දක්ෂ නිළියක වීම මගේ බලාපොරොත්තුවයි -නිපුණි ශෂිප්‍රභා

gossiplanka image 1
 


වර්තමාන ශශ්‍රී ලාංකේය කලා කෙත අස්වද්දන්නට එක්වන නවක පරපුරේ රංගන ශිල්පිනියන් අතර නිපුණි ශෂිප්‍රභා නව බලාපොරොත්තුවකි. පාසල් අවධියේ පටන්ම වේදිකාවට සහ නර්තනයට පෙම් බැඳී ඇය, සිය සහජ හැකියාවන් ඔප්නංවා ගනිමින් රිදී තිරය දක්වා පැමිණි ගමන් මඟ ආදර්ශවත්ය. බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ දක්ෂ ශිෂ්‍යාවක මෙන්ම නායකත්ව ගුණාංගවලින් හෙබි ශිෂ්‍ය නායිකාවක් ලෙසද කටයුතු කළ ඇය, වර්තමානය වන විට සිනමා නිර්මාණ කිහිපයකටම සිය දායකත්වය ලබා දී ඇත. කලාව කෙරෙහි ඇති දැඩි උනන්දුව නිසාම ප්‍රවීණයන් යටතේ රංගනය හදාරමින්, වෘත්තීය ජීවිතය සහ කලා ජීවිතය සමබරව පවත්වාගෙන යන නිපුණි ශෂිප්‍රභා සමඟ සරසවිය කළ සාකච්ඡාව


ඔබේ ළමා කාලය සහ පාසල් ජීවිතයෙන්ම මේ කතාබහ ආරම්භ කරමු?


මම කුඩා කාලයේ ඉඳලම කලාවට ගොඩක් ආදරය කරපු කෙනෙක්. මම මගේ මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයෙන්. පාසල් යන කාලේ මම ප්‍රධාන වශයෙන්ම යොමු වෙලා හිටියේ නර්තන ක්ෂේත්‍රයටයි. සාමාන්‍ය පෙළ දක්වා මම නර්තනය හැදෑරුවා. ඒ කාලේ ඉඳලම වේදිකා නාට්‍ය බලන්න මම තුළ තිබුණේ පුදුමාකාර ආසාවක්. ඒ ආසාව සහ උනන්දුව තමයි මාව අද මේ ඉන්න තැනට ගෙන එන්න පදනම දැම්මේ.


ඒ වගේම ඇත්තටම මම සාමාන්‍ය පෙළ දක්වා නර්තනය විෂයක් විදිහට හැදෑරුවත්, උසස් පෙළට එනකොට මම වාණිජ විෂය ධාරාව තෝරාගත්තා. ඒ නිසා උසස් පෙළ කාලයේදී මගේ නර්තන කටයුතු යම් ප්‍රමාණයකට නතර වුණා. නමුත් මම පාසලේ ශිෂ්‍ය නායිකාවක ලෙස කටයුතු කරමින් පාසලේ වැඩකටයුතුවලට උපරිම සහයෝගය ලබා දුන්නා. ඒ හරහා ලැබුණු විනය සහ නායකත්වය මගේ රංගන ජීවිතයටත් ලොකු පිටුවහලක් වුණා.


සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ වීමට පදනම වැටුණේ කොහොමද?


මම සිනමාවට සම්බන්ධ වුණේ හරිම අහම්බෙන් වගේ. මම මුලින්ම ‘ගේම් ‘ කියන චිත්‍රපටයේ තිර පරීක්ෂණයකට (ඒභඤඪබඪධද) සහභාගී වුණා. එතැනින් මාව තෝරාගැනීමෙන් පස්සේ තමයි මට සිනමාවේ දොරටු විවෘත වුණේ. ඉන්පසුව මට ‘රුම් නම්බර්106’ චිත්‍රපටයට සහ ‘ඒක තමයි මේක’ යන චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ නිර්මාණ දෙකටම රංගනයෙන් දායක වෙන්න ලැබීම මගේ කලා ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක්ලෙස සටහන් කරන්න පුලුවන්


රංගනය පිළිබඳව විධිමත් හදාරීමක් කර තියෙනවාද?


ඔව්, මම විශ්වාස කරනවා රංගනය කියන්නේ ඉගෙනගෙන කරන්න ඕන දෙයක් කියලා. ඒ නිසා මම ප්‍රවීණ රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ මහත්මියගේ ඇකඩමියෙන් රංගනය පිළිබඳව මූලික හැදෑරීමක් කළා. සිනමාව කියන්නේ විශාල විෂය පථයක්. අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒ නිසා මම හැමදේ ගැනම අවධානයෙන් සහ අධ්‍යයනය කරමින් තමයි මේ ගමන යන්නේ. ඉදිරියටත් මේ සම්බන්ධව තවදුරටත් ඉගෙන ගන්න මම ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.


ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයටත් සම්බන්ධ අද්දැකීම් ගැන කතා කරමු?


, මම ‘නීල පබළු’ කියන ටෙලිනාට්‍යයේ කුඩා චරිතයකට දායක වුණා. මගේ පළමු ටෙලිනාට්‍ය අත්දැකීම ඒකයි. මෙවන විට නාට්‍යය කිහිපයකටම සම්බන්ධ වෙලා රූපගත කිරීම් සිදු කරමින් යනවා .මම ටෙලිනාට්‍යවලටත් ගොඩක් ආසයි. නමුත් මගේ ප්‍රධානම ඉලක්කය සිනමාව හරහා ඉදිරියට යන එක. ඉස්සරහටත් හොඳ නිර්මාණ ලැබුණොත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ රැඳී ඉන්න මම කැමැත්තෙන් ඉන්නවා.


වර්තමානය වන විට ඔබ රැකියාවක් කරන අතරතුරද මේ කලා කටයුතු කරන්නේ?


ඔව්, මම දැනට පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙනවා. ඒ රැකියාව කරන අතරතුර තමයි මම මගේ කලා කටයුතු සහ රංගන කටයුතු සඳහා කාලය වෙන් කරගන්නේ. ඒක ඇත්තටම ලොකු අභියෝගයක් වුණත්, කලාවට තියෙන ආදරය නිසා මම ඒ දේවල් කළමනාකරණය කරගන්නවා. රැකියා කටයුතු නිසා නර්තනයට වෙන් කරන කාලය ටිකක් අඩු වෙලා තිබුණත්, නර්තනය සම්බන්ධ මොනවා හරි නිර්මාණයකට ආරාධනයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම ඒකට සම්බන්ධ වෙනවා.


නිරූපණ ක්ෂේත්‍රයටත් සම්බන්ධයි. ඒ ගැන කතා කරමු.?


ඔව්, මම මෙ වන විටත් නිරූපණ ක්ෂේත්‍රයෙත් වැඩ කරනවා. විශේෂයෙන්ම මම නිරත වෙන්නේ මනාලියන් හැඩගැන්වීමේ (ඕපඪඤචත) ක්ෂේත්‍රයේ. බ්‍රයිඩල් ෂෝ සඳහා නිරූපිකාවක ලෙස මම සහභාගී වෙනවා. නමුත් මම තවම මියුසික් වීඩියෝ සඳහා නම් දායක වෙලා නැහැ. ඉදිරියේදී හොඳ මියුසික් වීඩියෝ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් ඒ ගැනත් සලකා බලනවා.


සිනමා නිර්මාණවලට නවකයෙක්. ඔබට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කෙබඳුද?


ඒ ගැන නම් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මම වැඩ කරපු චිත්‍රපටවල හිටපු ප්‍රවීණ ශිල්පීන්ගෙන් මට ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන්ම අධධථ ව්ධ ‘106’ සහ ‘ඒක තමයි මේක’ යන චිත්‍රපටවල මා සමඟ රඟපෑ ශිල්පීන් මගේ අඩුපාඩු පෙන්වා දෙමින්, රංගනය වැඩිදියුණු කරගන්න ලොකු සහයෝගයක් දුන්නා. ඔවුන් මට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ හැම දෙනාටම මම මේ වෙලාවේ ස්තූතිවන්ත වෙනවා.


පවුලෙන් ලැබෙන සහයෝගය ගැන මතක් කරමු?


මගේ පවුලෙන් මට ලැබෙන සහයෝගය අතිමහත්. මගේ අම්මා, තාත්තා සහ ආච්චි තමයි ගෙදර ඉන්නේ. ඒ හැමෝම කලාවට ගොඩක් ආස කරන අය. ඒ නිසා මට ගෙදරින් හැමතිස්සෙම රැකවරණය සහ අවශ්‍ය සහයෝගය නොඅඩුව ලැබෙනවා. මට මේ ක්ෂේත්‍රයේ රැඳී ඉන්න ඒ සහයෝගය ලොකු ශක්තියක්.


අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ එකම බලාපොරොත්තුව මේ ක්ෂේත්‍රය තුළ හොඳ ගමනක් ගිහින්, රංගන ශිල්පිනියක ලෙස ඉහළ තැනකට යන එකයි. කලාවට මම තියෙන ආදරය නිසාම මම මේ ක්ෂේත්‍රයේ දිගටම රැඳී ඉන්න බලාපොරොත්තු වෙනවා. මම රංගනය ගැන තවදුරටත් අධ්‍යයනය කරමින්, දක්ෂ ශිල්පිනියක වෙන්න උපරිම උත්සාහ කරනවා.


අවසාන වශයෙන් ඔබට ස්තූති කරන්න පිරිසක් ඇති?


ඔව්, මට මේ ක්ෂේත්‍රයට එන්න උදව් කරපු, මාව අගය කරපු සහ මට වැරදි පෙන්වා දීලා මාව නිවැරදි කරපු හැම දෙනාටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. මට මේ අවස්ථාවන් ලබා දුන් අධ්‍යක්ෂවරුන් සහ ශිල්පීන් මම කෘතඥ පූර්වකව මතක් කරනවා. මට පොඩි හරි උදව්වක් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.

gossiplanka image 1
gossiplanka image 2
gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5
Previous Post Next Post