රූප සම්පන්න බව විතරක් නෙවෙයි, හදවතේ තියෙන ගුණ යහපත්කම සහ නිරහංකාර බව නිසාම දශක ගණනාවක් පුරාවට ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ අසීමිත ආදරය දිනාගත් ඈ, රමණී සිරිවර්ධන. පුංචි තිරයේ වගේම රිදී තිරයේත් තමන්ටම ආවේණික වූ රංගන පෞරුෂයකින් හෙබි ඇගේ රුව, නම ඇසූ සැණින් ඕනෑම කෙනකුගේ මනසේ මැවී පෙනෙන තරමටම සමීප එකක්. කාලයක් පුංචි තිරයෙන් තරමක් නිහඬව සිටි ඇය, මෙන්න නැවතත් නිර්මාණ කිහිපයකින්ම ප්‍රේක්ෂකයන් හමුවට ඇවිත්. ඉතින්, ඒ සොඳුරු රංගන ශිල්පිනියගේ අලුත්ම කලා තොරතුරු සහ ජීවිතයේ අලුත් පිටුව ගැන කතාබහ කරන්න ‘හාට්’ අපි ඇයව මෙලෙස එකතු කරගත්තා.Sri Lanka Latest News
මේ දිනවල රමණීව අපිට විවිධ නිර්මාණ හරහා නැවත දැකගන්න ලැබෙනවා?
මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව නිසා තමයි මම අදටත් මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ. ඔවුන් වෙනුවෙන්ම මම නැවත නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. ඒ සියලු නිර්මාණ එක ළඟ විකාශය වෙන්න පටන් ගත්තා. ඒ ගැන ගොඩක් සතුටුයි.
ඉතින් අපි කතා කරමු ඒ රංගන කටයුතු ගැන ඔබට දැනෙන දේ?
සෝනු මන්දාරා, හිරිපොද වැස්ස, නීල සමනලී, අමුතු සංක්‍රාන්තිය කියන ටෙලිනාට්‍ය හරහා එකිනෙකට වෙනස් චරිත මම රඟපානවා. මගේ ඒ රංගනය වෙනුවෙන් ලොකු ආදර ගෞරවයක් මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාවගෙන් මට පෙර සේම ලැබෙනවා. දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයෙන් පස්සේ මට ටෙලි නිර්මාණ ගොඩකින් ආරාධනා ලැබුණා. දැන් මම රඟපානවා නේද, ගොඩක් සතුටුයි කියලා ක්ෂේත්‍රයේ අයත් ගොඩක් සතුටු වුණා. දුවත් විවාහ වෙලා විදේශගතව ඉන්නේ. මම දැන් ඉන්නේ අම්මා එක්ක. පොඩි නිදහසක් ලැබුණු නිසා මම ඉතින් නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. ආරාධනා ලැබුණු හැම නිර්මාණයකටම නම් මට සම්බන්ධ වෙන්න බැරි වුණා. මට දැන් එහෙම ගොඩක් මහන්සි වෙන්න අමාරුයි. එක දිගට වැඩවල හිරවෙන්න බැහැ.
ඒ කියන්නේ මේ දිනවල ඔබ සාමාන්‍ය ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිතයක් ගත කරන්නේ?
ටෙලිනාට්‍ය හතරක වැඩ කරන නිසා මම දවස ගතකරන්නේ ඒ චරිත ස්වභාවයන් එක්ක. මම ෂූටින් යනකොට ආරූඪ වෙනවා ඒ චරිතයට. මම දැන් යන්නේ මේ චරිතයට කියලා මම හිතාගන්නවා. මම එක තැනක බාගයක් රඟපාලා දවසේ අනෙක් වරුව වෙන ටෙලිනාට්‍යයකට යන්නේ නැහැ. මට ඒක අමාරුයි. මම දන්නවා එතකොට මම කරන චරිතය වුණත් හරියට කරගන්න බැහැ කියලා. සමහර අය කතා කරනවා දවල් වරුව අක්කට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. මම ඒ සහාය අධ්‍යක්ෂ මල්ලිලාට කියන්නේ කවදාවත් මගෙන් ඒ දේ බලාපොරොත්තු වෙන්න එපා කියලා. සමහර අවස්ථා තියෙනවා නිර්මාණවල කරගන්න අපහසු වුණු සීන්. ඒ දර්ශන තලය කළේ නැත්නම් එතැන ගැළපීමක් නැහැ. අන්න ඒ වගේ වෙලාවට මගේ යුතුකම මම කරනවා.
‘අමුතු සංක්‍රාන්තිය’ ටෙලිනාට්‍යයේ වෙනස්ම රංගන පරාසයක් ඔබේ රඟපෑම තුළ අපි දකිනවා?
බුද්ධදාස විතානආරච්චි අයියා සමග මම පළමු වතාවට රඟපාන්නේ. හරිම සතුටින් තමයි මම අයිය සමග රඟපෑවේ. මට ඔහු සමග රඟපාන්න ලැබීම සතුටක් සහ භාග්‍යයක් කියලා හිතනවා. බුද්ධදාස අයියාගේ බිරිඳ විදියට මම මීට පෙර රඟපාලා නැහැ. මට එය වෙනස්ම අත්දැකීමක්. ඒ නිර්මාණය බලන ගොඩ දෙනෙක් මට කිව්වා මගේ වෙනස්ම රඟපෑමක් ඒක කියලා. ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ කපිල සමරකෝන් මල්ලි ඇතුළු හැම දෙනාටම මම ස්තුතිය පුදකරනවා. ඒ වගේම තමයි මම වැඩ කරන අනෙකුත් නිර්මාණවලට සම්බන්ධ වෙනකොට වෙනම පවුලක් වෙනම පරිසරයක්. මේ ජීවන රටාවට මම ගොඩක් කැමැතියි.
කාලයක් ඔබව නිර්මාණවල දැකගන්න ලැබුණේ නැහැ?
රඟපානවා කියලා අපිට මුළු ජීවිත කාලයම රඟපාන්න බැහැනේ. එක කාලයකදි අපි නවතින්න ඕනේ. නව පරපුරේ ශිල්පීන් ගොඩක් දක්ෂයි. ඔවුන්ගේ අදහස් හොඳයි. ඔවුන්ගේ ආදරය ගෞරවය ඒ විදියටම අදටත් අපිට ලැබෙනවා. කාලයක් මම ලංකාවේ හිටියේ නැහැ. සමහර කාලයක් තියෙනවා එක දිගටම මට එහෙම වැඩ කරන්න අපහසුයි. මොකද මම අම්මාව බලාගන්න ඕනේ. මේ පාරත් මම දුව බලන්න යන්න නෝර්වේ යන්න හිටියේ. මම යන්න කලින් දුව ලංකාවට ආවා. ඒකෙන් මම ගමන නතර කළා. ආයේ ඉතින් ටික කාලයකින් තමයි දුව ළඟට යන්නේ.
එදා සහ අද නිර්මාණ කලාවේ ලොකු වෙනසක් අපි දකිනවා. ඔබට මේ ගැන යම් අදහසක් ඇති?
ඒ කාලේ අපි කරපු නිර්මාණ සහ අනෙකුත් නිර්මාණ මිනිස්සුන්ට තවමත් මතකයි. ඒ කාලේ මම ‘රුපියල් ශත’, ‘මන්දාරම් එළි’, ‘චාරුලතා’ වගේ නාට්‍යවල රඟපාපු හැම චරිතයක්ම මාරම විදියට මිනිස්සුන්ට මතකයි. ඔවුන් හමුවුණාම කතා කරන්නේ ඒ නිර්මාණවල චරිත ගැන. ඔවුන් තවමත් ඒ චරිත ගැන මාරම විදියට අගය කරනවා. ඒ කාලෙට වඩා දැන් තාක්ෂණය දියුණුයි. දැන් කාලේ කොමර්ෂල් පැත්ත වැඩියි. ප්‍රේක්ෂකයන් කැමැති දේ තමයි දැන් නිර්මාණ විදියට බිහිවෙන්නේ. නිර්මාණයක් නිෂ්පාදනය කරන්නේ පාඩු ලබන්න නෙවෙයිනේ. ඒ යන රටාවට අපිත් හුරුවෙන්න ඕනේ කියලා මම හිතනවා.
ඒ කාලේ වගේම අදටත් චරිත ගැන විශේෂත්වයක් දක්වනවද?
අනිවාර්යයෙන්. මම ඒ ගැන ලොකු සැලකිල්ලක් දක්වනවා. මොකද මම චරිතයක් රඟපෑවොත් ප්‍රේක්ෂකයන් අපි දිහා බලන්නේ සාමාන්‍ය ජීවිතයේ එය රඟපෑමක් කියලා හිතලා නෙවෙයි. සමහර නිර්මාණවල මම චරිත ප්‍රතික්ෂේප කිරීමටත් හේතුව ඒක තමයි. මගේ ප්‍රතිරූපයට හානියක් වෙන චරිත කරන්න මම කැමැති නැහැ.