කතිරිනා කියන්නේ මගේ ගායන දිවියේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් -හිරුෂි ජයසේන

gossiplanka image 2
 මෑත කාලයේ අපට අහන්න ලැබුණු ගීත අතරින් තරමක වෙනස් හැඩයක් ගත් ගීතයක් තමයි ‘කතිරිනා’ ගීතය. වෙනස් පදවැලක් සහ නැවුම් සංගීත රසයක් කැටිවුණු ඒ අපූරු ගීතය ගායනා කරන්නේ හිරුෂි ජයසේන, මලිඳු සමඟ ඉරාජ් වීරරත්න. එදා බොහෝදෙනෙක් ආදරෙන් වැළඳගත් ඒ ගීතය මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ කොතරම් පෙරළියක් ඇතිකළා ද කිව්වොත් මේ වනවිට එහි යුටියුබ් නැරඹුම් වාර ප්‍රමාණය මිලියන 17කට අධිකයි. එදා ‘කතිරිනා’ ගීතය ජනප්‍රිය වනවිට එය අහපු බොහෝදෙනෙක් හිරුෂි ගැනත් කතා කරන්න ගත්තා. ඒ වනවිට ඇය සංගීත ක්ෂේත්‍රයට පැමිණ වසර කීපයක් වුවත් බොහෝදෙනෙකුට හිරුෂිව වැළඳගන්න ලැබුණේ කතිරිනා නිසා. ඒ වැළඳගැනීම ඇගේ ගායන දිවියට මහත් ආශිර්වාදයක් කරගත් ඇය එතැන් පටන් අතිසාර්ථක සංගීත චාරිකාවක යෙදුනා. ඔව්, අද හිරුෂි කියන්නේ මෙරට ගායන ක්ෂේත්‍රයේ සලකුණක්. ඒ නිසාමයි මෙවර ‘ධරණී’ කවරය සරසන්නත් අපි ජනප්‍රිය ගායන ශිල්පීනී හිරුෂි ජයසේනට ආරාධනා කළේ. 

*ඉතින් හිරුෂි, මේ දිනවල සංගීත වැඩකටයුතු එහෙම කොහොමද?

“පසුගියදා මහාරාණි කියලා අලුත්ම ගීතයකට සම්බන්ධ වුණා. අශාන්ති, මම එක්ක ඒ ගීතය ගායනා කරන්නේ මෙලීසා. මේ වෙද්දි ඊට හොඳ ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා. තවමත් ඒ ගීතය නිකුත්වෙලා දවස් කීපයයි වෙන්නේ. ඒත් ලොකු පිරිසක් යූටියුබ් හරහා මහාරාණිව නරඹලා තියෙනවා. ඒ ගැන සතුටුයි. ඊට අමතරව තවත් ගීත තුනක් ඉදිරියේදි අහන්න පුළුවන්. එතැනින් එකක් යුග ගීතයක්. අනෙක් ගීත දෙකම චිත්‍රපට පසුබිම් ගීත.”

හිරුෂි ගායනා කරලා තියෙන ඇයගේ ගීත ගොන්නේ හැඟුමන්, සයනේ, ගම්මානේ, හීනෙන් ඇවිදින්න, කිරුළ, පහසේ මෙන්ම රූ ඡායා වගේ ජනප්‍රිය ගීත බොහෝ ප්‍රමාණයක් තිබුණත් බොහෝදෙනෙක් හිරුෂි ගායනා කළ ගීත අතරින් කැමතිම ගීතය තමයි ‘කතිරිනා’.

“වසන්ත දුක්ගන්නාරාළ මහත්මයා පද රචනය කරපු ඉරාජ් වීරරත්න අයියා සංගීතවත් කරපු කතිරිනා කියන්නේ මගේ ගායන දිවියේ ලොකු හැරවුම් ලක්ෂ්‍යයක් කියලයි මං හිතන්නේ. මාව නොදැන හිටපු පිරිසත් ඒ ගීතයෙන් පස්සේ මට ආදරේ කරන්න ගත්තා. ඒත් සමඟින් මං වටේ ලොකු රසික පිරිසක් එකතු වුණා. ඒ නිසා මමත් පෞද්ගලිකව කතිරිනා ගීතයට හරිම කැමතියි.”

සිංහල, දමිළ, ඉංග්‍රීසි මෙන්ම හින්දි වැනි භාෂා කීපයකින්ම ගීත ගායනා කළ හැකි හිරුෂි කියන්නේ රසිකයින්ට ටිකක් වෙනස් අත්දැකීම් ලබාදෙන්න කැමති චරිතයක් කිව්වොත් හරි. මේ දිනවලත් ඇය එවැනි කටයුත්තකට අතගහලා ඉන්න බවකුයි කතාබහ අතරවාරයේ දැනගන්න ලැබුණේ.

“මං පුංචි කාලේ ඉඳන් ප්‍රසිද්ධ ඉන්ටර්නැෂනල් රැපස්ලගේ රැප් අහනවා. ඒක මගේ අයියලා දෙන්නගෙන් ආපු පුරුද්දක්. පසුගිය කොවිඩ් කාලේ මං රැප් ගායනය ගැන ටිකක් වැඩිපුර උනන්දු වුණා. එතැනදි මට තේරුනා මටත් රැප් කරන්න පොඩි ටැලන්ට් එකක් තියනවා වගේ කියලා. ඒ නිසා මං හිතුවා ඒක තව වැඩිදියුණු කරගන්න. මේ වෙනකොට මං රැප් ගැන වැඩිදුර ඉගෙනගන්නවා.”

මේ වෙනකොට රටේ ජනප්‍රිය ගායිකාවක් උනාට මොකද හිරුෂි පුංචි කාලෙදි හීන දැක්කෙ නම් වෛද්‍යවරියක් වෙන්නලු.

“මගේ තාත්තා විශේෂඥ වෛද්‍යවරයෙක් වන රනිල් ජයසේන. ඒක නිසා වෙන්න ඇති මටත් තාත්තා වගේ ඒ වෘත්තියට එන්න හිතුණේ. ඒත් මගේ යටිහිතේ තව ආසාවක් තිබුණා අනාගතේ විනෝදාංශයකට හරි ගීත ගායනයේ යෙදෙනවා කියලා. අවසානේ ගායනය මගේ වෘත්තිය බවට පත්වුණා.”

කාලයක් වෛද්‍යවරියක් වෙන්න විදෙස් රටක ඉගෙනගත්ත හිරුෂි, ගායන ක්ෂේත්‍රයට අඩිය තිබ්බ කතාවත් හරි අපූරු එකක්. ඊළඟට අපි ඇයගෙන් ඇහුවේ ඒ ගැන.

“ඒ වෙනකොට මං ගායනය පැත්තටත් ටිකක් නැඹුරුවෙලා හිටියේ. ඒ නිසා 2016 මට චිත්‍රපට පසුබිම් ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. ඒ මායා චිත්‍රපටයේ හීනෙන් ඇවිදින්න කියන ගීතය. චිත්‍රපටය ලංකාවේ ජනප්‍රියවීමත් එක්ක ඒ ගීතයත් ජනප්‍රිය වුණා. එතැනින් පස්සේ මට සංගීත ක්ෂේත්‍රයේ විවිධ අවස්ථා ලැබුණා. ඒ දේවල් කරමින් ඉන්නකොට මට හිතුණා මගේ ගමන තියෙන්නේ සංගීතයත් එක්ක කියලා. ඊට පස්සේ ම‍ම ඉස්සරහට යන්න සංගීත ක්ෂේත්‍රය තෝරගත්තා.”

හිරුෂි තවම සංගීත ක්ෂේත්‍රයට ඇවිත් ගතවුණේ කෙටි කාලයක් උනාට ඒ කෙටි කාලය තු‍ළ ‍ඇයට බොහෝ ජයග්‍රහණයන් ලබාගන්න හැකියාව ලැබිලා. එතැනින් ඇය ලබපු සුවිශේෂී ජයග්‍රහණයක් ගැනත් ඇය මේ විදියට ධරණීට පැවසුවා.

“ශාන් මුඛර්ජි ඉන්දියාවේ බොලිවුඩ්වල ඉන්න ජනප්‍රිය ගායකයෙක්. ඉතින් මට අවස්ථාවක් ලැබුණා ඔහුත් සමඟින් හින්දි භාෂාවෙන් යුග ගීතයක් කරන්න. ඒ ගීතය තමයි ‘මෙරී සින්දගී’ (Meri Zindagi) කියන්නේ. මං හිතන්නේ ඔහුත් එක්ක ගීතයක් කිරීම මං ලබපු ජයග්‍රහණයක් වගේම ඒක මගේ සංගීත ගමනට ලැබුණු ලොකු ආශිර්වාදයක්.”

නව පරපුරේ ගායිකාවක් උනාට හිරුෂි වැඩිපුර පැරණි ගීතවලට ප්‍රිය කරන බවකුත් කතාබහ අතරවාරෙදි අපිට දැනගන්න ලැබුණා.

“මට මතකයි ඉස්සර අම්මයි තාත්තයි නිතරම ගෙදර රේඩියෝ එක හරි කැසට් පීස් හරි දාලා සිංදු අහනවා. ඒ දෙන්නම එහෙම සිංදු අහන්න කැමතියි. තාත්තා නම් ගී පද රචනය එහෙමත් කරනවා. අම්මටත් හොඳට ගීත ගායනා කරන්න පුළුවන්. ඉතින් ඒ පසුබිමත් එක්ක මමත් පැරණි ගීතවලට හරි කැමතියි. හැබැයි අලුත් ගීතත් මං රසවිඳිනවා.”

හිරුෂි ගායනයට ප්‍රමුඛත්වයක් දුන්නට මොකද හොඳ පියානෝ වාදන ශිල්පිනියක්. ඒ වගේම නිවේදිකාවක්, නිරූපණ ශිල්පිනියක් විදියටත් ඇතැම් අවස්ථාවල කටයුතු කරපු කෙනෙක්. ඒ විතරක්ම නෙවෙයි, ඔබට මතක ඇති ‘සිරස වොයිස් ශ්‍රී ලංකා’ (Sirasa Voice Sri Lanka) ගායන රියැලිටි තරඟමාලාවේ සීසන් 3 අදියරේ විනිශ්ච මණ්ඩලයෙත් ඇයට අසුනක් වෙන්වෙලා තිබුණා. ඒ විදියට ලංකාවේ ජනප්‍රිය ගායන රියැලිටි තරඟයක විනිශ්චය මණ්ඩලය නියෝජනය කළ අත්දැකීම ගැනත් අපි ඇගෙන් අහලා බැලුවා.

“ඇත්තටම ජාත්‍යන්තර මට්ටමෙන් පවත්වන ජනප්‍රිය ගායන රියැලිටි තරඟයක තරඟවදින තරඟකරුවන් විනිශ්චය කරන්න ලැබෙනවා කියන්නෙම ලොකු අභියෝගයක්. ඒ වගේමයි ඒක වගකීම්සහගත දෙයක්. මොකද අපි දෙන විනිශ්චය දිහා එළියේ ලොකු පිරිසක් බලාගන ඉන්නවා. ඒ නිසා අපි කියන වචනයක් ගානෙම සැලකිලිමත් වෙන්න ඕන. කොහොම වුණත් ඒක මට වෙනස් සහ සුන්දර අත්දැකීමක් වුණා.”

හිරුෂි කියන්නේ සුන්දර හඬක මෙන්ම සුන්දර රුවකත් හිමිකාරිනියක්. ඉතින් ඇගේ ඒ පෙනුමත් එක්ක රඟපාන්න එහෙම අවස්ථාව ලැබුණොත් හිරුෂිගේ පිළිතුර මොකක්ද කියලත් අපට දැනගන්න ඕන වුණා.

“(සිනාසෙමින්) රඟපාන්න ආරාධනා කීපයක්ම ලැබුණා. ඒත් මට ඒකට කැමැත්තක් නෑ. මගේ ආසාව ගායිකාවක් විදියටම ක්ෂේත්‍රයේ ඉන්න.”

කොළඹ පදිංචි හිරුෂිගේ පවුලේ ඇයට ඉන්නේ අම්මයි තාත්තයි ඇරුනම අයියලා දෙන්නෙක්ලු. ඇයගේ ගමනට ඔවුන්ගෙන් විශාල ශක්තියක්, මගපෙන්වීමක් ලැබෙන බවයි හිරුෂි කතාබහ අව‍සන් කරමින් අපිට පැවසුවේ.

“ඒ වගේම අමතක නොකළම යුතු දෙපිරිසක් ඉන්නවා. එක් පිරිසක් මට ගායිකාවක් විදියට සංගීත ක්ෂේත්‍රයේ මේ තැනට එන්න අතහිත දුන්නු අය. අනෙක් පිරිස මගේ ගීත රසවිඳලා මාව ගායිකාවක් විදියට රටේ ඉහළට රැගෙන ආපු ආදරණීය රසික රසිකාවියන්. ඒ දෙපිරිසම මේ වෙලාවේ හරිම ආදරයෙන් මතක් කරනවා.”

ඉතින් ඇගේ මියුරු හඬින් අපේ පුංචි රට තව තවත් ජාත්‍යන්තරයේ බබළවන්නට ‍ඇයට ශක්තිය ධෛර්යය ලැබේවා කියන එකයි හිරුෂි වෙනුවෙන් අපේ ප්‍රාර්ථනය...

gossiplanka image 1
Previous Post Next Post