දිනූපා කෝදාගොඩ කියන්නේ රංගනයට, ගායනයට වගේම නර්තනයට අති දක්ෂ කලාකාරිණියක්. කුඩා කාලයේ පටන් කලාවත් සමගම ජීවත වන ඇය කලාව ගැන ඉගන ගනිමින් ඉදිරියට ගමන් කරන අපූරු චරිතයක්. මේ දිනවල තිරගත වන චන්දරේගේ වයිෆ් චිත්‍රපටයෙන් ඇයව අප කාටත් දැකගන්න පුළුවන්. ඇය වඩාත්ම කැමති චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න කියලා තමයි අපිත් එක්ක නම් කිව්වේ. ලංකාව වගේ රටක වෘත්තීමය රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙනවා කියන එකම හැම අතින්ම අභියෝගයක් කියලත් දිනූපා කියනවා. කොහොම වුණත් දිනූපා කියන්නේ දවසින් දවස ඉදිරියට යන හරිම යුනික් චරිතයක් කියලයි අපිට නම් හිතෙන්නේ.
ඔබ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක් වඩා කැමති කොහොම හඳුන්වනවටද?
මම කැමතියි ප්‍රාසාංගික කලා ශිල්පිනියක් කියලා හඳුන්වනවාට.කලාව ගැන ආසාවක් ඇති වෙන්නේ කොහොමද සහ කලාවට යොමු වෙන්නේ කොහොමද?මට කුඩා කාලෙ ඉඳලාම කලාව ගැන ලොකු උනන්දුවක්, ආසාවක් තිබුණා. මම හිතන්නේ ඒකට මගේ පවුල් පසුබිම ගොඩාක් බලපෑවා. විශේෂයෙන්ම මගේ අම්මා කලාවට ඉතාම ඇලුම් කරන කෙනෙක්. ඒ නිසාම මම කුඩා කාලෙදිම මගේ ගායන සහ නර්තන හැකියාවන් ඇය හඳුනගත්තා. අම්මා තමයි මාව ඒ විෂයන් වැඩිදුර ඉගෙන ගන්න, පුහුණු වෙන්න යොමු කළේ. එයා මාව පෙර පාසල් යවන්නත් කලින් නන්දා මාලනී මිස්ගෙ සංගීත ආශ්‍රමයට ඇතුලත් කළා.
හැබැයි ඒ වෙද්දි මට ගායන හැකියාවක් තියනවා කියලා අම්මා දැනගෙන හිටියේ නෑ. නන්දා මිස් තමයි මුලින්ම මට ගායන හැකියාවක් තියනවා කියලා හඳුනගෙන ඒ බව අම්මාටත් කියන්නේ. නන්දා මිස් මගේ ජීවිතේ මුණගැහුණු සුවිශේෂීම පුද්ගලයෙක්. ටිකිරි පැදුර කියලා ළමා වැඩසටහනක් පටන්ගන්න ජැක්සන් ඇන්තනී මාමා නන්දා මිස්ගෙන් කලායතනයේ ඉන්න දක්ෂ දරුවන් ඔඩිෂන් එකකට එවන්න කියලා ඉල්ලුවහම එතුමිය මාත් ඇතුලුව තවත් ළමයි කිහිපදෙනෙක්ව ඒ ඔඩිෂන් එකට යොමු කළා.
ඒතනින් ජැක්සන් මාමා මාවත් ටිකිරි පැදුරට තෝරා ගත්තා. පසුකාලීනව ඒ වැඩසටහනේ නම “හපන් පැදුර” කියලා වෙනස් කළා. හපන් පැදුර වැඩසටහන තුළින් තමයි මම වෘත්තීමය ළමා ගායිකාවක් විදිහට ජනප්‍රිය වෙන්නේ. හැබැයි හපන් පැදුරට සම්බන්ධ වෙන්න කලින් මම රෝහණ වීරසිංහයන් සංගීත අධ්‍යක්ෂණය කළ “මහදැනමුත්තයි ගෝලයො රොත්තයි” කාටූන් චිත්‍රපටය, සත්පුරවැසියෝ ටෙලිනාට්‍ය සහ වෙළඳ දැන්වීම් කිහිපයකට පසුබිම් ගායනයෙන් දායක වෙලත් තිබුණා. ඉතින් ඒ විදිහට තමයි මම කලා ක්ෂේත්‍රයට එන්නේ.
ඔබේ පවුලේ විස්තර මොනවද?
මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, අක්කයි, අයියයි, මමයි. මම විවාහකයි. මගේ ජීවන සහකරුවා ”නදික වැලිගොඩපොල” ඔහුත් කලා ශිල්පියෙක්.ළමා කාලය ගැන කතා කළොත්හරිම විචිත්‍රවත් ළමා කාලයක් මට තිබුණා. අභියෝගත් නොතිබුණා නෙවෙයි. මම සංගීතය සහ නර්නනය පැත්තෙන් ළමා කාලෙදිම දක්ෂතා පෙන්නුවා. කුඩා කාලයේ සිටම කලාව මගේ ජීවිතේට හොඳ විදිහට බලපෑවා කියලා මට හිතෙනවා. පාසල් වේදිකාව ඒකට හොඳ තෝතැන්නක් වුණා. පාසලේ දී සෞන්දර්ය විෂය විදිහට හැදෑරුවේ නර්තනය. බාහිරව තමයි සංගීතය හැදෑරුවේ. පාසලේ අධ්‍යාපන කටයුතුවලට අමතරව නර්තන කණ්ඩායම නියෝජනය කළා, පෙරදිග තූර්යවාදක කණ්ඩායම නියෝජනය කළා, සමස්ථ ලංකා වගේම අන්තර් පාඨශාලයීය නර්තන, ගායන තරඟ වලට ඉදිරිපත් වුණා, ජයග්‍රහණ ලැබුවා. මම අට වසරේදි තමයි හපන් පැදුරට සම්බන්ධ වෙන්නේ. ඒත් එක්ක හරිම සුවිශේෂී අත්දැකීම් ගොඩක් ජීවිතේට එකතු වුණා. මට තිබුණේ ඉතාම කාර්යබහුල, සුන්දර, අභියෝගාත්මක ළමා කාලයක්.
ඔබේ පාසල සහ අධ්‍යාපන කටයුතු ගැන කතා කළොත් ?
මම එකවසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවේ නුගේගොඩ සාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයෙන්. ඊට පස්සේ කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය ලබා ගත්තා. අධ්‍යාපන ගමන ඉවර වෙන්නේ නෑනේ. ජීවිත කාලෙම ඉගෙන ගන්නවා.සිනමාවට ආරාධනා ලැබෙන්නේ කොහොමද?මට මුල්ම සිනමා රංගන අත්දැකීම ලැබුණේ ධර්මසේන පතිරාජයන්ගේ “සක්කාරං” චිත්‍රපටයෙන්. මම එහි සුළු චරිතයක් නිරෑපණය කළා. හැබැයි ඒ කාලෙ මට රංගනය ගැන කිසිම ආසාවක් හෝ උනන්දුවක් තිබුණේ නෑ. එහෙම බලනකොට වෘත්තීමය රංගන ශිල්පිනියක් ලෙස මම රංගනයෙන් දායක වුණු මුල්ම සිනමා නිර්මාණය ප්‍රසන්න ජයකොඩි මහත්මයා අධ්‍යක්ෂණය කළ “චන්දරේගෙ Wife” චිත්‍රපටය. 2022 වසරේ තමයි මට මුලින්ම ප්‍රසන්න අයියාව මුණගැහෙන්නේ. ඒ වෙලාවේ ඔහු මගේ ගායන හැකියාව අගය කළා මට මතකයි. ඊට පස්සෙ චිත්‍රරපට මුහුරත් උළෙලකදී නැවතත් ඔහු හමුවුණා. 2023 වසර අවසානයේ ප්‍රසන්න අයියා මට කතා කරලා ඔහුගේ අලුත් චිත්‍රපටයේ චරිතයකට ආරාධනා කළා. එහෙම තමයි “චන්දරේගෙ Wife” සිනමා නිර්මාණයට ආරාධනා ලැබුණේ.
මේ වෙනකොට ඔබ දායක වී ඇති නිර්මාණ මොනවද?
රංගන ශිල්පිනියක් විදිහට දායක වන මගේ මුල්ම නිර්මාණය දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ “තුරුලිය දරුවෝ” කියන ඒකාංගික ටෙලි නාට්‍යයි. එතකොට මට අවුරුදු 13 යි. වෘත්තීමය රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන්න ගත්තාට පස්සේ සුජීව ප්‍රියාල් අධ්‍යක්ෂණය කළ “සෙනෙහෙබර ධනුද්දර”, අකිල සපුමල් අධ්‍යක්ෂණය කළ “ගිරිකූඨ කාශ්‍යප” සහ “ගුත්තිල කාව්‍යය”, අනසූයා සුබසිංහ අධ්‍යක්ෂණය කළ “නොමළ කෝලම් – My Sweet Rotten Heritance” සහ ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ “ට්‍රොජන් කාන්තාවෝ” කියන වේදිකා නාට්‍යය වලට දායක වුණා. ඒ අතරින් “ගිරිකූඨ කාශ්‍යප” වේදිකා නාට්‍යයේ කාශ්‍යප දේවියගේ චරිතය වෙනුවෙන් 2017 වසරේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළිය සම්මානය මට හිමිවුණා. ටෙලි නිර්මාණ ගැන කතා කළොත් ආනන්දඅබේනායකයන් අධ්‍යක්ෂණය කළ “වීරයා ගෙදර ඇවිත්”, “පිතෘ”, “කිරි සුවඳ” සහ “මල් අම්මාවරු” යන ටෙලි නාට්‍යයවලට දායක වුණා. ඒ අතරිනුත් “වීරයා ගෙදර ඇවිත්” ටෙලි නාට්‍යයේ විශාකාගේ චරිතය වෙනුවෙන් රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙලේ දී සහ රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී හොඳම සහාය නිළිය සම්මානය හිමිවුණා. ඒ වගේම තරුණ අධ්‍යක්ෂකවරු කිහිපදෙනෙකුගේ කෙටි චිත්‍රපට කිහිපයකටත් දායක වෙලා තියනවා.
ඊට අමතරව කුවේණි, විරාමයේ සහ කන්‍යාවී යන සංගීත රූපරචනයන්ටත් රංගනයෙන් දායක වුණා. ගායන ශිල්පිනියක් විදිහට පසුබිම් ගායනයෙන් චිත්‍රපට කිහිපයකට මේ වෙනකොට මම දායක වෙලා තියෙනවා. ඒ අතරින් “මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි”, “අබා” සහ “ වෙඩි නොවදින ළමයි” යන චිත්‍රපට තිරගත වුණා. “එක ගෙයි සොකරි”, “Hello” සහ ආනන්ද අබේනායකයන් අධ්‍යක්ෂණය කළ පළමු චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. මීට අමතරව “හඳහාමී, දෝන කතිරිනා” යන ළමා ගීත වගේම “කුවේණි, මහජනතාවෝ, රන් හුයේ, ප්‍රේමණීය සුසුම, මේ පාරාදීසයේ, ප්‍රේමයක් නම්, විහඟුන්ය අපි” වගේ ගීත නිර්මාණත් තියෙනවා.රංගන ශිල්පිනියක් ලෙස ඉදිරියේ මොනවගේ චරිත ලැබෙනවා නම්ද කැමති ?මම වඩාත්ම කැමති චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න. ඒ නිසා පුළුල් පරාසයක් ඇතුලේ, විවිධත්වයක් ඇතුලේ මාවම අභියෝගයට ලක්කරගන්න පුළුවන් විදිහේ චරිත ලැබෙනවා නම් සතුටින් බාරගන්නවා. සියුම් මනුෂ්‍ය හැඟීම් නිරූපණය කරන්න පුළුවන් අවස්ථා ලැබෙනවා නම් ඉතාම කැමතියි.රංගන ජීවිතයේ අභියෝග මොනවද?රංගනයෙදී අලුත් නිර්මාණයක්, අලුත් චරිතයක්, අලුත් පිරිසක් එක්ක වැඩ කරන්න ලැබෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම අභියෝගයක්. මට දැනෙන විදිහට රංගනය කියන්නෙම තමන්ටම අභියෝග කරගන්න ලැබෙන අවස්ථාවක්. හැබැයි ඒ හැමදේටම වඩා ලංකාව වගේ රටක වෘත්තීමය රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වෙනවා කියන එකම හැම අතින්ම අභියෝගයක්.අනාගත බලාපොරොත්තු මොනවද?නිර්මාණකරණය පැත්තෙන්, කලාව පැත්තෙන් බලාපොරොත්තු හුඟක් තියනවා. ඒවා ඉදිරියේදී ඔයාලාට දකින්න, අහන්න, රසවිඳින්න ලැබෙයි. ඊට අමතරව මගේ ජීවිතේ වැදගත්ම අරමුණ මනුෂ්‍යයෙක් විදිහට වගේම කලා ශිල්පිනියක් විදිහට දවසින් දවස ධනාත්මකව හැම අතින්ම දියුණු වෙන එක තමයි. ඒ වගේම මට පුළුවන් හැම විදිහකටම සමාජයට යහපත් බලපෑමක් කරන්න උත්සාහ කරනවා.රසාංජලී වාසල