ඩිස්නි කියන්නේ ඇඳුමක් අඳින කෙනෙක් නෙවෙයි, ඇඳුමකට ජීවය දෙන කෙනෙක්. මේ දිනවල ඩිස්නිගේ ඇඳුම් විලාසිතා සමාජය තුළ කතාබහට ලක් වෙලා තියෙනවා. ඒ එක්කම ඩිස්නි රංගනයෙන් දායක වන ‘රූම් නම්බර් 106‘ චිත්‍රපටයත් මේ දිනවල රිදී තිරයෙන් දැක ගන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම අපි ඩිස්නි රාජපක්ෂ එක්ක කතා කළා.
රූම් නම්බර් 106 ෆිල්ම් එක ට ලැබුණ ප්‍රතිචාර මොනවගේද?
මේ වෙනකම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මාධ්‍ය දර්ශනය බලන්න ආව බොහෝ දෙනාගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා. චිත්‍රපටය තිරගත වෙන්න අරන් තවම දවස් කිහිපයයිනේ.
කාලයක් සමාජයේ මාතෘකාවක් වුණු සිද්ධියක් වටා නිර්මාණය වූ කතාවක චරිතයක් රඟපාන්න ලැබීම අභියෝගයක් වුණාද?
අනිවාර්යයෙන්ම අභියෝගයක් වුණා. සමාජයේ තිබුණු චරිතයක්. නමුත් මේ තරුණිය ප්‍රසිද්ධ චරිතයක් නොවුණත් අපේ සමාජය තුළ ආන්දෝලනාත්මක කතිකාවක් නිර්මාණය කරපු සිද්ධියක්. ඒ නිසා ලොකු සමාජ වගකීම් තිබුණා. මේ චරිත ගැන සොයා බලලා ලොකු අධ්‍යයනයක් එක්ක කරන්න සිද්ධ වුණා.
බිමල්ගෙන් ලැබුණ සහයෝගය කොහොමද?
ඔහුගෙන් ඉතාම හොඳ සහයෝගයක් ලැබුණා. අපි මේ චරිත නිරූපණය කළේ කතාබහ කරමින්. අධ්‍යක්ෂ සුරංග ද අල්විස්ගෙන් වගේම මට බිමල් ජයකොඩිගෙන් මේ චරිතේ ගොඩනඟා ගන්න ලොකු සහයෝගයක් ලැබුණා. ඒ එක්කම කියන්න ඕනේ මට බිමල්ගෙන් ලොකු රැකවරණයක් ලැබුණා. හරියටම කියනවා නම් බිමල් තාත්තා කෙනෙක් වගේ ලොකු රැකවරණයක් දුන්නා. එයට මම ගෞරව කළ යුතුයි. ඒ නිසයි මේ වෙලාවේ මම ඒක මතක් කළේ.
අධ්‍යක්ෂ සුරංග ද අල්විස් එක්ක වැඩ කරන්න පහසු ද?
සුරංග ද අල්විස් එක්ක වැඩ කරන එක ඉතාම පහසුයි. බොහොම සැහැල්ලුවෙන් ඒ රංගන ශිල්පියාට සහ ශිල්පිනියට ඒ අවශ්‍ය වටපිටාව හදලා දෙන්න මහන්සි වෙන කෙනෙක්. අපිට මතුපිටින් පෙන්නේ ඉතාම සැහැල්ලුවෙන් විනෝදයෙන් සෙට් එකේ ඉන්න බව. නමුත් ඒකට ලොකු ගැඹුරක් තියෙනවා. ඒකට හේතුව ඔහු හැම තිස්සෙම රංගන ශිල්පියාට සහ ශිල්පිනියට අවශ්‍ය මානසික නිදහස වගේම ලොකු ගෞරවයක් ලබා දෙනවා. ඔහු කිසි කෙනෙක්ගේ හිත රිදවන්නේ නැහැ. මම ඒ කාලයේ දැඩි සේ කාර්යබහුල වෙලා හිටියේ මගේ අධ්‍යාපන කටයුතු සහ ව්‍යාපාරික කටයුතු එක්ක. ඔහු ඒ දේ තේරුම් ගැනීමම මට වටිනවා. මට පිටපත එව්වට බලන්න කාලයක් තිබුණේ නැහැ. මගේ විභාග කාලයක් වුණු නිසා. මම ඔහුට ඒ බව කියලා මම කාලයක් ඔහුගෙන් ඉල්ලුවා. ඔහු මාව තේරුම් අරන් මට ඉඩ ලබා දීලා බොහොම ඉවසීමෙන් බලාගෙන හිටියා. මාව ස්ට්‍රෙස් නොකර මට ඒ දුන්නු ගෞරවය ඉතාම ආදරෙන් මතක් කරන්න ඕනේ.
ඉදිරියේදි එන්න තියෙන සිනමා නිර්මාණ මොනවාද?
සුදේශ් වසන්ත පීරිස්ගේ රතී චිත්‍රපටය සහ සංජීව පුෂ්පකුමාරගේ විහඟ ප්‍රේමය (Peacock Lament) එන්න තියෙනවා.
දැන් ඩිස්නි ලස්සන වෙලා නේද?
රුම් නම්බර් 106 ෂූට් කරන කාලේ මම ටිකක් මහත් වෙලා හිටියේ. මම ඔස්ට්‍රේලියාවේ විභාග කටයුතු නිසා දෛනික ව්‍යායාම සහ ආහාර පාලනය කියන දේ හරියට කර ගන්න බැරි වුණා. ඒ නිසා චුට්ටක් මහත් වුණා. දැන් නම් ඉතින් ලස්සන වීම කියන එක මට තේරෙන්නේ නැහැ. හැබැයි මේ දවස්වල මම කෙට්ටු වෙලා. කොහොම වුණත් සමහර කෙනෙක්ට ලස්සනටත් තවත් කෙනෙක්ට කැතටත් පේන්න පුළුවන්.
දැන් පෙනුමට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
කෙට්ටු වීම සම්බන්ධව නම් හොඳ නරක දෙකටම ප්‍රතිචාර තියෙනවා. නමුත් මට හිතෙන දේ තමයි ඇඟ කෙට්ටු වුණාම සහ සැහැල්ලු වුණාම ඕනෙම ඇඳුමක් අඳින්න පුළුවන් කියන එක සහ තිරයට වුණත් ලස්සනයි කියන එක.
ඩිස්නිගේ මේ කාලේ ෆැෂන් වයිරල් වෙනවා, ඒ ගැන මොකද හිතෙන්නෙ?
මම ෆැෂන් කරන්න හරිම ආසයි. නමුත් ෆැෂන් කරන්නේ වයිරල් වෙන්න හිතාගෙන නෙවෙයි. ඒක ලාංකික ඇතැම් මිනිස්සු ලොකු දෙයක්, වෙනස් දෙයක් විදියට දැක්කා. නමුත් මට එහෙම දෙයක් තේරුණේ නැහැ. සමහර විට මෙහෙම වයිරල් වෙයි කියලා දැනුණා නම් එහෙම අඳින්නේ නැතුවත් ඉන්න ඉඩ තිබුණා. නමුත් මම එහෙම ඇන්දා කියලා කිසිම පසුතැවීමකට ලක් වෙන්නේ නැහැ. ඒ ෆැෂන් මම ආස නිසා කරපු දේවල්.
‘රුම් නම්බර් 106‘ ප්‍රේක්ෂකයන් බලන්න ඕනේ කියන්නේ ඇයි?
අපිට දැන් හොඳ ප්‍රේක්ෂකාගාරයක් හැදිලා ඉන්නවා. ඒ වගේම පසුගිය කාලේ හොඳ සිනමා රැල්ලක් හැදුණා. මේ චිත්‍රපටය දැන් තියෙන හොඳ චිත්‍රපට ගොන්නට එකතු වුණු තවත් හොඳ සිනමා නිර්මාණයක්. ආදරේ නැති වුණාම මිනිස්සු හැසිරෙන විදිය අපි මේ සමාජයෙන් දැකලා තියෙනවා. යම් හෙයකින් ආදර සම්බන්ධයක් බිඳ වැටුණටත් ඒ ආදරේ කරපු අය අතරේ ගෞරවයක් තියෙන්න ඕනේ. ආදරේ කියන්නේ වටිනා උතුම් හැඟීමක්. ඒ නිසා ආදරේ බිඳ වැටුණාම පළිගැනීමක් කරන්න හොඳ නැහැ. ඒ වගේම මම හිතනවා අන්සතු නොවන දෙයකට අපි ප්‍රේම කළ යුතුයි කියා. ආදරේ කියන්නේ බොහොම ගැඹුරු හැඟීමක්. හරියටම අපි ආදරේ නම් එතැන සතුට සැනසීම තියෙන්න ඕනේ…ඒකයි මගේ විශ්වාසය. ‘රුම් නම්බර් 106‘ බලන්න කියන්නෙත් ඒ නිසයි.