සිංහල සිනමාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන් ‘අයිරාංගනී සේරසිංහ’ නමින් පසුගියදා නිකුත් කරන ලද සමරු මුද්දරයට සහ මුල් දින කවරයට, ශ්‍රී ලාංකේය සිනමාව වෙනුවෙන් අනභිභවනීය මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණ රංගවේදිනී අයිරාංගණී සේරසිංහ මහත්මියගේ රුව එක් කරමින් ඇය ජීවමානව සිටියදීම, ඇයගේ දෑස් අබියසදී ඇය අගයමින් ගෞරව දැක්වීම අතිශයින්ම පැසසිය යුතු ය. රඟපෑම රඟපෑමක් සේ නොදැනෙන්නට ඇය කළ රඟපෑම් සියල්ල අති විශිෂ්ට ය.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිය කුලුඳුල් චිත්‍රපටය වූ ‘රේඛාව’ සඳහා ‘කරලිනාහාමි’ නම් වූ මවකගේ චරිතයට අයිරාංගණී සේරසිංහ යොදා ගැනීමෙන් ඇයගේ සිනමා රංගනය ආරම්භ වුණි. සිය ප්‍රථම සිනමා රංගනයෙන්ම ජාත්‍යන්තර ප්‍රසාදය දිනා ගත් ඇයගේ තාත්ත්වික රංගන ප්‍රතිභාව ‘රේඛාව’ චිත්‍රපටයට ගෙන දුන්නේ සුවිශේෂ ප්‍රශස්ත බවකි. කෘත්‍රිම වැස්සක තෙමෙමින් සෝමපාල ධර්මප්‍රිය රංගවේදියාණන් සමඟ මුළු දවස පුරා කළ රූගත කිරීම් අවසානයේ දෙදෙනාම උණ රෝගයට ගොදුරුව ප්‍රතිකාර ලද නමුත් එම විශිෂ්ට රංගනය වෙනුවෙන් 1956 දී හොඳම නිළිය සඳහා වූ ‘දීපශිඛා’ සම්මානය අයිරාංගණී සේරසිංහයන් වෙත පිරිනැමිණි.
සිංහල සිනමාවේ කේන්ද්‍රීය සන්ධිස්ථානයක් බවට ‘රේඛාව’ පත් කිරීමෙහිලා ඇයගේ දායකත්වය සුවිශේෂී වූවකි. එතැන් පටන් ‘සංදේශය’, ‘ඔබ දුටු දා’, ‘බක්මහ දීගේ’, ‘ද ගෝඩ් කිං’, ‘සාගරයක් මැද’, ‘තුන්වැනි යාමය’, ‘දෙවැනි ගමන’, ‘අවරගිර’, ‘පවන රළු විය’, ‘ලොකු දුව’, ‘දොලොවක්’, ‘රන්සළු’, ‘ඉන්දියානා ජෝන්ස් ඇන්ඩ් ද ටෙම්පල් ඔෆ් ඩූම් (Indiana Jones and the Temple of Doom)’, ‘දඩයම’, ‘කිණිහිරියා මල්’, ‘සුදු සෙවණැලි’, ‘ඉරැස්මා’, ‘වෑකන්ද වලව්ව’, ‘නිසල ගිර’ ආදි වශයෙන් සිනමා නිර්මාණ 50කට වැඩි සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායකත්වය ලබා දී ඇත. එයින් වැඩි චරිත සංඛ්‍යාවක ඇය මවගේ චරිතය නිරූපණය කළා ය. එසේම බිරිඳ, අත්තම්මා, සේවිකාව ආදි වශයෙන් ස්ත්‍රී භූමිකාව තුළ විවිධ පරාසයන් යථාරූපී ලෙසත්, වදනින් අප්‍රකාශිත ස්ත්‍රී හැඟීම් සමුදායන් සාත්ත්වික අභිනයන් ඔස්සේ ප්‍රකට කළ අපූරුව විස්මිත ය. ඒ සියලු රූපණයන් අභිබවූ ඇයගේ ජීවන ස්වභාවය සෙස්සන්ට මිත්‍රශීලී, කාරුණික, ප්‍රිය, රංගනයෙන් සහමුලින්ම අත්මිදුණු අව්‍යාජ වූවකි.
1982 වසරේ ‘සාගරයක් මැද’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම සහය නිළිය ලෙස සරසවිය සම්මානය හිමි කර ගත්තා ය. මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ ‘සුදු සෙවණැලි‘ චිත්‍රපටයේ ඇය රඟපෑ දිළිඳු මහලු මවගේ චරිතය වෙනුවෙන් හොඳම සහය නිළිය සඳහා වන ජනාධිපති සම්මානය හිමි විය. සිනමා සම්මාන 16කට වැඩි සංඛ්‍යාවක් ඇය හිමිකරගෙන ඇත. සිංහල සිනමාවේ මුල් දශකවල සිංහල සිනමාවට අමිල මෙහෙවරක් කළ කලාකරුවන් 21 දෙනෙකු වෙනුවෙන් 2021 වසරේදී පවත්වන ලද ඇගයුම් උලෙළේදී ඇය විශේෂ ඇගයුමට පාත්‍ර වූවා ය. කොළඹ නවලෝක රෝහල් පරිශ්‍රයේදී පවත්වන ලද විශේෂ ඇගයුම් සම්මාන උලෙළේදී ඇයට ජීවිතයේ එක් වරක් පිදෙන ගෞරව සම්මානය පිරිනැමිණි. යථාර්ථවාදී රංග රීතියෙහි පරතෙර හඳුනා ගනිමින් එහි ප්‍රවීණත්වය පසක් කළ ප්‍රවීණ රංගවේදිනිය උදෙසා සිදුකළ මේ ගෞරව උපහාරය ඇයගේ සතුට සොම්නස සඳහා පමණක් නොව ශ්‍රී ලාංකේය සිනමා කලාවේ අනාගත බලාපොරොත්තු මල්ඵල ගැන්වීමක් ද වනු ඇත.
2025 වසරේ සම්පූර්ණ වූයේ සිංහල සිනමාවේ සියවැනි වසර යි. 1925 වසරේදී නිහඬ සිනමාවෙන් ඇරඹුණු මෙරට සිනමා කලාවට කතානාද සිනමාව එක් වන්නේ වර්ෂ 1947දී ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටය ආරම්භ වීමෙනි. කතානාද සිනමාවට වසර 79ක් සම්පූර්ණවීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත වී වසර 54ක් පිරීම පසුගියදා චිත්‍රපට සංස්ථාවේ පැවති සිනමා සමරු උලෙළේදී සිහි ගැන්වුණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාරිය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවයේදී අයිරාංගණී සේරසිංහ ප්‍රවීණ කලා ශිල්පිනියගේ සේයාරුව සහිත සමරු මුද්දරය සහ මුල් දින කවරය නිල වශයෙන් එළිදැක්වූයේ “1925 – 2025 ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” යන තේමාව යටතේ ය.
වර්ෂ 1927 ජුනි මස 09 වැනිදා රත්නපුර, රුවන්වැල්ලේ, මුදුගොමුවේ, මීදෙනිය වලව්වේ උපන් අයිරාංගණී රොක්සානා මීදෙණිය නම් වූ ඇයගේ පියා ජෝසප් හර්කියුලිස් මීදෙණිය නම් වූ රටේ මහත්තයා යි. මව වයලට් එල්ලාවල යි. අයිරාංගනී මීදෙණියගේ සීයා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රුවන්වැල්ල ආසනයට නිතරගයෙන් තේරී පත් වූ ජේ.එච්. මීදෙණිය අධිකාරම් ය. ඩී.ආර්. විජයවර්ධන සහ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ ඇයගේ මාමාවරුන් ය. මවු පාර්ශ්වයෙන්ද දේශපාලන ඥාතීන් බොහෝ විය. පවුලේ ගරු නම්බුවලින් හිස උදුම්මවා නොගත් ඇය ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමයටත්, පසුව බිෂොප් විදුහලටත් ගියා ය. පාසල් කාලයේ ඇය නර්තනයටත්, නාට්‍ය රංගනයටත් දස්කම් පෑවා ය. නර්තනයට කොතරම් ප්‍රිය වුවත් ගැහැනු දරුවන් නැටවීමට එකල සමාජයේ වැඩිහිටියෝ කිසිසේත් කැමැති නොවූයෙන් ඇයටද නර්තනය කෙරෙහි වූ ආශාවන් පාසලට පමණක් සීමා කරන්නට සිදු වුූයේය. උසස් පෙළ හදාරන්නට මහනුවර උසස් බාලිකා විදුහලට ගිය ඇය 1947 දී කලා උපාධිය හැදෑරීම සඳහා මහනුවර ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ සිය පියාගේ දැඩි අකැමැත්තෙනි. තම දක්ෂ දියණිය කලා උපාධියක් හැදෑරීම පිළිබඳ රටේ මහත්තයා කනගාටුවටත්, ලජ්ජාවටත් පත් වූයේ ය. විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේදී ඇයට පියා අහිමි විය. සිත් වේදනා දරා ගනිමින් ඇය කලා උපාධිය සම්පූර්ණ කළා ය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන අවධියේ මහාචාර්ය ඊ. එෆ්. සී. ලියුඩොක් ගේ මඟපෙන්වීම යටතේ ඇය කලාව හොඳින් හැදැරුවා ය. චිත්‍රසේනයන්ගේ ඉගැන්වීම මත ඇය දක්ෂ ලෙස නර්තනයද හැදෑරුවා ය. උපාධිය සම්පූර්ණ කළ ඇය මහාචාර්ය ඊ. එෆ්. සී. ලියුඩොක්ගේ නිර්දේශ මත ලන්ඩනයේ රෝයල් ඇකඩමි ඔෆ් ඩ්‍රැමටික් ආර්ට් සහ ද බ්‍රිස්ටල් ඕල්ඩ් තියටර් ස්කූල් හි නාට්‍යකරණය හැදෑරූ පළමු ශ්‍රී ලාංකේය ශිෂ්‍යාවද වූවා ය. එසේ වසර 3ක කාලයක් රංග කලාව විෂයය මැනවින් හදාරා නැවත ලංකාවට පැමිණි ඇයට මහාචාර්ය ඊ. එෆ්. සී. ලියුඩොක් සහ ඔස්ට්‍රියානු යුදෙව් අධ්‍යක්ෂවරයකු වන නියුමාන් ජුබල් ව මුණගැසීමෙන් ඇයගේ රංගන කලාවේ මුල් පියවර තබන්නී ය. ඒ ලයනල් වෙන්ඩ්ට් කලාගාරය ආරම්භ කරමින් නියුමාන් ජුබල් විසින් නිෂ්පාදනය කරන ලද මැක්සිම් ගෝර්කිගේ “The Lower Depths” වේදිකා නාට්‍යයෙහි රංගනයට එක්වෙමිනි. එය ඉංග්‍රීසි මාධ්‍ය නාට්‍යයකි. ඉංග්‍රීසි වේදිකා නාට්‍යවල රංගනයෙහි යෙදීමෙන් ඇයට වින්සන්ට් සේරසිංහ හමු විය. වින්සන්ට් හා අයිරාංගණී අතර වයස් පරතරය අවුරුදු දාහතක් වුවත් ඔහු තුළ වූ ගුණයහපත්කම් සහ ආදරණීය බව නිසා ඔහු හා විවාහ වූ ඇය එතැන් පටන් අයිරාංගණී සේරසිංහ නම් වූවා ය. ඇය සිතූ ලෙසම ඔහු ඇයට ආදරණීය ස්වාමි පුරුෂයෙක් සේම ඔවුන් දෙදෙනාගේ ආදරණීය පුතුන් දෙදෙනා රවි සහ රංජිත්ට ආදරණීය පියෙක් විය. රවි පුතා තරුණ වියේදී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් විය. ඇයව රැකබලා ගන්නේ රංජිත් පුතා සහ පවුලේ අයයි. වින්සන්ට් සේරසිංහ ද මීට වසර විසි හයකට පමණ පෙර මිය ගියේ ය.
පාසල් කාලයේ පටන් රංගනයට දස්කම් පෑ අයිරාංගණී සේරසිංහ සිංහල වේදිකා නාට්‍යවලට සම්බන්ධ වන්නේ හෙන්රි ජයසේනයන්ගේ ‘අපට පුතේ මඟක් නැතේ’ නාට්‍යයෙනි. පසුව ඇය ධම්ම ජාගොඩගේ නාට්‍යවලට සම්බන්ධ වුවා ය. සිනමා කර්මාන්තයට පිවිසීමට පෙර ඇය Times of Ceylon පුවත්පතේ සංස්කාරවරියක ලෙස කටයුතු කළා ය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේද කටයුතු කර ඇති ඇය සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කර ඇත. උපාධියෙන් පසුව මියුසියස් විද්‍යාලයේ ආචාර්යවරියක ලෙස කටයුතු කළ ඇය වේදිකාව, සිනමාව සේම පුංචි තිරයේ රංගවේදිනියක ලෙසින්ද ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත්තා ය. ඒ අතර ‘යශෝරාවය’ ටෙලි නාට්‍යයේ සුදු හාමිනේගේ චරිතයට පුංචි දරුවන්ගේ ද ආදරය නොමදව ලැබුණි. ‘දූ දරුවෝ’, ‘නෑදෑයෝ’, ‘අම්මයි තාත්තයි’, ‘සත් පුරවැසියෝ’, ‘මුතු කිරිල්ලි’ ටෙලි නාට්‍ය ද ඇය රඟපෑ ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකි. එසේ ම ‘ගම්පෙරළිය’ ටෙලි නාට්‍යයේ මාතර හාමිනේගේ චරිතය ඇය තුළින් නිරූපණය වූයේ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘ගම්පෙරළිය’ නවකතාවේ කතුවරයා වදනින් වදන විග්‍රහ කළ මාතර හාමිනේගේ චරිතයම ය. ඇය එහිදී එතරම්ම තාත්ත්වික රංග නිරූපණයක නිරත වූවා ය. ස්ත්‍රීත්වයත්, මාතෘත්වයත් සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය ඔස්සේ ප්‍රතිනිර්මාණය කිරීමේදී ප්‍රතිභාපූර්ණ රූපණවේදිනිය අයිරාංගණී සේරසිංහයන් දැක්වූ ප්‍රතිභාව වදනින් විග්‍රහ කළ හැකි නොවේ. ගමේ ගොඩේ මග තොටදී එදිනෙදා හමුවන ජනයාගේ හැසිරීම් හා ඉරියව් නිරීක්ෂණය කිරීමෙන් තම රංගනයේදී එම ස්වභාවයන් නිරුත්සාහික ව ප්‍රතිනිර්මාණය කරන බව ඇය වරක් ප්‍රකාශ කර තිබිණි.
“මම දැන් මාධ්‍යවලට කතා කරන්නේ නැහැ. වයසයිනේ… නිතර ම ඇඳේ වැතිරිලා තමයි ඉන්නේ.. ඒක ඇඟට පහසුයි. ලෙඩක්, දුකක්, අසනීපයක් නැහැ. මුණුබුරු මිණිබිරියන් එක්ක සතුටින්, නිදහසේ ඉන්නවා. ගෙදර හැමෝම මං ගැන බලනවා. මට සමහර දේවල් දැන් හරියට මතකත් නැහැ. වයසට ගිහිල්ලත් තවම මට සම්මාන, ඇගයීම් ලැබෙනවා. නිහතමානී සතුටක් දැනෙනවා. ආගම දහම අනුව ජීවිතය දකිමින් ඉන්නවා. මම ගහකොළ, පරිසරයේ සුන්දරත්වය අත්වින්දා. සත්ත්වයින්ට කාරුණිකයි. නිර්මාංසයි. කාත් එක්කවත් ගැටීම් නැහැ. හැමෝම මා එක්ක සුහදයි. වසර ගණනාවක් තිස්සේ මගේ ආදරණීය රසික ප්‍රේක්ෂක පිරිස නිරතුරුව මාව ධෛර්වත් කරමින් මා සමඟ හදවත්වලින් අත්වැල් බැඳන් ඉන්නවා. ” ඇය සිනහසෙමින් කීවා ය. ඇයට සතුට ලබා දෙන සැමටම ඇයගේ ස්තුතිය ද පිළිගන්වන්නට ඇය අමතක නොකළා ය. සම්මානනීය, ප්‍රතිභාපූර්ණ, නිහතමානී රංග කලාවේදිනියනි ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා….!