හුස්මක් ළඟින් නාට්‍යයේ ෂෙල්ටන්ගේ බිරිඳ - අනුරුද්ධිකා පාදුක්කගේ

gossiplanka image 1
 

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ‘හුස්මක් ළඟින්‘ ටෙලි නාට්‍යයේ ෂෙල්ටන්ගේ බිරිඳ වන තුෂාරිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයන් අතරට පැමිණෙන ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. අද අපේ කතා බහ ඇය සමඟයි. ඇය නමින් අනුරුද්ධිකා පාදුක්කගේ.


ඔබ රංගනයෙන් දායක වන ‘හුස්මක් ළඟින්‘ ටෙලි නාට්‍යය ගැන මොකද හිතෙන්නේ ?


හුස්මක් ළඟින් ටෙලි නාට්‍යය කියලා කියන්නේ වර්තමානයේ බොහෝ ප්‍රේක්ෂකයින් පිරිසක් ආදරයෙන් වැලඳ ගත් ටෙලි නාට්‍යයක්. ධනපති පන්තිය හා එයින් පීඩාවට පත්වන දුප්පත් පන්තිය අතර ගැටුමක් ද මූලිකව තමයි මෙම කතාව නිර්මාණය වෙන්නේ. ඒ අතර අතීත හා වර්තමාන සිදුවීම් ඇසුරෙන් ද මෙම කතාව දිග හැරෙනවා. විදේශගත වීම නිසා මව අහිමිවන පවුලක වේදනාකාරී අත්දැකීමක් සුනිල්ගේ පවුලෙන් නිරූපණය වෙනවා. ඒ වගේම ධනපති පවුලක විසුරුණු මානව සම්බන්ධතා ෂෙල්ටන්ගේ පවුලෙන් නිරූපණය වෙනවා.




ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය මොනවගේද?


‘හුස්මක් ළඟින්‘ ටෙලි නාට්‍යයේ ෂෙල්ටන්ගේ බිරිඳගේ චරිතය තමයි මම නිරූපණය කරන්නේ. මනාව හික්මුණු සහ නිවුණු චරිතයක් වන තුෂාරි සිය පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් නිරන්තරව කටයුතු කරනවා. එමෙන්ම සිය ස්වාමියාට ඉතාම පක්ෂපාතී ලෙස ජීවත් වෙමින් පවුලේ සමගිය රැක ගැනීමට දැඩි උත්සාහයක නිරත වෙනවා.


අධ්‍යක්ෂවරයා ඇතුළු සෙසු රංගන ශිල්පීන්ගෙන් ඔබේ චරිතයට ලැබෙන සහයෝගය කොහොමද?


තුෂාරිගේ චරිතය අවස්ථානුකූලව හැසිරවීමට අධ්‍යක්ෂවරයාගෙන් මට නොමද සහායක් ලැබෙනවා. ඔහු ඉතා සංයමයකින් යුතුව සිය නළු නිළියන් හසුරුවනු ලබනවා. එමෙන්ම ටෙලි නාට්‍යය සමඟ සම්බන්ධ වන සෙසු සහෝදර ශිල්පීන් ඉතා සුහදශීලිව සහයෝගයෙන් නිර්මාණයට සම්බන්ධ වෙනවා. ප්‍රවීණ ආධුනික සියලුම සහෝදර ශිල්පීන් ඉතාම සහයෝගයකින් නිර්මාණයට දායකත්වය ලබා දෙනවා.


ඔබ කලාවට පිවිසීම සිදු වෙන්නේ කොහොම ද ?


මුලින්ම මම වේදිකාව, ටෙලිනාට්‍යය, චිත්‍රපට හරහා තමයි කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වන්නේ. දශක දෙකකටත් වඩා වැඩි කාලයක් තිස්සේ මම දැන් මේ කලා ක්ෂේත්‍රයේ නිර්මාණවල නියැළෙනවා.


ඉදිරියේ දී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අලුත් වැඩ මොනවද?


දැනට රූගත කිරීම් අවසන් කර ඇති ‘එදා රෑ‘ චිත්‍රපටය ඉදිරියේ දී තිරගත වීමට නියමිතයි. තවත් චිත්‍රපටියක රූගත කිරීම් අවුරුද්ද අවසානයේ දී කිරීමට තියෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලත් තියෙනවා.

gossiplanka image 1
gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5

Previous Post Next Post