මං කැමතිම රංගන ශිල්පිනියක් තමයි මාලිනී ෆොන්සේකා මහත්මිය -සවිනි යකුපිටිය

gossiplanka image 2
 මං කැමතිම රංගන ශිල්පිනියක් තමයි මාලිනී ෆොන්සේකා මහත්මිය. ඉතින් නවක රංගන ශිල්පිනියක් විදියට මම එතුමිය වගේ ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රඟපෑව චිත්‍රපට, ටෙලිනාට්‍ය නිතරම වගේ නරඹනවා. මොකද ඒ නිර්මාණවලින් නවකයෝ හැටියට අපට හුඟාක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මමත් ඒ විදියට මගේ රංගන ජීවිතේට එකතුකරගත්ත හුඟාක් දේවල් තියෙනවා. මං හිතන්නේ කෙටි කාලයක් තුළ රංගන ක්ෂේත්‍රයේ මේ වගේ තැනකට එන්න ඒ දේවලුත් මට ඇත්තෙන්ම ප්‍රයෝජනවත් වුණා.”

ඇගේ ඒ කතාවෙන් වගේම මුලින් කියපු සංජුගේ කතාවෙනුත් පැහැදිලි වෙන දෙයක් තමයි, තමන්ගේ ක්ෂේත්‍රය මොකක් උනත් ඊට පෙර ඒ ක්ෂේත්‍රයේ බර අඩි තබා ගිය විශිෂ්ටයින්ගේ පා සලකුණු මතින් ගමනක් යන කාටත් සාර්ථකත්වය කියන්නේ ළඟාකරගන්න අපහසු දෙයක් නොවන විත්තිය. ඇයත් මේ වෙද්දි පුංචි තිරයට නැතුවම බැරි ජනප්‍රියම නිළියක් බවට පත්වෙලා තියෙන්නේ. ඇය සවිනි යකුපිටිය.

*සවිනි, මේ දිනවල කාර්යබහුල නිළියක් වෙලා නේද?

“ඇත්තටම ටිකක් කාර්යබහුලයි. මොකද මේ දිනවල මං රංගනයෙන් දායකවන ටෙලිනාට්‍ය දෙකක් විකාශය වෙනවා. ඒ අතරින් එකක් තමයි ඉරේෂ් ලොකුබණ්ඩාරගේ අධ්‍යක්ෂණයක් වන මා ටෙලිනාට්‍යය. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන එහි මගේ චරිතය නිරාශා. අනික් ටෙලිනාට්‍යය ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂණය කරන කළු අහස. සිරස නාලිකාවේ විකාශය වෙන එහි මගේ චරිතය තාරකී. ඒ රූගතකිරීම් එක්ක තමයි මේ දිනවල මං කාර්යබහුල වෙලා තියෙන්නේ.”

මීට පෙර සවිනි රඟපෑ මාස්ටර් සර්, අලු පාට දේදුනු, 24 Love Story, ලොක්කිගේ කතාව මෙන්ම හිත ළඟ හිනැහුණා කියන ටෙලිනාට්‍යවලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණා. ඊට සමාන ප්‍රතිචාර අලුත් ටෙලිනාට්‍යය ද්විත්වයටත් ලැබෙන බවයි සවිනි පැවසුවේ.

“මං රංගන ක්ෂේත්‍රයට ඇවිත් තවම ගතවුණේ පුංචි කාලයයි. ඒ කාලය තුළ රඟපාන්න ලැබුණු ටෙලිනාට්‍ය කීපයටම ඉතාමත් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. ඒ අතරිනුත් මාස්ටර් සර් කියන ටෙලිනාට්‍යයේ අසිනිගේ චරිතයට හිතාගන්න බැරි ප්‍රතිචාර ලැබුණා. නවක නිළියක් විදියට ඒ ගැන සතුටුයි. මොකද නිළියක් විදියට අපිට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ලොකුම ආශිර්වාදය තමයි ප්‍රේක්ෂක ප්‍රතිචාර. ඒ ආශිර්වාදය අඩුවක් නැතිව ලැබෙද්දි සතුටුයි.”

සවිනි පුංචි කාලෙදි හීන දැක්කේ ගුවන් සේවිකාවක් වෙන්නලු. හැබැයි අහසින් යන්න හීන දැකපු සවිනිගේ ඒ හීනය අතරමඟින් ඇය වෙනස් කරගෙන.

“ශ්‍රී ලංකන් එයාර් ලයින් එකට යන්න තමයි මං ආසාවෙන් හිටියේ. ඒත් පාසලේදි මගේ තිබුණු කලා හැකියාවන් නිසා ඒ හීනය වෙනස් වෙලා නිළියක් වෙන්න ඕන කියලා හිතුවා. ඒත් ඉතින් මෙච්චර ඉක්මණින් ඒ හීනය සැබෑවෙයි කියලා හිතුවේ නෑ. හැබැයි අරමුණක් ඇතුව ඒ හීනය වෙනුවෙන් මහන්සි උනු නිසා පුංචි කාලෙකින් ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් වුණා.”

සවිනි එදා රංගනයෙන් දායකවුණු පළමු ටෙලිනාට්‍යය වුණේ සිරස නාලිකාවේ විකාශය උනු ‘හිත ළඟ හිනැහුණා’ ටෙලිනාට්‍යයලු. එහි උදානා නමැති තරුණියකටයි ඇය රංගනයෙන් දායකවෙලා තිබුණේ. ඒ විදියට පෙනුම නිසාම නිතර නිතර පෙම්වතියගේ චරිතයෙන් දකින්න ලැබෙන සවිනි, පෙම්වතියගේ චරිතය හැරුනම රඟපාන්න කැමති වෙනත් චරිතයක් තියෙනවද කියලත් අපිට අහලා බලන්න හිතුණා.

“එහෙම කියලා නෑ. හැබැයි මං ගොඩාක් ආසයි අභියෝගාත්මක චරිත වගේම මගේ තියෙන ටැලන්ට්ස් පෙන්නන්න පුළුවන් චරිත කරන්න.”

ඇය කියපු ඒ ටැලන්ට්ස් මොනවද කියලයි ඊළඟට අපි සවිනිගෙන් අහලා බැලුවේ.

“අර මං කලින් කිව්වේ පාසලේදි මම කලාවට නැඹුරු ගෑනු ළමයෙක් කියලා. ඒ කියන්නේ මට හොඳට නර්තනය පුළුවන්. ඒ වගේම ගායනය පුළුවන්. ඒ අංශ දෙකෙන් මං පාසලේදි සමස්ත ලංකා ජයග්‍රහණය පවා අරන් තියෙනවා. ඒත් තවම ඒ දක්ෂතා පෙන්වන්න පුළුවන් විදියේ චරිතයක් මට ලැබුණේ නෑ. ලැබුණොත් ගොඩාක් ආසාවෙන් බාරගන්නවා.”

*ගායනයත් පුළුවන් එකේ ගීතයක් කළොත්?

“ඇත්තටම මං ගීතයක් කරන්න ආසයි. එහෙම බලාපොරොත්තුවකුත් හිතේ නැතුව නෙවෙයි.”

සවිනි රංගන කටයුතුවල නියැලෙන්නේ උසස් අධ්‍යාපන කටයුතු කරන ගමන් කියලත් අපිත් එක්ක කිව්වා.

“මං හිතනවා අපි මොන ක්ෂේත්‍රයෙන් ඉදිරියට ගියත් අධ්‍යාපනය තුළින් සවිමත් වෙන්න ඕන කියලා. ඒ නිසා හැමදේම අස්සේ ඉගෙනගන්න එකත් කරනවා. මේ වෙනකොට මං පෞද්ගලික විශ්වවිද්‍යාලයක මගේ උසස් අධ්‍යාපන කටයුතු කරන ගමන් ඉන්නේ.”

සවිනි කියන්නේ මේ කාලේ තාරුණ්‍යයේ වැඩිපුරම ආකර්ෂණයට ලක්වන නිළියන්ගෙන් කෙනෙක්. ඇයගේ හැඩට එහෙම නොවුණා නම් තමයි පුදුමේ. ඒ කොහොම හරි ඊළඟට ඇගෙන් අහලා බැලුවේ ‘ආදරය’ කියන මාතෘකාව ගැන.

“මං හිතන්නේ ඕනම කෙනෙක්ට ජීවත්වෙන්න ආදරේ ඕන. ඒක අම්මා තාත්තගෙන්, පවුලෙන්, යාළුවන්ගෙන්, සුරතල් සත්තුන්ගෙන් වගේ සෑහෙන්න තැන්වලින් ලැබෙනවා. මටත් ඒ හැමතැනින්ම මදි නොකියන්න ආදරේ ලැබෙනවා. ඒකට මගේ ප්‍රේක්ෂකයින්ගේ ආදරෙත් ලැබුණම මේ ලැබෙන ආදරේ මට දැනට ඇති.”

ආදරය ගැන එහෙම කියපු සවිනි අපේ කතාබහට සමුදුන්නේ ඇයට ආදරේ කරන ආදරණීය ප්‍රේක්ෂකයින්ට සුබ පණිවිඩයකුත් දීගෙනමයි.

“පුංචි තිරයේ ඉන්න හැම නළුවෙක් නිළියක්ම දකින හීනයක් තමයි කවදා හරි රිදී තිරයට එන එක. මේ වෙනකොට මගෙත් ඒ හීනය සැබෑවෙලා තියෙනවා. මං රඟපෑව චිත්‍රපට දෙකක් ඉදිරියේ තිරගත වෙන්න නියමිතයි. මං හිතනවා ඒක මගේ ප්‍රේක්ෂකයින්ට සුබ පණිවිඩයක් වෙයි කියලා.”

gossiplanka image 1
Previous Post Next Post