සුන්දර සිනහව කෙනකු උපතින්ම ලබන අපූරු දායාදයකි. එම සිනහව සහ වදන් භාවිත කරමින් අනෙකා සතුටින් තැබීම ඊටත් වඩා අගනේය. තමන්ගේ වදන් සහ ක්‍රියාවෙන් අනෙකා සිනහ ගන්නා සතුටින් තැබීමට උපන් හපන් දෙදෙනකු ලෙස ජනයි ප්‍රියයි ඔබට ඉතාමත් සමීපය. ඔබේ මුව සිනාවෙන් පුරවා සතුටු සායුරේ ගිල්වන ඔවුන් ගැන කතාකරන්න පිනිපලස අපට හිතුණා.
මේ කතාබහ ආරම්භ කරමින් ජුනි දහනවය දින උදා වෙන ඔවුන්ගේ ජීවිතයේ වැදගත්ම දවස ගැන මෙලෙස පැවැසුවා.
අපි දෙන්න රඟපාන පළවෙනි චිත්‍රපටය ඒක තමයි මේක මේ මාසේ 19 වෙනිදා සිට තිරගත වෙනවා. අපි දෙන්නා ජනයි ප්‍රියයි ලෙස රඟපාන පළවෙනි චිත්‍රපටය. මීට කලින් චිත්‍රපටවල දෙදෙනා වෙන වෙනම චරිත නිරූපණය කරලා තිබෙනවා. එහෙත් ජනයි ප්‍රියයි දෙන්නම එකම චිත්‍රපටයක ඉන්න පළවෙනි අවස්ථාව තමයි මේක. ඒ නිසා මේ සිනමාපටය අපි දෙන්නටම විශේෂ වැදගත්කමක් තිබෙනවා. මෙහි අධ්‍යක්ෂවරයා සුරංග අල්විස් කළ ආරාධනාවක් අනුව අපි දෙදෙනා මේ චිත්‍රපටය සමග සම්බන්ධ වුණා. මේ සිනමාපටයේ රඟපාන්නේ අපේ රැහේ කට්ටියක්. ඒ කියන්නේ අපි වගේ යූටියුබර්ලා කට්ටිය එකතු වෙලා කරන ලස්සන වැඩක් නිසා හරිම ආසාවෙන් සතුටින් මේ සිනමාපටය සමග එකතු වෙලා වැඩ කළා.
අපි හැමෝම එකට ඉන්න වීඩියෝ එකක් මේ වනතුරු කවුරුවත් බලලා නැහැ. මේ තමයි පළමු අවස්ථාව. සමහර විට මින් මතුවට අපි සියලුදෙනාම එකට ඉන්න අවස්ථාවක් ප්‍රේක්ෂකයන්ට දකින්න නොලැබෙන්නත් පුළුවන්. ඒ නිසා මේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට වගේම අපිටත් වැදගත්. ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේම ප්‍රථම වතාවට තමයි මේ වගේ යූටියුබර්ස්ලා එකතු වෙලා චිත්‍රපටයක් කරලා තිබෙන්නේ. මට හිතෙන විදියට ආයේම මේ හත්දෙනා එකතුවෙලා සිනමා පටයක් හැදෙන එකක් නැහැ. මෙම චිත්‍රපටය ඇතුළේ සතුට විනෝදය වගේම ලස්සන කතාවකුත් තිබෙනවා. ඒ වගේම පවුලේ හැමෝටම එකට ඉඳගෙන බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් තමයි ඒක තමයි මේක කියන්නේ.
සතුට විනෝදය වගේම අර්ථවත් කතාවකින් පිරිපුන් මේ සිනමාපටයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳ ඔවුන් දෙදෙනාට තිබුණේ මෙවන් අදහසකි.
මීට කලින් ලකාල සුර දෙටුවෝ කියලා චිත්‍රපටයක් කළා. ඊට පසුව තමයි මේ චිත්‍රපටය එළියට එන්නේ. මම හිතනවා ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය ඉතාමත් සතුටින් වැලඳගනී කියලා. මොකද අපි නිතරම පේන්නේ ෆෝන් එකෙන්. ඉතිං දුරකථනයේ ඉන්නවට වඩා ලොකු තිරයක් මත අපි හැමෝම ඉන්න චිත්‍රපටය තිරගත වෙන්නේ කවදද කියලා ප්‍රේක්ෂකයන් ඇහුවා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබෙයි කියලා විශ්වාස කරනවා.
මේ චිත්‍රපටය තුළ ජනාගේ සහ ප්‍රියාගේ චරිත පිළිබඳ කතා කිරීමට ද මෙය අවස්ථාවක් කර ගත්තා. මෙම චිත්‍රපටයේ අපි දෙන්නාගේ චරිතය කියන්නෙම මෙහි කථාව තමයි. මෙහි ජනාගේ චරිතය ගැන මෙහෙම කියන්නම්. එක සිදුවීමක් සිදුවීමක් වෙනවා. ඒ කියන්නේ විදේශගත වෙනවා වගේ දෙයක්. එම කතාවේදි ජනා ප්‍රධාන චරිතය වෙනවා. ඒ වගේම ජනා පොඩි ශොට් එකක් එහෙම දාල වීඩියෝවල ඉන්න විදියක් තියෙනවා. ඒ විදියට මේ චරිතයෙත් ඉන්නවා. යාළුවකුට ප්‍රශ්නයක් ඇති වුණාම අනෙක් යාළුවෝ ඔක්කෝම එකතුවෙලා ඒ ප්‍රශ්නයෙන් ගොඩයන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ප්‍රියාගේ චරිතය වෙනස් එයා රට යන්න කැමැති නැති තනිකඩ පුද්ගලයෙක්. ඒ වගේම විවාහ වෙන්නත් ඔහු කැමැති නැහැ. විවාහ වුණාම වියදම දෙගුණ වෙනවා කියලා නිතරම කියනවා. මේ චිත්‍රපටය පුරාම ප්‍රියා කියනවා මට පවුල් වෙන්න බැහැ. එහෙම වුණාම වියදම දෙගුණයක් වෙනවා කියලා. චරිත දෙක අපි දෙන්නා අතරේ බෙදිලා යන්නේ එහෙමයි.
සමාජ මාධ්‍ය තුළින් හාස්‍ය ගැන කතා කිරීමට පටන් ගන්නේ මෑතකාලීනව වුවත් එම පැමිණීම ප්‍රේක්ෂකයන් වැලඳගත් ආකාරය සහ එහි සාර්ථකත්වය පිළිබඳව ඔවුන් දෙදෙනාට තිබුණේ මෙවන් අදහසක්.
අපේ කණ්ඩයම සමාජ මාධ්‍ය තුළට හාස්‍ය රසය ගෙනැල්ලා දැන් අවුරුදු දහයක් වෙනවා. අපි දෙන්නා විතරක් නොවෙයි අපේ චිත්‍රපටයයේ ඉන්න ලෝචි, සිරිල් අයියා, රැට්ටා, ලකයි සිකයි මේ හැමෝම. ආව ගමන සාර්ථකයි. සමාජ මාධ්‍ය ගැන මිනිස්සු දැනුවත් වෙන්න පටන් ගත්ත අවස්ථාවේදීම සමාජ මාධ්‍යයට එන්න පුළුවන් වුණා. මේ වෙද්දි බොහෝදෙනා සමාජ මාධ්‍ය ගැන දැනුවත් කරන්න පුළුවන් දේ දන්නවා. ඒත් අද මේ වගේ කණ්ඩායම් හැදෙනවා අඩුයි. අපි දෙන්නා මේ ක්ෂේත්‍රයට ආව කාලෙදිම ගප්පියා, වස්තියා කොමඩි තරිත තිබුණා. අපි දෙන්නටත් මේ මුල් පුරුක් අතරට එන්න හැකිවීම මේ ගමන සාර්ථකව ඉදිරියට යන්න හේතුවක් වුණා. සමාජ මාධ්‍ය ගැන මිනිස්සූ දැන ගත්ත මුල් කාලෙදිම මිනිස්සු අපි හඳුනා ගත්තා. ඒ නිසාම තමයි අපි මේ තරම් කාලයක් සාර්ථකව මේ ක්ෂේත්‍රයේ රැඳිලා ඉන්නේ සහ කණ්ඩායමක් ලෙස සමාජ මාධ්‍ය තුළ රැඳිලා ඉන්නේ. මුල් කාලයේදී අපිව හඳුනා ගත් ප්‍රේක්ෂකයන් අද වෙනකම් අපිව අතහැරලත් නැහැ. ඒ තමයි අපි දෙන්නගේ සාර්ථකත්වය.
මේ ආ ගමන් මග ගැන කියන්න දෙදෙනාටම ඇත්තේ එකම කතාවක්. ඒ තරමට දෙදෙනාගේ අදහස් සමාන බව කිව යුතුමයි.
මේ ආ ගමන් මගෙහි අමතක නොවන සිදුවීම් අතර අපි දෙදෙනාගේ හමුවීමෙත් වෙනසක් තිබෙනවා. අද කාලේ දෙන්නෙක් මුණගැහෙන්නේ අපි මේ වැඩේ කරමු කියලයි. නමුත් අපි දෙන්නා හමුවෙන්නේ කොමඩි චැනල් එකක් කරන්න හිතාගෙන නොවෙයි. මුලින්ම අපි හමුවෙන්නේ වෙළෙඳ දැන්වීම්වලදි. එතනදි අපි අතර යාළුකමක් ඇතිවෙනවා. මම රැකියාව ලෙස කළේ විඩියෝ එඩිටින්. මම ස්වාධීන රූපවාහිනි සහ සිරස රූපවාහිනි නාළිකාවල වැඩ කරලා තිබෙනවා. ප්‍රියා ඒ වෙනකොට සුදත් රෝහණ ස්වයංජාත, ගිරිකුළ, මුතුකිරිල්ලී, අමන්දා වගේ ටෙලිනාට්‍යයවල සහාය අධ්‍යක්ෂවරයා ලෙස හිටියා. එළියට ගිය වෙලාවට පොඩි පොඩි වීඩියෝ කරලා යූටියුබ් දැම්මා. ඒ සඳහා අපේ රැකියාවේ පළපුරුද්ද ගොඩාක්ම උපකාරී වුණා. හැකියාවට රැකියාවත් එකතු කරගෙන අපි දෙන්නා මේ වෙනකොට ලොකු දුරක් ඇවිත් තියෙනවා. ඒ ගැන නිහතමානී ආඩම්බරයක් වගේම ලොකු සතුටක් හිතේ තිබෙනවා.
ඕනම රැකියාවක් තුළ දුක වගේම සතුටත් තිබෙනවා. මේ රැකියාව තුළ අපි මොනතරම් වේදනාවක හිටියත් අපෙන් මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ සතුටම විතරයි ඒකට හේතුව අපි දෙන්නා මිනිස්සු අතර සතුටින් ඉන්න දෙන්නෙක් විදියට ප්‍රසිද්ධ වෙලා. අපි කතා නොකර හිටියොත් ඔරවගෙන හිටියොත් ප්‍රේක්ෂකයා හිතන්නේ මේ ජනයි ප්‍රියයි නොවෙයි කියල. ඒ නිසාම අපේ හිතට දැනෙන දුක අනෙක් අය වෙනුවෙන් සඟවගෙන ඉන්න මේ වෙනකොට අපි පුරුදු වෙලා.
අද වන විට අපි අපගේම කාර්යාලයක් පවත්වාගෙන යනවා. කාර්ය මණ්ඩලයක් ඉන්නවා. කණ්ඩායමක් විදිහටත් අපි ශක්තිමත්ව කටයුතු කරනවා. ඒ ගැන දැනෙන සතුට වචනවලින් කියන්න බැහැ.
අපි දෙන්නගෙම ජීවිතේ අමතක නොවෙන සිදුවීම් තියෙනවා. මෙහිදී ජනා විදියට මට අවස්ථාව ලැබෙනවා ගිරිරාජ් කෞෂල්‍ය මහතාගේ කතුරු මිතුරු චිත්‍රපටයේ රඟපාන්න. ඒ අවස්ථාව ලබෙන්නේ මගේ උස නිසාමයි. ඒ අවස්ථාව මට ලබා දුන්නට ගිරිරාජ් අයියට ගොඩාක් ස්තූතියි. ඔහු ඒ අවස්ථාව මට ලබා දුන්න නිස ජයලත් මනෝරත්නයන් සමග රඟපාන්න මට පුළුවන් වුණා. ඒ අවස්ථාව මගේ ජීවීතේට ලැබුණු ලොකු වාසනාවක්. ජයලත් මනෝරත්නයන් සමග කළ ඒ රංගනය ජීවිතේ කිසි දවසක අමතක නොවන බව ජනා පැවසුවා.
මහින්ද ප්‍රසාද් මසිඹුල මහතාගේ මැයි මාර ප්‍රසංගය චිත්‍රපටයේ රඟපාන්න ලැබුණු අවස්ථාවද එවැනිම වැදගත්කමක් ජිවීතයට එක් කළ බව ප්‍රියා පවසනවා. ප්‍රියා මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහතාගේ ගෝලයෙක් වන අතර ගුරුවරයාගේ චිත්‍රපටයේ චරිතයක් කරන්න අවස්ථාවක් ලැබීම ප්‍රියාගේ ජීවිතයේ අමතක නොවෙන මතක බවට පත් වී තිබෙනවා.
මේ වන විට තමාගේම සිනමාපටයක් කිරීමේ සිහින දකින ඔවුන් දෙදෙනා ඒ සඳහා මූලික අත්තිවාරම සකස් කොට අවසන්ය. චිත්‍රපටයක සියයට පනහක්ම පිටපත නිසා මේ වනවිට පිටපත ලියමින් සිටිනවා. 2027 වසරේ අග හෝ 2028 වසරේ මුල මෙම සිනමාපටයේ වැඩ අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ඔවුන් දෙදෙනා මේ වසරේ සැප්තැම්බර් මාසයේ කැනඩාවේ පවත්වන ප්‍රසංගයකට සහභාගි වන බවද පැවැසුවා.
මේ හැකියාව තමන් වෙත දෙවියන්ගෙන් ලැබුණු ත්‍යාගයක් බවත් එම නිසා තවත් කෙනකුගේ මුවට සිනහවක් එක් කිරීම තමා වෙත පැවරුණු රාජකාරියක් නොව වගකීමක් යැයි කතාබහ අවසානයේ ඔවුන් දෙදෙනා පැවැසුවා.