රංගනය යනු හුදෙක් කැමරාවක් ඉදිරියේ දෙබස් කීම පමණක් නොව, එය හැඟීම් සහ කැපවීම මුසු වූ අපූර්ව කලාවකි. පුංචි තිරයේ ‘නෙත්මි මිස්‘ ලෙස ප්‍රේක්ෂක අප්‍රසාදයත් ආදරයත් එකසේ දිනාගත් ඇය, සැබෑ ජීවිතයේදී නිහතමානී සුන්දර යුවතියකි. නීරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිස, අද වන විට රංගනය තුළ තමාගේම අනන්‍යතාවයක් ගොඩනඟා ගැනීමට වෙර දරන නෙත්මි සමඟ ‘හාට්’ අපි කළ කතා බහයි මේ…
නෙත්මි මිස් මේ දිනවල කලා කටයුතු කොහොමද?
මේ දවස්වල ‘රොන් සොයා’ එකේ රූගත කිරීම්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව අලුත් ටෙලිනාට්‍යයක වැඩකටයුතු ආරම්භ වෙලා තියෙනවා. ඒ වැඩකටයුතු එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නවා.
‘රොන් සොයා’ නාට්‍යයේ නෙත්මිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
නෙත්මි මිස්ගේ චරිතයට ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කවදාවත් හිතුවේ නෑ ඒ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලවත්, ඒ චරිතය ප්‍රේක්ෂකයෝ ඒ තරම් ආදරයෙන් වැලඳගනී කියලවත්. මම කරන්නේ දුෂ්ට චරිතයක් නිසා හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබෙනවා. චරිතයට බණින ප්‍රේක්ෂකයෝ ඉන්නවා. මං හිතන්නේ එහෙම බණිනවා කියන්නෙම ඒ චරිතෙට මම උපරිම සාධාරණයක් කරනවා. ඒ නිසා මට ගොඩක් සතුටුයි.
චරිතය ගැන කෙටියෙන් කියමු?
මේ චරිතය ගොඩක් අභියෝගාත්මක චරිතයක්. මං හිතනවා මං මේ චරිතය ගොඩක් හොඳින් කරනවා කියලා. නෙත්මි මිස් කියන්නේ නපුරු සුපවයිසර් කෙනෙක්. හසරැලිට (ඔයාලා හැමෝම දන්න මිෂෙල්ට) දුෂ්ටකම් කරන්න තමයි මට තියෙන්නේ. තමන් හිතින් ආදරය කරන කෙනා වෙන කෙනෙක්ට කැමැතියි කියලා දැනගත්තට පස්සේ හැසිරෙන විදිහ තමයි මේ චරිතයෙන් පෙන්වන්නේ.
රඟපාන එක හිතුව තරම් ලේසිද?
නෑ, රඟපාන එක හිතුව තරම් ලේසි නෑ.
බොහෝ දෙනාට පේන්නේ කැමරා එක ඉදිරියට ගිහින් දෙබස් කියලා ඉවර කරන වැඩක් වගේ. හැබැයි ඇත්තටම රංගනය කියන්නේ කලාවක් සහ පුහුණුවක් තියෙන වෘත්තියක්. බොහෝ දෙනාට රංගනය ලේසි වගේ පේනවා. නමුත් ඇත්තටම එය හැඟීම්, කැපවීම සහ පුහුණුව අවශ්‍ය කරන ලස්සන කලාවක්.
ප්‍රවීණයන් එක්ක වැඩ කරද්දි ලැබුණු ඒ අත්දැකීම් කොහොමද?
ඔව්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ එක්ක වැඩ කරන්න ලැබුණු එක මට ලොකු වාසනාවක්. ඔවුන් එක්ක සෙට් එකේ ඉන්නකොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. රංගනය ගැන විතරක් නෙවෙයි, විනය, ඉවසීම සහ චරිතයට ඇතුළු වෙන විදිහත් ඔවුන්ගෙන් ඉගෙන ගන්න ලැබුණා. ඒ අත්දැකීම් මගේ රංගන ගමනට ලොකු ශක්තියක් වුණා.
කොහොමද කලාවට යොමුවන්නේ?
නීරූපිකාවක් විදිහට වැඩකරන කාලයේදී තමයි මට රංගනයට පිවිසෙන්න අවස්ථාවක් ලැබෙන්නේ
නෙත්මි සැබෑ ජීවිතයේදී කොයි වගේද?
නෙත්මි කියන්නේ සාමාන්‍ය, නිහතමානී සහ සරල කෙනෙක්. සැබෑ ජීවිතයේ මම මගේ පවුලේ අය එක්ක කාලය ගතකරන්න කැමැතියි. හැමවෙලාවෙම හිනාවෙලා ඉන්න ආස කෙනෙක්.
ආදරේ දකින්නේ කොහොමද?
මට නම් ආදරය කියන්නේ එකිනෙකා තේරුම් ගන්න, ගෞරව කරන්න සහ එකිනෙකාට සහාය වෙන්න පුළුවන් ලස්සන බැඳීමක්. ආදරය තියෙන්නේ සතුට වෙලාවට විතරක් නෙවෙයි, අමාරු වෙලාවලත් එකට හිටගෙන එකිනෙකාට ශක්තියක් වෙන එකයි.
ඔයා රංගනයට යොමු නොවුණා නම් මේ වෙද්දී මොන ක්ෂේත්‍රයකට යොමුවෙලා ඉඳීද?
මම උසස් අධ්‍යාපනය හැදෑරුවේ ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනයේ කෘෂිකර්ම පීඨයේ. රංගනයට යොමු නොවුණා නම් ඒ හා සම්බන්ධ ක්ෂේත්‍රයක වැඩ කරයි.
ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
ඉදිරි කාලයේදීත් අලුත් සහ වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයන් හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳ නිර්මාණවලට දායක වෙලා මගේ රංගන ගමන තව ඉදිරියට ගෙනියන්න තමයි මගේ ඉලක්කය.