දශක දෙකකට අධික කාලයක් පුංචි තිරය හැඩ කළ ඇය රඟපෑ බොහෝ චරිත නිසාම ඉහළ ජනප්‍රියත්වයක් ලබා සිටියාය.
2012 වර්ෂයේ රාජ්‍ය ටෙලි සම්මාන උළෙලේ හොඳම රංගනය සඳහා වූ ජූරියේ විශේෂ සම්මානයෙන් ද ඇය පිදුම් ලැබුවේ ඒ රංගන ප්‍රතිභාව නිසාමය.
වසර දෙකකට අධික කාලයක් රංගනයෙන් ඉවත්ව සිටි ඇය, වර්තමානයේ සුදුසු නිර්මාණයක් ලැබුණහොත් නැවත රංගනයට එක්වීමට අපේක්ෂාවෙන් සිටී. මේ හිරු ගොසිප් ඇය සමඟ කළ කතා බහයි.
ආයුබෝවන් ඉරේෂා.. කොහොමද ඉතින්.. ජීවිතේ?
වරදක් නෑ හොඳින් ඉන්නවා. අපේ පවුලට අලුතෙන් ආ චූටි සුරංගනාවි එක්ක සතුටින් ඉන්නවා.
ඉතින් කොහොමද චූටි දූ ගේ අලුත් විස්තර ටිකක් කියමුකෝ..
ශෙයොන්ෂි චූටි දූ ගේ දැන් වයස අවුරුදු 2 යි මාස 03 ක් වෙනවා. දැන් ඉතින් හරි හුරතල් වයසෙනේ ඉන්නේ. ඉතින් එයා එක්කම දවස ගත වෙනවා.
මා දන්නා තරමට ඔබ රංගනයෙන් ඉවත් වුණේ චූටි දූ නිසා නේද?
ඔව්. මොකද ඉපදුනු දවසේ ඉඳන්ම එයාගේ වැඩ ඔක්කොම මම තනියෙන් මයි කරන්නේ. ඉතින් මුළු කාලයම එයා වෙනුවෙන් කැප කරන්න ඕනි නිසා මම තාවකාලිකව ක්ෂේත්‍රයෙන් ඉවත් උනා. අනිත් එක මට පුතාලා දෙන්නෙක් නේ ඉන්නේ. ඇත්තටම මම දුවෙක්ටත් ගොඩාක් ආසාවෙන් හිටියේ. ඉතින් ඒ දේ මට ලැබුණා. ඒ නිසා මගේ දුව වෙනුවෙන් රංගනය වගේම, මගේ ජීවිතයේ නිදහස, විනෝදය වගේ ගොඩාක් දේවල් මම කැප කළා.
ඔබ දිගු විරාමයකින් පසු නැවතත් රංගනයට පිවිසීමේ සූදානමක් පවතිනවා කියලා ආරංචියක් ආවා.. ඒක ඇත්තක් ද?
ඔව්. ඒක ඇත්ත. පසුගිය කාලය පුරාවටත් විවිධ ආරාධනාවන් ලැබුණා. නමුත් මම චූටි දුව වෙනුවෙන් ඒ කාලය වෙන් කරලා තිබුණ නිසා ඒ කිසි දෙයක් භාර ගත්තේ නෑ. නමුත් දැන් දුවට අවුරුදු 2 ට වැඩි නිසා වෙන කෙනෙක්ට උනත් දැන් එයාව බලා ගන්න පුළුවන්. ඉතින් මම හිතුවා නැවත රංගනයට එක් වෙන්න.
ඒ කියන්නේ ඔබ මේ වන විටත් අලුත් ටෙලි නිර්මාණ භාර ගෙන තිබෙනවාද?
ඇත්තටම නෑ. තවම අපේ ක්ෂේත්‍රයේ කවුරුත් දන්නෙත් නෑ මම නැවතත් රංගනයට එකතු වෙන්න අදහස් කරන බව. මම මේ හිරු ගොසිප් එකට තමයි ඒක මුලින්ම කිව්වේ. ඉතින් ඉදිරියට ලැබෙන නිර්මාණ අනුව තෝරා බලා මට සුදුසු නම් මම භාර ගන්නවා.
ඔබ තෝරා බලලා සුදුසු නම් භාර ගන්නවා කිව්වේ.. ඔබට ලැබෙන ඕනෑම චරිතයක් භාර ගන්නේ නෑ කියන එකද?
ඔව්. මම මේක නිතර මාධ්‍යයට කියන දෙයක්. මම ලැබෙන හැම චරිතයම භාර ගන්නේ නෑ. මම අතීතයෙත් ප්‍රතික්ෂේප කරපු අවස්ථා ඕනෑ තරම් තිබුණා. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි ඒක මම ක්ෂේත්‍රයට ආපු දවසේ ඉඳන්ම කරපු දෙයක්. මට ලැබෙන චරිතයේ ස්වභාවය, කතා සාරාංශය වගේ දේවල් හොඳින් අධ්‍යනය කර බලනවා. රංගන ශිල්පියෙක් උනාම භාර ගන්නා සෑම චරිතයකටම සාධාරණයක් කරන්න ඕනි. අපි රඟපාන චරිතය ප්‍රේක්ෂකයා වැළඳ ගන්නේ එතකොටයි. මම මෙච්චර කාලයක් ලැබුණු හැම චරිතයකටම උපරිම සාධාරණයක් කළා කියලා මම විශ්වාස කරනවා.
ඔබ කියන්නේ නුසුදුසු නිර්මාණත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තියෙනවා කියලද?
නෑ. මම නුසුදුසුයි කිව්වේ මගේ තේරීම අනුව. කිසිම ටෙලි නිර්මාණයක් මම අවතක්සේරු කරන්නේ නෑ. හැම දෙයක්ම නිර්මාණයක්. හොඳ නරක කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි නේ. මම කිව්වේ මට ගැලපෙන විදිය සහ මගේ තෝරා ගැනීම් ගැන පමණයි.
ඔබ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක් හැටියට මේ නව ටෙලි නිර්මාණ දකින්නේ කොහොමද?
ඇත්තටම මම ඒ ගැන නම් වැඩිය කතා කරන්න කැමති නෑ. අතරින්පතර හොඳ නිර්මාණ තියෙනවා. මම මුලින් කිව්වා වගේ මේ හැම ටෙලි නාට්‍යයක්ම කාගේ හෝ නිර්මාණයක්. ඉතින් අපි ඒ නිර්මාණාත්මක හැකියාවට ගරු කරන්න ඕනෑ. නමුත් ඉතින් වර්තමාන නාට්‍ය තුළ ඉස්සර තිබ්බා වගේ කතාන්දරයක්, කථා වස්තුවක්, කුතුහලය සහිත ගලා යාමක් නොමැති බව නම් පේනවා. නිකන් කොටස් සිය දහස් ගණන් ඇදී යන බවක් තමයි තියෙන්නේ. එහෙම නැතුව සීමිත කොටස් සංඛ්‍යාවක් එක්ක රසවත් කතාවක් ගොඩනැගෙනවා නම් තමයි හොඳ. එහෙම උනාම ඒ නිර්මාණ ප්‍රේක්ෂකයාත් කැමැත්තෙන් වැළඳගන්නවා වගේම අපි උනත් රඟපාන චරිත දීර්ඝකාලයක් ඔවුන්ගේ මතකයේ රැඳෙනවා. එවැනි ටෙලිනාට්‍ය නිර්මාණ අතීතයේ බොහෝමයක් තිබුණා ඒ වගේම වර්තමානයේත් නැතුවාම නොවේ.
හොඳයි ඉරේෂා ස්තූතියි.. අපි වෙනුවෙන් මේ කාලය ලබා දුන්නාට. අපි ඔබගේ පෞද්ගලික ජීවිතයටත්, ඉදිරියේදී නැවත ඇරඹෙන රංගන ජීවිතයටත් සුභ පතනවා.