රංගන ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ ඇය අද බොහෝ දෙනෙකුගේ ආදරයට මෙන්ම අභිමානයට පත්ව සිටී. දශක හයකට වැඩි කාලයක් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ අපූර්ව රංග ප්‍රතිභාවෙන් ආලෝකවත් වූ ඇය නෙතලි වයලට් නානායක්කාරයි.
1934 දෙසැම්බර් 26 වන දින කිරිබත්ගොඩ දී උපත ලැබූ ඇය පවුලේ සිව්වැන්නා විය. කුඩා කල සිටම වැඩිමල් සහෝදරයකු හා සහෝදරියන් දෙදෙනකු මෙන්ම බාල සහෝදරයන් දෙදෙනකු සමඟ හැදී වැඩුණු ඇයගේ ජීවිතය පවුලේ ආදරය හා සෙනෙහස මැද ගොඩනැගුණ සුන්දර එකක් විය. පමුණුවිල රෝමානු කතෝලික පාසලෙන් මූලික අධ්‍යාපනය ලද ඇය අධ්‍යාපනයට මෙන්ම භාෂා කුසලතාවයන්ටද සුවිශේෂී දක්ෂතා දැක්වූවාය. වයස අවුරුදු 13 දී සාමාන්‍ය පෙළ විභාගය සමත් වීම ඇයගේ බුද්ධිමය හැකියාවන්ට කදිම සාක්ෂියකි. ඉන් අනතුරුව කැලණිය ගුරුකුල විද්‍යාලයට ඇතුළත් වූ ඇය ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබමින් සිය දැනුම් පරාසය තවදුරටත් පුළුල් කරගත්තාය. ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස හසුරුවන ඇය අධ්‍යාපනය මෙන්ම වෘත්තීය ජීවිතය තුළද විශිෂ්ටත්වය හඹා ගියාය. පාසල් අධ්‍යාපනයෙන් පසු සිය මාමාගේ මඟ පෙන්වීම යටතේ පෞද්ගලික සමාගමක සේවයට එක් වූ නෙතලි නානායක්කාර පසුව කොළඹ ෆෝඩ්ස් රෝඩ් ගිණුම් කරන ආයතනයේ විගණකාධිවරියක ලෙස වසර තිහකට අසන්න කාලයක් සේවය කළාය.
කලාව කෙරෙහි ඇයගේ නොනිමේන ආදරය අවසානය සිය වෘත්තීය ජීවිතයේ රංගන ක්ෂේත්‍රය වෙත යොමු වීමට හේතු විය. 1985 වසරේදී රැකියාවෙන් සමුගෙන ඇය පූර්ණකාලිනවම කලාවේ නියැළෙන්නට වූවාය..
වයස අවුරුදු විසි හතේදි ප්‍රවීණ රංගන ශිල්පියකු වූ වොලී නානායක්කාර සමඟ විවාහ වූවාය. 1958 වසරේදී කැලණියේ දළුගම කතෝලික දේවස්ථානයේදී ආරම්භ වූ එම හමුවීම ජීවිත කාලය පුරා පවතින සොදුරු බැඳීමකට මුල පිරුවේය. වොලී නානායක්කාරයන් 2013 වසරේදී සිය දිවි සැරිය නිමා කළද ඔහු හා ගෙවූ මතකයන් ඇයගේ ජීවිතයේ සදා අමරණීය සටහන් ලෙස අදටත් රැඳී ඇත. රවී, රේනුකා, ශාමිකා, චන්දිකා සහ ඉන්දික යන නිවුන් දරුවන් ඇතුළු දරුවන් පස්දෙනෙකුගේ ආදරණීය මවකි.
ඇයගේ කලා දිවියේ ආරම්භය සනිටුහන් වූයේ ගුවන් විදුලිය හරහාය. 1955 වසරේදී රේඩියෝ සිලෝන් සමඟ අත්වැල් බැඳගත් ඇය සිය කලා ගමනේ මුල් පියවර තැබුවේ හඬට ජීවය එක් කරමිනි. එච්.ඩි. විජේදාස ගේ ‘විහිළු තහළු‘ ගුවන් විදුලි නිෂ්පාදනය ඔස්සේ කලාවට පිවිසි නෙතලිගේ පළමු ගුවන් විදුලි නාට්‍ය වූයේ ‘සමුද්‍ර දේවිය‘ යි. කටහඬෙහි සුන්දරත්වයෙන් චරිතවලට ජීවය දුන් නෙතලි ගුවන් විදුලි නාට්‍ය කලාවේ ප්‍රේක්ෂක සිත් දිනාගත් දක්ෂ ශිල්පිනියක බවට කෙටි කලකින් පත්විය.
ඇයගේ කලා දිවියේ තවත් සොඳුරු පරිච්ඡේදයක් ආරම්භ වූයේ එම ගුවන් විදුලි පරිසරය තුළදීමය. ඇයගේ ජීවන සහකරු බවට පත් වූ වොලී නානායක්කාර සමඟ 1972 වසරේදී ජනප්‍රිය වූ ‘මුවන්පැලැස්ස‘ ගුවන් විදුලි නාට්‍යයේ ‘උක්කු බණ්ඩා” සහ ‘බිනරි‘ ලෙස ඔවුන් දෙදෙනා එක්ව රංගනයේ යෙදීම කලා ලෝකය තුළ මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය තුළද නොමැකෙන මතකයක් බවට පත්විය. ගුවන් විදුලි රංගනයෙන් ආරම්භ වූ ඇයගේ කලා ගමන පසුකාලීනව පුංචි තිරය වෙතද විහිදී ගියේය.
ආනන්ද සිරිසේනගේ අධ්‍යක්ෂණයෙන් යුත් ටෙලි නාට්‍යයකින් පුංචි තිරයට පිවිසී ඇය පසුව ශ්‍රී ලාංකේය ටෙලි නාට්‍ය කලාවේ අමතක නොවන චරිත රැසකට පණ පෙව්වාය. අසනී වැසි, කූඹියෝ, සකල ගුරු, දියණියෝ, සිරි ගරාජ්, ඉර හැංගිලා, තඹ පාට හැන්දෑව, මහ පොළව, සකර්ම, සිහින වර්ෂා, බට්ටි සහ කොළඹ ඉතාලිය‘ ඇතුළු ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසකින් ප්‍රේක්ෂක ආදරය දිනා ගත් ඇය 2000 වසරේදී ‘අසනී වැසි‘ ටෙලි නාට්‍යයේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ‘සිග්නිස්‘ සම්මානයෙන් ද පිදුම් ලැබුවාය. එමෙන්ම ජාත්‍යන්තර ටෙලි නාට්‍ය රැසක හඬකැවීම් ශිල්පිනියක ලෙසද ඇය කළ සේවය ඇයගේ කලා හැකියාවන්හි තවත් දිගුවක් ලෙස සැලකිය හැකිය.
2013 වසරේදී ‘ලේ කිරි කඳුළු‘ චිත්‍රපටයේ උපේන්ද්‍ර ගේ මව ලෙස රංගනයෙන් දායක වූ ඇය, මාතෘත්වයේ සංවේදී හැඟීම් ප්‍රේක්ෂකයා වෙත සමීප කිරීමට සමත් වූවාය. 2011 වසරේදී ‘ගාමිණී‘ චිත්‍රපටයේ ප්‍රධාන ග්‍රාම ආරක්ෂකයා ගේ මව ලෙසත්, 2016 ‘මෝටර් බයිසිකල්‘ චිත්‍රපටයේ පට්ටා ගේ අම්මා ලෙසත්, 2017 දී ‘ආලෝකෝ උදපාදී‘ හි වයෝවෘද්ධ මව ලෙසත් ඇය රංගනයට නව මානයන් එක් කළාය. එසේම ‘බන්ධනය‘ චිත්‍රපටයේ පියසීලිගේ ආච්චි ලෙසත් ‘හීන හොයන සමනල්ලු‘ චිත්‍රපටයේ තාරකාගේ ආච්චි ලෙසත් ‘වැලි පවුරු‘ චිත්‍රපටයෙහි අසරණ මවකගේ චරිතය ඔස්සේත් ඇය මනුෂ්‍ය හැඟීම්වල ගැඹුර ප්‍රේක්ෂකයා වෙත සමීප කිරීමට සමත් වූවාය. ‘ගාඩි‘ චිත්‍රපටයේ උක්කුවා ගේ මව ලෙසත්, රංගනයේ යෙදුණු ඇය සෑම චරිතයකටම අනන්‍ය වූ ජීවයක් ලබාදීමට සමත් වූවාය. මවකගේ සංවේදී හදවත, ආච්චි කෙනෙකුගේ සෙනෙහස, වියපත් කාන්තාවකගේ ජීවන අත්දැකීම් මෙන්ම සාමාන්‍ය මිනිසුන්ගේ සිනහව සහ කඳුළ සිය රංගනය තුළින් ජීවමාන කිරීමට නෙතලි සමත් වූවාය.
සිය රංගන ප්‍රතිභාවයෙන් දශක ගණනාවක් පුරා ප්‍රේක්ෂක හදවත් දිනාගත් නෙතලි නානායක්කාරගේ කලා ජීවිතය තවත් අභිමානවත් සන්ධිස්ථානයක් බවට පත් වූයේ කලාව වෙනුවෙන් කළ සේවයට ජාතියේ ගෞරවාදරය හිමි වූ අවස්ථාවක් ලෙසිනි. එමෙන්ම 2000 වසරේ දී ‘අසනි වැසි‘ ටෙලිනාට්‍යයේ විශිෂ්ට රංගන දායකත්වය වෙනුවෙන් සිග්නිස් සම්මානයෙන්ද පිදුම් ලැබූ ඇය පසු කාලීනව දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ඇගයීම් රැසකට පාත්‍ර වූවාය.
පසුගිය දා පැවැති සුමති සම්මාන උලෙළේ දී ජූරියේ විශිෂ්ට සම්මානයෙන් ඇය පිදුම් ලැබුවාය.
වයස යනු අංකයක් පමණක් බව යළි යළිත් තහවුරු කරමින් අනූ දෙවැනි වියට පා තබා සිටින ඇය සිය රංගන ප්‍රතිභාවෙන් කලා ලොව ආලෝකවත් කරන පරම්පරා ගණනාවක කලාකරුවන්ට මහඟු ආදර්ශයක් වූ අසිරිමත් චරිතයකි. ශ්‍රී ලාංකික කලා පරම්පරා අතර අසිරිමත් තෝතැන්නක් නිර්මාණය කළ ඇයගේ නාමය කලාවේ ගෞරවනීය චරිතයක්, රංගන ශිල්පිනියක් ලෙස සදා දිදුලනු ඇත.