පාලි බග්‍රා රටම හඳුන ගත්තේ ‘පහන් තිරේ’ සින්දුවෙන් -පාලි බග්‍රා

gossiplanka image 2
 

මධු සඳෙන් බැහැල කිරෙන් නාපු පුරෝහිතල ගොඩයි…..


මේ දිනවල බොහෝ දෙනාගේ මුවඟේ රැව්දෙන මෙම ගීත කණ්ඩය ඇසෙන්නේ නව පරපුරේ ගායන ශිල්පී පාලි බග්‍රාගේ හඬිනි. ඔහුගේ ‘පහන් තිරේ’ ගීතය වත්මන් සමාජය ගැන කෙරෙන හෙළිදරවුවකැයිද සිතේ. පසුගියදා අතිශයින්ම ජනප්‍රියත්වයට පත් පිට කවරේ, දුමාරේ වැනි ගීත රචනා කරමින් සමාජය විනිවිද දකින්නට ප්‍රේක්ෂකයා පෙලඹවූ පූජ්‍ය අත්තිඩියේ පුඤ්ඤරතන හිමිගේ පද රචනයකි. විශාරද ගුණදාස කපුගේ සූරීන්ගේ හඬින් ගයන්නකු ලෙස ප්‍රකටව සිටි පාලි තම අනන්‍යතාව තහවුරු කරගත්තේ ‘පහන් තිරේ’ ආලෝකයෙනි. පසුගියදා කුරුණෑගලදී පැවැති ‘පහන් තිරේ ‘ඒක පුද්ගල ප්‍රසංගය පාලිගේ සිහිනය සැබෑ කරමින් ඔහුගේ දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළ බවද නිසැකය. පහන් තිරේ ගැන කතාකරන්නට පාලි අප හා එක්වීය.


පාලි බග්‍රා කියන නම ගොඩක්ම මිනිස්සු අතරට ගියේ ‘පහන් තිරෙන්‘ නේද?


ඔව්. පාලි බග්‍රා වඩාත් හොඳින් රටම හඳුනගත්තේ පහන් තිරේ සින්දුවත් එක්ක කිව්වොත් හරි. ගීතය රචනා කරන්නේ අත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ. මිහිරට සංගීතවත් කළේ අනුරාධ අබේසිංහ. රූප රචනය විපුල නාකන්දලගේ. සියලු බරපැන දරමින් ආකර්ෂණීය නිමාවකින් ප්‍රේක්ෂකයා වෙත තිළිණ කරන්න දායක වුණේ ‍රියෝ කොකෝ ආයතනයේ අධිපති ශාන් හැලඹ. පසුගිය ජනවාරි පළමුවැනිදා මගේ ජීවිතයේ අමතක නොවන දිනයක් බවට පත්කරමින් ගීතය ප්‍රේක්ෂකයා වෙත මුදාහැරියා. ප්‍රතිචාර ඉතාම ඉහළයි. ඒක මට කියාගන්න බැරි තරම් සතුටක්.


‘පහන් තිරේ‘ ඇතුළෙත් ලොකු කතාවක් තියෙනවා නේද?


අත්තිඩියේ පුඤ්ඤරතන හාමුදුරුවන්ට කියල සින්දුවක් ලියව ගන්න මං බොහෝ කාලයක් තිස්සේ උත්සාහ කළා. මුලින්ම යාළුවෙක්ගෙ මාර්ගයෙන් උත්සාහ කළා. බැරි තැන මං මුහුණුපොතේ පණිවුඩයක් තැබුවා. කොහොමහරි අවුරුදු එකහමාරකට විතර පස්සෙ තමයි මට උන්වහන්සේගෙන් දුරකතන අංකය ලැබිලා සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ. මාසෙකින් ලියල දෙන්නම් කිව්වා. ඔය අතරේ මට රියෝ කොකෝ ආයතනයෙන් සංවිධානය කළ අත්තිඩියේ මෙත් සෙවණ ආබාධිත රණවිරුවන්ගේ ප්‍රසංගයකට ආරාධනා ලැබුණා. ආරාධිත ශිල්පීන්ගෙන් මං විතරයි එදා සහභාගි වෙලා හිටියේ. මට ආරාධනාව ලැබෙද්දි මං අනුරාධපුරේ හිටියෙ. එදා කොළඹ ඇවිත් ආයෙම අනුරාධපුර මැදවච්චියෙ ප්‍රසංගයට යන්නත් ඕන. ඒත් මං වෙහෙස නොබලා ඇවිත් කිසිදු මුදලක් නොගෙනම ගීත ගායනා කරලා ආයෙම ගියා. අත්තිඩියේ හාමුදුරුවොත් රණවිරුවන්ට හරිම ආදරෙයි. මේ කොල්ල නම් පුදුම කොල්ලෙක් මෙහෙම ආවනේ කියල රියෝ කොකෝ අධිපතිතුමා හාමුදුරුවන්ට මා ගැන කියලා. ඒක අහපු හාමුදුරුවොන්ට ඉවසුම් නැතිව ගිහින් කොහේද මේ කොල්ල මෙච්චර කල් හිටියේ කියල අහලා සතියකින් සින්දුව ලියල දෙන්න පොරොන්දු වෙලා. කොහොමහරි ඊට පැය හතරකට විතර පස්සෙ සැතපෙන්න ගියාට මේක ඉක්මනට ලියල දෙන්න ඕන කියන සිතුවිල්ලත් එක්ක උන්වහන්සේට නින්ද එන්නෙම නැතිලු. අන්තිමට විනාඩි දහයක් ඇතුළත සින්දුව ලියලා මට එවලා උන්වහන්සේ කිව්වා “ඔන්න ඕකට තමයි පාලි, දිට්ඨ ධම්මවේදනීය කර්මය පටිසන් දෙනව කියන්නෙ“ කියල කිව්වා. අපි මෙලඩිය ගැනත් කතාබහ කරල තිබුණ නිසා කපුගේ සර්ගේ ගුණ සුවඳත් එක්කම ගීතය ලියන්න ඕන කියලත් හාමුදුරුවෝ කිව්වා. ඒක ඇත්ත. අපි හොඳ දෙයක් කළොත් අපිට හොඳ ප්‍රතිඵල ලැබෙනවා.


‘පහන් තිරේ‘ ඔබේ තවත් සිහිනයක් සැබෑ කළා නේද?


සින්දුවට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබුණා. රිලීස් වෙලා ඉතාම කෙටි කාලයකින් ට්‍රෙන්ඩින් වුණා. ලංකාවේ වයිරල් වෙලා නැරඹුම් මිලියනය ඉක්මවා යද්දි කොන්සට් එකටත් අවස්ථාව ලැබුණා. රිසර ෆාම් නිලංග අයියා කවදත් මගේ යාළුවා. මට මගේම කියල කොන්සට් එකක් කරගන්න ඕන. ඒත් ඒකට මුදල් තමයි නැත්තෙ කියලා මං කලින් දවසක ඔහුට කියල තිබුණා. කීයක් ගියත් කමක්නෑ මල්ලි අපි කරමු කියලා ඔහු ඒ වෙලාවෙ ඉදිරිපත් වුණා. දවස් පහළොවක් ඇතුළත බොහෝදෙනාගේ සහයෝගයෙන් සියල්ල සූදානම් වුණා. කොන්සට් එකත් ගොඩක් සාර්ථකව සිදුවුණා.


පාලිගෙ හඬ ගුණදාස කපුගේ සූරීන්ගේ හඬට ගොඩක් සමාන බව මුලින්ම හඳුනගත්තෙ කවුද?


2002 වසරේ සිරස නාළිකාවේ අහන්න ආසයි ගයන්න කියන වැඩසටහනට ඉදිරිපත් වුණ වෙලාවේ විනිශ්චය මණ්ඩලයේ සිටි බාජි සුසාන්ගෙන් තමයි “ෂා ඔයාට ඒ හඬම තියෙනවනේ“ කියලා පළවෙනි කමෙන්ට් එක ලැබුණේ. උන්මාද සිතුවම් ගීතයෙන් කොටසක් ගයන්නත් ආරාධනා කළා. එදා ඒ තරගයෙන් ජයග්‍රහණය කළෙත් මං. දෛවය කියන්නෙත් හරි පුදුම දෙයක්. එදා නිවේදිකාව විදිහට කටයුතු කරමින් රටේ ජනප්‍රියම ගායකයෙක් වෙන්න කියන සුබ පැතුම එක්කළ ටීෂා අක්කත් පහන් තිරෙත් එක්ක නැවතත් මට හමුවුණා. මට තියෙන එකම දුක මගේ හඬින් ගීයක් අහන්න කපුගේ සර් නැතිවීම. මං නිතරම ඔහුගේ මුල් ගීතයේ තනුවටම ගායනා කරන්න උත්සාහ කරනවා. ගීතයට කිසිදු හානියක් කරන්නෙ නෑ. එදා ඉඳන්ම ගීතයක් එළිදක්වන හැම


අවස්ථාවකම මං ඔහුගේ පිළිරුව ළඟට ගිහින් ආශීර්වාදය ලබා ගන්නවා.


පාලිගේ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්නත් පාලිට ආදරේ කරන ප්‍රේක්ෂකයින් කැමැති ඇති?


මමත් ගමෙන් ආපු සාමාන්‍ය පන්තියේ කෙනෙක්. මගේ ගම කලාවැව ආඬියාගල කළුආරච්චියාගම. මං විවාහ වෙලා අවුරුදු පහක පුංචි පුතෙක් ඉන්නවා. බිරිඳ සිවිල් ඉංජිනේරුවරියක් විදිහට කටයුතු කරනවා. පුතත් ගීත ගායනා කරන්න දක්ෂයි. ගොඩක්ම කියන්නේ මගේ ගීත. ගෙදර අයගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මට මේ තැනට එන්න උදවු කළ හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

gossiplanka image 1
Previous Post Next Post