ජනප්‍රිය ඉන්දීය නිළි මෞනි රෝයි සහ ඇගේ සැමියා වන සූරජ් නම්බියාර්ගේ විවාහ ජීවිතය පිළිබඳව මේ දිනවල විවිධ කටකතා පැතිර යමින් තිබේ. 2022 වසරේදී අතිශය සමීප හිතවතුන් පිරිසක් මැද විවාහ දිවියට එළඹුණු මේ දෙපළගේ විවාහයේ ගැටලු මතුව ඇති බවටත්, ඔවුන් වෙන්වීමට යන බවටත් මාධ්‍ය වාර්තා පළ වුවද, මෞනි හෝ සූරජ් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
මෙම කටකතා සහ මාධ්‍ය වාර්තා අතරතුර, මෞනි රෝයි සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම හරහා අපූරු මෙන්ම සංවේදී කවියක් රසිකයන් සමග බෙදාගෙන තිබේ. සුදු පැහැති ගවුමකින් සැරසී වෙරළ තීරයක සිට ලබාගත් සුන්දර ඡායාරූප පෙළක් සමගින් ඇය මෙම කවිය පළ කර ඇත. විශ්වවිද්‍යාල සමයෙන් පසු, එනම් දශක දෙකකට පමණ පසුව තමන් යළිත් වරක් යමක් ලියූ බව ඇය එහි සටහන් කර තිබුණාය.
වේදනාව, ඔරොත්තු දීමේ හැකියාව, ස්වයං අවබෝධය සහ ජීවිතයේ අසීරු අවධීන් තුළින් බලාපොරොත්තුව සොයා ගැනීම වැනි ගැඹුරු තේමාවන් මෙම කවියෙන් පිළිඹිබු වේ. ඇය සිය පෞද්ගලික ජීවිතය හෝ වර්තමානයේ පැතිර යන කටකතා පිළිබඳව කිසිදු සෘජු සඳහනක් කර නොමැති වුවද, කවියේ ඇති අතිශය සංවේදී ස්වභාවය හේතුවෙන් බොහෝ රසිකයන් එය ඇගේ විවාහය සම්බන්ධයෙන් වන කටකතා සමඟ සම්බන්ධ කරමින් අදහස් දක්වා ඇත.
ජීවිතයේ සමහර දිනවල එය අපට පිළිතුරු දීමට අකමැති ප්‍රශ්න රැගෙන එන බවත්, එය අපට නිහඬතාවයේ බර සහ හිස් කාමරවල භාෂාව කියා දෙන බවත් මෞනි සිය කවියෙන් පවසයි. අහසට තම නම අමතක වූ සහ සඳ පවා වෙහෙසට පත්ව සිටි කාලයන් පසුකර පැමිණි බව ඇය සඳහන් කරයි. එහෙත් අඳුරට ආවේණික වූ අපූරු කරුණාවක් ඇති බවත්, එය අප සතුව ඇති අපගේම ආලෝකය හඳුනා ගැනීමට මඟ පෙන්වන බවත් ඇය පවසන්නීය. ඒ අනුව, තමා දැන් හිරු පසුපස හඹා නොයන බවත්, එක් නිහඬ පියවරක්, එක් නොපසුබට හෘද ස්පන්දනයක් සහ එක් කුඩා විශ්වාසයක් ලෙස තමන් දිගටම ගමන් කරන බවත් මෞනි ලියා තිබේ.
එමෙන්ම, ජීවත්වීම යනු කුණාටු නොමැති වීම නොවන බවත්, කොතරම් දිගු රාත්‍රියකට වුවද අලුයම සමඟ සාකච්ඡා කළ නොහැකි බව වටහා ගැනීම බවත් ඇය තවදුරටත් කියා සිටියි. ජීවිතය ඇයට බිඳී යාමට කීවද, තමා ආලෝකය ඇතුළු වන ස්ථානය බවට පත්වන බව ඇය අවධාරණය කරයි. මෞනිගේ මෙම ගැඹුරු මෙන්ම පෞද්ගලික අදහස් දැක්වීම රසිකයන්ගේ දැඩි ප්‍රශංසාවට ලක්ව ඇති අතර, ජීවිතයේ අභියෝග හමුවේ ශක්තිමත්ව ඉදිරියට යාම පිළිබඳව ඇය ලබාදෙන පණිවිඩය කාගේත් අවධානය දිනාගෙන තිබේ.