සුරංග අල්විස්ගේ අධ්‍යක්ෂණයෙන් පසුගියදා රිදී තිරයට එක්වුණු ‘ඒක තමයි මේක ‘ සිනමාපටය මේ දිනවල සාර්ථකව තිරගත වන අතර ලංකාවේ පළමුවරට යූටියුබ් නාළිකා හිමිකරුවන් හත් දෙනකු සම්බන්ධ කරගනිමින් සිදුකළ පළමු නිර්මාණය ලෙස එය වාර්තා අතරටද එක්වනු ඇත. වාර්තාගත සිනමාපටයක් ඔස්සේ සිනමාවට පිවිසෙන සංජානා ගමආරච්චි එහි පියුමිගේ භූමිකාවට පණ පොවමින් සිය පළමු සිනමා අත්දැකීම ලබා ගැනීමද විශේෂත්වයකි. රියැලිටි වැඩසටහනක අත්දැකීමක් ඔස්සේ නිර්මාණය වුණු දිවිතුරා ටෙලි නිර්මාණයේ දඟකාර, හුරුබුහුටි ටීනා ලෙසින් ඇය පළමුවෙන්ම ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත්තාය. මේ දිනවල සිහිනෙක තනිවෙලා, ඔබ එන්න ඇවිත් යන්න, ජහුටා සහ ආලේ යන ටෙලි නිර්මාණවලට රංගනයෙන් දායක වන ඇය පළමුවරට රිදී තිරයට පිවිසීමට ලැබීම සම්බන්ධයෙන් තුටින් පසුවන්නීය.
පුංචි තිරයේ නිතර දකින මාව පළමු වතාවට රිදී තිරයේ දකින්නේ ‘ඒක තමයි මේක‘ සිනමා නිර්මාණයෙන්. සුනෙත් මාලිංග ලොකුහේවා සමඟින් ප්‍රියන්ත විදානපතිරණගේ ලියන තිරපිටපත අධ්‍යක්ෂණය කරන්නේ සුරංග අල්විස්. රංග ජයකොඩි (ජනා) චමල් රත්නායක (ප්‍රියා) රතිඳු සේනාරත්න (රැට්ටා) ලෝචනා ජයකොඩි (ලෝචි) ලක්මාල් වීරසිරි (ලකා) ශාන් ආරෝෂ (සිකා) ජනිත් රූපසේන (සිරිල් අයියා) කියන ලංකාවේ ජනප්‍රියම යූටියුබර්ස්ල හත්දෙනා තමයි ප්‍රධාන චරිතවලින් සම්බන්ධ වෙන්නේ. කතාව ගලාගෙන යන්නේ ඔවුන් වටා. ‘ඒක තමයි මේක‘මේ දවස්වල ගොඩක් ප්‍රතිචාර ලබමින් තිරගත වීම මටත් ලොකු සතුටක්. රැට්ටාගෙයි, සිකාගෙයි පෙම්වතිය පියුමි විදිහටයි මගේ චරිතය දිවෙන්නේ. මේ සඳහා මට ආරාධනා ලැබෙන්නේ අධ්‍යක්ෂ සුරංග අල්විස්ගෙන්. දිවිතුරා ටෙලි නිර්මාණයේ ටීනාගේ චරිතය දැකලා තමයි ඔහු මට ආරාධනා කරල තිබුණේ . සිනමාව කියන්නේ ක්ෂේත්‍රයට එන ඕනෙම අයකුගේ සිහිනයක්. මටත් ඒ සිහිනය තිබුණා. මගේ ඒ සිහිනය මේ තරම් ඉක්මනින් සැබෑ කරල දුන්නේ සුරංග අයියා. ඔහු වගේ දක්ෂයෙක්ගේ වැඩකින් සිනමාවට පිවිසෙන්න ලැබීමත් මගේ වාසනාව. ලංකාවේ යූටියුබර්ස්ලා හත්දෙනෙකුගේ එකතුවෙන් මේ වගේ සිනමාපටයක් කරන පළමු අවස්ථාව. ලංකාවේ වගේම මේක ලෝකයේත් හිට් එකක් වේවි කියලා හිතනවා. සුරංග අයියට කොහොමත් ඕන වෙලා තිබුණේ සිනමාවේ අභියෝගාත්මක වෙනසක් කරන්න. ඒ වෙනස තමයි ප්‍රේක්ෂකයන් මේ දිනවල අත්දකින්නේ.
ඩිජිටල් අවකාශයේ පෙළහර පාන ජනප්‍රියම චරිත හතක් වටා ගෙතුණු ‘ඒක තමයි මේක‘ සිනමාපටයේ පියුමි ගැන සංජානා දරන්නේ මෙවන් අදහසකි.
පියුමී කියන්නෙත් කටකාර, දඟකාර කෙළිලොල් තරුණියක්. ඒක මගේ පළමු සිනමා අත්දැකීම. එකටම ඉන්න හොඳම මිතුරන් දෙදෙනකු සමඟ පෙම් සබඳතා පවත්වන කෙළිලොල් තරුණියක්. සිනමාපටය පුරාවටම දිවෙන චරිතයක්.
දඟකාර බව කෙළිලොල් බව සංජානාට අමුතු අත්දැකීමක් නොවන්නේ ඇය මෙතෙක් දායක වුණු බොහෝ ටෙලි නිර්මාණවලට එය පොදු කාරණයක් වූ නිසාය. පළමු සිනමා අත්දැකීම වීම හේතුවෙන් මෙය ඇයට සුවිශේෂී බව පැහැදිලිය.
ඇත්තම කතාව කියනවා නම් මට පුංචි තිරයේ මෙතෙක් ලැබිල තියෙන්නෙත් මේ වගේ කටකාර, දඟකාර, කෙළිලොල් චරිතමයි. වෙනස් විදිහේ චරිත ලැබෙනවට මම කැමැතියි. සිනමාවේ ඒ වගේම චරිතයක් ලැබුණම මං ඒක හරිම ආසාවෙන් භාරගත්තේ ඒ මගේ පළමුවැනි සිනමා අත්දැකීම නිසා. අධ්‍යක්ෂවරයාගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. සුරංග අයියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන මාව විශ්වාස කරලා මේ චරිතයට තෝරාගත්තට. ඔහු පියවරෙන් පියවර මේක තමයි සිනමාව කියන එක මට කියල දුන්නා. අනෙක් රංගන ශිල්පීන්ගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ නිසාම මට ලොකු වෙනසක්, චකිතයක් දැනුණෙත් නැහැ. ‘ඒක තමයි මේක‘ හරිම සුහදව සතුටින් රූගත කෙරුණා.
මෙතෙක් පුංචි තිරයේ දුටු තම රුව ප්‍රථම වරට සිනමාශාලාවේ පුළුල් තිරයේ දකිද්දී දැනුණු සතුට නැවත නැවතත් ඇය සිහිපත් කළාය.
සිනමාශාලාවක පුළුල් තිරයේ පළමු වතාවට මගේ රුව දකිද්දී මට ගොඩක් ආස හිතුණා. ඒ වගේම ලොකු සතුටක් දැනුණා. මගේ පළමු සිනමා අත්දැකීම නිසා විශේෂයෙන්ම මට ඒක සුවිශේෂී අත්දැකීමක් වුණා කිව්වත් හරි. ඉදිරියේදී තිරගත වීමට නියමිත තවත් සිනමාපටයකට ආරාධනා ලැබුණා. මේ දිනවල එය රූගත කෙරෙනවා. ඉදිරියේදී ඒකත් දකින්න ලැබේවි.
සුපුරුදු දඟකාර, කටකාර, කෙළිලොල් බව නිසාම පුංචි තිරයේ ප්‍රේක්ෂක ඔබේ ආදරය විඳින සංජානා ඉන් මිදීමේ අපේක්ෂාවෙන් අභියෝගාත්මක චරිතයක් ලැබෙන තෙක් බලා සිටින්නීය. එය විලන් කැරැක්ටර් එකක් නම් වඩාත් කැමැත්තෙන් භාරගන්නා බවද ඇය පැවසුවාය.