනවා.
පේෂිකා කියන්නේ කවුද?
පේෂිකා කියන්නේ තවමත් ඉගෙන ගනිමින් ඉස්සරහට යන්න උත්සාහ කරන කෙනෙක්. රංගනයට ගොඩක් ආදරය කරනවා. ඒ වගේම මට ලැබෙන හැම අවස්ථාවකින්ම දෙයක් ඉගෙනගන්න උත්සාහ කරනවා.
ක්ෂේත්‍රයට පිවිසුණේ රංගනය හදාරල ද?
ඔව්. මම රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්න කලින්ම රංගනය පිළිබඳව හැදෑරීමට උනන්දු වුණා. මගේ රංගන ගමනේ මුල්ම ගුරුවරයා වුණේ රන්දික විමලසූරිය සර්. සර්ගේ “පටන් ගත්තා විතරයි” වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණා.
ඒ වගේම ගාමිණී විජේවර්ධන සර්ගෙන් ද රංගනය හැදෑරුවා. වයඹ රාජ්‍ය නාට්‍ය උළෙලේ “නිදොස්” වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිතයක් සඳහා අවස්ථාව ලැබුණෙත් ගාමිණී සර් හරහා. ඒ අත්දැකීම මගේ රංගන ගමනේ වැදගත් අවස්ථාවක්.
ඊට අමතරව ඉන්දියාවේ Among Shakya සර්ගෙන් සහ ආර්මේනියාවේ Naira Yadigaryan මිස්ගෙන් ද රංගනය පිළිබඳව හැදෑරීමට අවස්ථාව ලැබුණා. විවිධ ගුරුවරුන්ගෙන් සහ විවිධ රංගන ක්‍රමවේදයන්ගෙන් ඉගෙනගන්න ලැබීම මගේ රංගන ගමනට ලොකු පන්නරයක් වුණා කියලා මම විශ්වාස කරනවා.
රංගන ශිල්පිනියක් වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මගේ රංගන ගමන ආරම්භ වුණේ වේදිකා නාට්‍යවලින්. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබුණේ මගේ පළමු ටෙලිනාට්‍යය “ටැක්සිකාරයා” හරහා. ඒ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ තීක්ෂණ මනරම් සර්ට මම ස්තූතිවන්ත වෙනවා. ඊට පස්සෙ “මීෂා” ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ නිවන්ත ප්‍රසාර සර් සහ “නීල සමනලී” ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ සමීර පියරත්න සර් හරහා අවස්ථාව ලැබුණා. ඒ සියලුම අධ්‍යක්ෂවරුන්ට මම ස්තූතිවන්ත වෙනවා. ඒ අවස්ථා මගේ රංගන ගමනට ලොකු ශක්තියක්.
තවමත් අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවද?
ඔව්. මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනි අධ්‍යයනය පිළිබඳ උපාධියේ අවසාන වසරේ ඉගෙනුම ලබනවා. රූගත කිරීම් කටයුතුත් එක්ක අධ්‍යාපන කටයුතුත් සමබරව කරගෙන යන්න මට අවස්ථාව ලැබිල තියෙනවා. ඒ වගේම කැම්පස් එකේ මගේ දේශකවරුන්ගෙන් වගේම යාළුවන්ගෙනුත් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. ඔවුන් ලබාදෙන සහයෝගය මම ගොඩක් අගය කරනවා.
රඟපෑම් වැඩවලට ගෙදරින් සහයෝගයක් ලැබෙනවද?
ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. රූගත කිරීම් සහ අධ්‍යාපන කටයුතු යන දෙකම කරගෙන යනකොට මගේ අම්මයි තාත්තයි මාව තේරුම් අරගෙන සහයෝගය දෙනවා. ඒක මට ලොකු ශක්තියක්. කැම්පස් එකේ වැඩත්, රූගත කිරීම් සහ අනෙකුත් වැඩකටයුතුත් එක්ක සමහර වෙලාවට මම ගොඩක් කාර්යබහුල වෙනවා. ඒ වගේම මම ගෙදරින් දුර ඉන්න වෙලාවල් තියෙනවා. මම කොච්චර කාර්යබහුල වුණත්, මට අවශ්‍ය වෙලාවක මාව තේරුම් අරගෙන මගේ ළඟින් ඉන්න එක තමයි මට ලැබෙන ලොකුම වාසනාව. ඒ දෙන්නගේ ආදරය, විශ්වාසය සහ සහයෝගය එක්ක මම සතුටින් මගේ ගමන යනවා.
රඟපෑමට ආවේ නැතිනම් මේ වෙනකොට මොනව කරාවිද?
රංගනයට ආවේ නැතිනම් මම ගුරුවරියක් විදිහට වැඩ කරාවි කියලා හිතනවා.
රංගනයට අමතරව සමාජ කටයුතුවලත් යෙදෙනවා නේද?
ඔව්. රංගනයට අමතරව පරිසරය සම්බන්ධ සමාජ කටයුතුවලටත් මම සම්බන්ධ වෙනවා. පාසල් සහ විවිධ ආයතනවල පරිසරය සම්බන්ධ දේශන සහ වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා.