රංගනයෙන් සමුගන්න කාලය ඇවිත්-ධනංජය සිරිවර්ධන

gossiplanka image 2
 



ධනංජය සිරිවර්ධන වසර ගණනාවක ඉඳලා පුංචි තිරයේ සහ රිදී තිරයේ රඟපාන නළුවෙක් විදිහට ප්‍රසිද්ධයි. මේ වනවිට රංගන ක්ෂේත්‍රයෙන් සමුගැනීමේ තීරණාත්මක අදහසින් ඉන්නවා කියලා ධනංජය ප්‍රසිද්ධ කරලා තියෙනවා. ධනංජය වැනි නළුවෙක් අහිමි වීම කලාවකට දැරිය නොහැකි පාඩුවක්. මේ නිසාම මේ කරුණ සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීමට ධනංජය සිරිවර්ධනට ආරාධනා කළා.






මේ වෙද්දි මම තීරණාත්මක අවස්ථාවක ඉන්නෙ. මට ටෙලිනාට්‍යවලින් ආරාධනා ආවට හැම ආරාධනාවක්ම බාරගන්නෙ නැතුව මගේ රංගන හැකියාවට වටිනාකමක් ලැබෙන චරිත විතරයි බාරඅරගෙන රඟපාන්නෙ. පහුගිය වසරේදි විකාශය වුණු ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යයේ බණ්ඩාරගේ චරිතය මගේ රංගන හැකියාවට ලොකු වටිනාකමක් දීපු චරිතයක්. එක ගැහැනියක් මත්තෙම ඉඳලා ජීවිතය නැති නාස්ති කරගෙන සල්ලාලකමින් මංමුලා වෙලා අවසානයේ කාත්කවුරුත් නැතුව මහමග මිය ගිය පරාජිත දුශ්ඨයකුගේ චරිතයකුයි මම ඉරගිනි මද්දහන ටෙලිනාට්‍යයේ බණ්ඩාර තුළින් ඉදිරිපත් කෙරුවෙ.




 ඉරගිනි මද්දහනෙ අනිත් ප්‍රධාන චරිත පවා දෝලනය වුණේ මම රඟදක්වපු බණ්ඩාරගේ චරිතයෙන්. බණ්ඩාරගේ චරිතය ⁣සියුම් විදිහට අධ්‍යයනය කරලා චරිතයේ අභ්‍යන්තර හැඟීම් සහ බාහිර අභින ජනිතවන විදිහට උපරිම සාධාරණ රංගනයක් මම කළා. ඉරගිනි මද්දහන අවසාන වෙලා අදට මාස නවයක් ගෙවිලා ගියත් බණ්ඩාරගේ චරිතය වෙනුවෙන් මම කරපු රංගනය ගැන ඇගයීමට ලක්කරලා ප්‍රේක්ෂකයො තවමත් විචාර ලියනවා. 




බණ්ඩාරගේ චරිතයෙදි කරපු ප්‍රබල රංගනය වෙනුවෙන් සම්මානයක් හිමිවෙයි කියලා මම බලාපොරොත්තු වුණා. නමුත් සාධාරණ විදිහට සම්මාන ලබාදෙනවා කියලා පිළිගන්න සම්මාන උළෙලකින්වත් බණ්ඩාරගේ චරිතය වෙනුවෙන් කරපු රංගනයට සම්මාන සඳහා මාව නිර්දේශ කළේ නැහැ⁣. සමහර අය හිතන්න පුළුවන් සම්මානවලට කෑදරකමින් මම මේ විදිහට සම්මාන බලාපොරොත්තුවෙනවා කියලා. නමුත් රංගන ක්ෂේත්‍රයට ආපු දවසෙ ඉඳලා ම⁣ට සම්මාන ලැබුණා. 2004 වසරේ මම ඉස්සෙල්ලම රඟපාපු මේ පාරෙන් එන්න ටෙලිනාට්‍යයේ කරපු රංගනය වෙනුවෙන් රයිගම් ටෙලි සම්මාන 2004 උළෙලේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. 


සුමති සම්මාන 2010 උළෙලේ කුසලතා සම්මානයෙනුත් ජූරියේ විශේෂ සම්මානයෙනුත් පිදුම් ලැබුවා. සුමති සම්මාන 2012 උළෙලේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානයත් රයිගම් ටෙලි සම්මාන 2022 උළෙලේ ජූරියේ විශේෂ සම්මානයෙනුත් පිදුම් ලැබුවා. රංගන ජීවිතයේදි මට ඕනෑතරම් සම්මාන ලැබිලා තියන නිසා සම්මාන අහේනියක්වත් සම්මාන ගැන විශේෂ ආසාවකුත් මට නැහැ⁣. බණ්ඩාරගේ චරිතයෙදි මම දරපු මහන්සිය සහ කැපවීම වෙනුවෙන් සාධාරණ ඇගයීමකුයි මම මේ අවස්ථාවෙදි බලාපොරොත්තු වෙන්නෙ.




සම්මානනීය නළුවෙක් කියලා මිනිස්සුන්ට පේන්න සම්මාන ගන්න ඕනෙ නම් මාසකෙට සැරයක් තියන සම්මාන උළෙලකින් සම්මානයක් අරගෙන ප්‍රදර්ශනය කරන්න මට පුළුවන්. පහුගිය කාලෙ එවැනි සම්මාන උළෙලකින් සම්මානයක් සඳහා මාව නිර්දේශ කරලා තිබුණත් මම සම්මාන උළෙලේ සංවිධායකයන්ට කතා කරලා මගේ නම ඉවත් කරගත්තා. රටේ පිළිගැනීමක් තියන, හැමෝටම සාධාරණ විදිහට සම්මාන ලබාදෙනවා කියන සම්මාන උළෙලකින් මගේ රංගන හැකියාව තේරුම් ගනියි කියලා මම බලාපොරොත්තු වුණා. නමුත් නළු නිළියන්ගේ රංගන හැකියාව සංවිඥාණිකව තේරුම් ගන්න බැරි ජූරියක් එවැනි සම්මාන උළෙලවල්වල සිටීම ගැන මට කනගාටුයි.


මම රංගනය වෙනුවෙන් කැපකිරීම් කරපු සහ කැපකිරීම් කරන්න සූදානමින් ඉන්න නළුවෙක්.




පහුගිය වසරේ රිදී තිරයේ තිරගත වුණ mother lanka චිත්‍රපටය වෙනුවෙන් මම තුළ ඉන්න පිරිමියව අමතක කරලා trans woman කෙනෙක් විදිහ⁣ට රඟපෑවා. trans woman කෙනෙක් විදිහ⁣ට රඟපෑමේදි ප්‍රේක්ෂකයො මොනවිදිහෙ ප්‍රතිචාර ලබාදෙයිද කියලවත් මම හිතන්නෙ නැතුව චරිතය වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබාදුන්නා. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කරපු ගෞතම බුද්ධ මාතා චිත්‍රපටයේ භික්ෂුවකගේ චරිතය වෙනුවෙන් මම ඇත්තටම හිස මුඩු කරලා සියයට සීයක් චරිතය වෙනුවෙන් කැපවුණා. රංගනය වෙනුවෙන් කොච්චර කැප වුණත්, කැපවෙන්න ලෑස්ති වුණත් මට ඊට සරිලන සාධාරණයක් වෙලා තියනවද කියලා ප්‍රශ්නයක්.




අද ඕන කෙනෙක්ට රංගන ක්ෂේත්‍රයට එන්න සමාජ මාධ්‍ය හරහා අවස්ථාව තිබුණට මම රංගන ක්ෂේත්‍රයට ආවෙ සමාජ මාධ්‍යවත් නැති 2004 කාලවකවානුවෙ. රංගනය ගැන හදාරාලා පුළුල් රංගපරාසයක් ගොඩනගාගෙනයි නළුවෙක් විදිහට මම සාර්ථක වුණේ. මේ වෙද්දි මම රංගන ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු 22 ක්. මේ අවුරුදු 22 ට රඟපාපු කිසිම නිෂ්පාදන කණ්ඩායමක් එක්කවත් මම ප්‍රශ්න ඇතිකරගෙන රංගන ක්ෂේත්‍රයට අගෞරවයක් කළේ නැහැ⁣. මේ හැම දේකටම මාත් එක්ක වැඩ කරපු පුද්ගලයො සාක්ෂි දරනවා.




කොච්චර දක්ෂ විදිහට කැපවීමෙන් රඟපෑවත් එක පිරිසකට විතරක් සම්මාන දෙන කල්ලිවාදයක් ලංකාවෙ කලා ක්ෂේත්‍රය තුළ මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. වෘත්තීමය නළු නිළියො විදිහට අපේ රංගනයට සාධාරණ ඇගැයීමක් ලැබෙනවට අපි කවුරුත් කැමැතියි. නමුත් එක කල්ලියක් සියල්ල කලේ තමන් විතරයි කියලා හගවමින් සම්මාන ලබාගෙන අනිත් ශිල්පීන්ව අසාධාරණයට ලක්කරණ තත්වයක් මේ වෙද්දි ලංකාවෙ කලා ක්ෂේත්‍රය තුළ තියනවා. මේ තත්ත්වය තුළ අනිත් නළු නිළියන්ට රංගන ක්ෂේත්‍රයේ රැඳී ඉන්න තියන තෘප්තිය අහිමිවෙලා ක්ෂේත්‍රයෙන් ඈත් වෙන්න සිදුවෙලා තියනවා.




කොහොම වුණත් ඉරගිණි මද්දහනේ බණ්ඩාරගේ චරිතය මගේ රංගන ජීවිතය තුළ දුෂ්ඨ චරිතයක් වෙනුවෙන් මම ලබපු ඉහළම ජනතා ප්‍රසාදය විදිහට හඳුන්වන්න පුළුවන්. ඉරගිනි මද්දහනෙ බණ්ඩාරගේ චරිතයට සමගාමීව mother lanka චිත්‍රපටයේ සත්‍යාගේ චරිතයත් රංගන ජීවිතය තුළ ලබපු විශාලම ප්‍රේක්ෂක ඇගයීම විදිහට සඳහන් කරන්න පුළුවන්. පිරිමියකු හා ගැහැනියක (trans woman) ලෙස අන්ත දෙකක් එකම කාලයේ රංගන ශිල්පියකු තෝරා ගැනීම කොච්චර අවදානමක්ද කියලා රංගනය ගැන අල්ප මාත්‍රයක හෝ දැනුමක් තියෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. මේ චරිත දෙකම රඟපාන්න ⁣තෝරාගැනීම ගැන කිසිම පසුතැවීමක් මට නැහැ⁣. නමුත් ඒ වෙනුවෙන් මම ඉදිරිපත් කරපු රංගනය සඳහා කිසිම සම්මාන උළෙලක කිසිම නිර්දේශයක් නොලැබීමත්, පසුගිය වසරේ ජනගත නළුවන් අතරේ නොසිටීමත් නිසා රංගනයෙන් සමුගත යුතු කාලය ඇවිත් කියලා මට දැනෙනවා. සම්මානම නෙවෙයි පවතින්න කාරණාව. ඒත් ජන ගත නොවීම එක්තරා කාරණාවක්. ඒ නිසා ඇත්තටම මේක තීරණාත්මක අවස්ථාවක්. 

gossiplanka image 1
Previous Post Next Post