ඇය සිංහල සිනමාවේ වත්මන් රැජනයි. ඇගේ රූපය මෙන්ම, රංගන වින්‍යාසය තුළද ගැබ්වී ඇති තරු ගුණය හේතුවෙන්ම දායක වන සෑම නිර්මාණයක්ම පාහේ සාර්ථක වේ. ඇය අන්කවරකුවත් නොව මේ දිනවල වයිෆ්හි නිර්මලා ලෙසින් රිදී තිරය සරසන උදාරි වර්ණකුලසූරියයි.
නිර්මලා ගැන කතා කරලාම පටන් ගමු?
නිර්මලාගේ චරිතය ගත්තම ඇය සමාජයේ සමස්ත කාන්තා පරපුරම නියෝජනය කරනවා. මේක අතීත කතාවක්වත්, රජ කතාවක්වත්, ෆැන්ටසි කතාවක්වත් නෙවෙයි. සමාජයේ සියලුම කාන්තාවන්ගේ, බිරියන්ගේ, ගැහැනුන්ගේ, ආදරවන්තියන්ගේ හැඟීම් තමයි නිර්මලා නිරූපණය කරන්නේ. පවුල් ජීවිතය තුළ තියෙන හැල හැප්පීම්, ආදරය බෙදා ගැනීම්, ඒ ආදරය බිඳ වැටෙන්න හදද්දි ඒ වෙනුවෙන් එයා කරන කැප කිරීම් හැමදේම නිර්මලා තුළින් නිරූපණය වෙනවා.
අද වෙද්දි පවුල කියන ඒකකය ව්‍යාකූල වෙලා, විවාහයන්ට වඩා දික්කසාද වැඩි වෙලා ඒ ගැනත් කියමු?
ඒක ඇත්තටම සතුටට කාරණාවක් නෙවෙයි. ඒ හින්දම මම හිතනවා වයිෆ් චිත්‍රපටය ප්‍රේක්ෂකයන් නැරඹිය යුතුයි කියලා. එදිනෙදා පවුල් ජීවිතයක තියෙන ලුණු ඇඹුල් සේරම වයිෆ් තුළ තියෙනවා. ඒ ලුණු ඇඹුල් සේරම මැද පවුල් ජීවිතය කොහොමද සාර්ථකව පවත්වාගන්නේ කියලා, එක පාර්ශ්වයක් අත හරිද්දි ආපහු සමාව දීලා පවුල රැක ගන්න දරන උත්සාහය වගේ දේවල් මේ හරහා හොඳින් නිරූපණය වෙනවා. විවාහය කියන්නේ දෙන්නෙක්ගේ එකඟත්වය මත සිදුවන දෙයක්. ඒ නිසා තනි තීරණ නොගෙන දෙපාර්ශ්වයේම සහයෝගය මත පවුල ගෙනියනවා නම් පවුල් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්.
විවාහයෙන් පස්සේ ආදරය අවසන් වෙනවාද?
විවාහ වෙන්න පෙර තියෙන්නේ අයිතිකර ගැනීමේ කෑදරකම, ලෝබකම. ඒ කෑදරකම එක්ක ආදරය හැමදාම නැවුම්. ඒත් හිමිකරගත්තට පස්සේ දැන් මගේ, දැන් දාලා යන්නේ නැහැ, දැන් නීතියෙනුත් මගේ කියන හැඟීම එක්ක අනියම් සම්බන්ධකම් පැවැත්වුවත්, හිංසා කළත් කමක් නෑ කියන අදහස ඔළුවට එනවා. වයිෆ් චිත්‍රපටය හරහාත් ඒ දේවල් පෙන්නුම් කරනවා.
ඔබ සහ හේමාල්ගේ සංකලනය ගැනත් බොහෝ දෙනා කතා වෙනවා?
අපි දෙන්නා මුල්ම වතාවට ආදරණීය කතාවක් එකේ තමයි එකට රංගනයේ යෙදුණේ. ඉන් අනතුරුව ක්ෂීර සාගරය කැලඹිණ, දේවි කුසුමාසන කියන චිත්‍රපට දෙකට පස්සේ ඊළඟට මේ දිනවල තිරගත වන වයිෆ් චිත්‍රපටය. ඇත්තටම ගොඩක් ප්‍රේක්ෂකයන් වයිෆ් දකින්නේ ආදරණීය කතාවක් චිත්‍රපටයේම දිගුවක් විධියට. ඇත්තටම මට මෙතැනදි හේමාල්ගෙන් ලැබෙන සහාය විශේෂයෙන් මතක් කරන්න ඕන. ඔහුගෙන් ලැබෙන සහය අති විශිෂ්ටයි. ඔහුගේ වෘත්තීමයභාවය, ඒ සහාය, දක්ෂකම අපේ නිර්මාණ සාර්ථකවෙන්න විශාල බලපෑමක් ඇති කළා.
ඔබේ පළමු දමිළ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවැත්වුණා, ඒ ගැනත් කියමු?
එහි අධ්‍යක්ෂවරයා වන්නේ ලී මුරලි. ඒක ඉන්දියානු නිෂ්පාදනයක්. මෙහි රූගත කිරීම් ඉන්දුනීසියාව, මැලේසියාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ නේපාලය කියන රටවල් පහේම කරන්න නියමිතයි. මේක ඇක්ශන්, ත්‍රිලර් මූවි එකක්. මම එහි ප්‍රධාන කාන්තා චරිතය තමයි නිරූපණය කරන්නේ. ඒ දාම ඝාතකයෙක්ගේ චරිතයක්. ඒ වගේම ඒක කාන්තා මූලික චිත්‍රපටයක්.
ඒක අභියෝගයක් වෙන්න ඇති?
ඒක ඇත්තටම මට ලොකු අභියෝගයක්. මෙච්චර කාලයක් මම සිදු කළේ ආදරණීය ගැහැනියව නිරූපණය කරපු එක. ගැහැනියගේ දුෂ්ටකම පෙන්නන්න මට අවස්ථාවක් ලැබිලා නැහැ. ඉතින් මේ හරහා මට ගැහැනියගේ ඒ පැත්ත නිරූපණය කරන්නත් හැකියාව ලැබෙනවා. චරිතාංග රංගන ශිල්පිනියක් වීමේ මගේ අරමුණට ඒක ලොකු අවස්ථාවක්. ඒ වගේම මේක දෙමළ භාෂා චිත්‍රපටයක් නිසා භාෂාව හැසිරවීමත් මට ලොකු අභියෝගයක් වුණා. මේ වෙද්දි ඒ සඳහා පුහුණුවීම් කරනවා.
ආදරණීය උදාරිව සීරියල් කිලර් කෙනෙක් බවට පත් කළේ කොහොමද?
මම විශ්වාස කරන දෙයක් තමයි මම යම් කිසි චරිතයක් භාර ගන්නවා නම් අනිවාර්යෙන්ම ඒ නිර්මාණයට සාධාරණය ඉටු කරන්න පුළුවන් කම තිබෙන්න ඕන කියලා. මෙහි තිරපිටපත් සහ අධ්‍යක්ෂණය දෙකම ලී මුරලි, මම මුලින්ම ඔහුගෙන් ඇහුවා මට මේ චරිතයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් වෙයිද කියලා. ඔහුට ඒ විශ්වාසය තිබුණා. මේ වෙද්දි මම ගන් ෆයිටිංග් වගේ තව බොහෝ දේවල් පුරුදු පුහුණු වෙනවා. ඉතින් මටත් විශ්වාසයක් තියනවා මට ඒ චරිතය හොඳින් නිරූපණය කරන්න පුළුවන් වෙයි කියලා.
උදාරි තවමත් සිංහල සිනමාවේ අංක එකේ තෝරා ගැනීම ඒ ගැනත් කියමු?
මගේ පළමු සිනමා නිර්මාණය පායා එන්න හිරු සේ, ඒත් එක්කම මතකයේ හිටින චරිතයක් විධියට බොඳ මීදුම් හරහා තමයි ප්‍රේක්ෂක ආදරය ලැබෙන්න පටන් ගත්තේ. මට එදා ඒ ලැබුණු ප්‍රේක්ෂක ආදරය සහ ඔවුන්ගේ විශ්වාසය මම හැමවෙලේම පරිස්සම් කරන්න උත්සාහ කරනවා. ප්‍රසිද්ධ වෙන්න පහසු වුණත් ජනප්‍රියත්වය ලබා ගන්න එක පහසු නැහැ. ඒ නිසාම ප්‍රේක්ෂක ආදරය ලැබීම මොන වගේ වගකීමක්ද කියන එක මම හැම වෙලේම තේරුම් ගන්න උත්සාහ කරනවා. ප්‍රේක්ෂකයන් ආදරය කරන්නේ මොන වගේ උදාරි කෙනෙක්ටද කියන එක මම නිතරම සිහිතබා ගන්නවා.
සිනමාවේ දෙවන ස්වර්ණයම යුගය දැන් අත්විඳිනවා නේද?
ඇත්තටම සතුටට කාරණාවක්. අපිව ප්‍රේක්ෂකයන් අතරට ගෙනයන්න මාධ්‍යවේදින් වන ඔබලාත් විශාල දායකත්වයක් දුන්නා. ඔබලාත් මේකේ හවුල්කාරයෝ. රඟපාන අපි මොන තරම් වැඩ දාලා කළත් වැඩක් නැහැ ඒකට අවශ්‍ය පබ්ලිසිටිය නොදුන්නා නම්. ඉතිං අද වෙද්දි අපි හැමෝම සිනමාව මේ තැනට අරගෙන ඇවිත් තියෙනවා. ඉදිරියට එන්න තියෙන අයටත් කියන්න තියෙන්නේ මේක සැහැල්ලුවට ගන්න එපා. මේක හරිම ගෞරවාන්විත වෘත්තියක්. අපි හැමෝම අත් අල්ලගෙන මේ ගමන ඉදිරියටම යමු. මේක අපි, ඔබලා, ප්‍රේක්ෂකයෝ මේ හැමෝම එකතු වෙලා දිනපු ගමනක්.
අවසන් වශයෙන් ඉදිරි නිර්මාණ කටයුතු ගැනත් සිහිපත් කරමු?
මේ දවස්වල ධනංජය සිරිවර්ධන මහත්මයා අධ්‍යක්ෂණය කරන එපිසෝඩ් 40 ක කෙටි නිර්මාණයකට දායක වෙලා ඉන්නවා. ඒක වෙනස්ම විධියක නිර්මාණයක්. ඊට අමතරව ලී මුරලි මහත්මයාගේ චිත්‍රපටය වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ වගේම පෞද්ගලික ජීවිතය පැත්තෙන් ගත්තොත් මට ඉඩක් ලැබෙන හැම වෙලාවකම ගිහින් දුවගේ වැඩ කටයුතු හොයලා බලනවා.