කට්ටක් කාල හරි යන ගමන කොහොම හරි යනවා…! ෂාවින්ද ලක්ෂාන්

gossiplanka image 2
 


කලා ක්ෂේත්‍රයේ දිගු ගමනකට සිහින දකින ශාවින්ද ලක්ෂාන් අපට මේ දිනවල හමුවන්නේ ‘පට්ටිගෙදර’ ටෙලිනාට්‍යයේ ‘හිච්චා’ ලෙසයි. දඩබ්බර හිතුවක්කාර චරිතයකින් ‘පට්ටිගෙදර’ හරහා ඔබ හමුවට එන ඔහු සමගයි අපි මේ කතාබහ කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ශාවින්ද තම කලා දිවියේ ප්‍රථම වරට ජාතික පුවත්පතක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙන්නේ මව්රට පුවත්පතේ ‘හාට්’ අප සමගයි.

‘හිච්චා’ කියලාම කතා කරන්නද?

කිසිම ප්‍රශ්නයක් නැහැ. මාව ඉතින් කොහොමත් ගොඩ දෙනෙක් දන්නේ හිච්චා විදියට. ඒ තරමට නොසිතූ විදියට හිච්චා ජනප්‍රිය වුණා පට්ටිගෙදර ටෙලිනාට්‍යය නිසා.

ඔබේ ගම් පළාත කොහෙද?

මම නාරාහේන්පිට. මම පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට.

කුඩා අවධියේ දැකපු සිහිනයක ප්‍රතිඵලයක්ද මේ?

මගෙයි අයියාගෙයි ලොකු ආශාවක් තිබුණා කලාවට සම්බන්ධ වෙන්න. අපි දෙන්නා ට්වින්ස්ලා. පාසල් වේදිකාවෙන් ලබපු අත්දැකීම් එක්ක දවසක නළුවෙක් වෙනවා කියලා හිතාගෙන, ඒ වෙනුවෙන් පාර හදාගෙන ආවා.

අපි කැමැතියි පාර හදාගත්ත විදියත් දැනගන්න?

අපි දෙන්නම මුලින්ම හිතුවේ හැදෑරීමක් ඇතිව මේ ගමන ගියොත් හොඳයි කියලා. මුලින්ම මම සුදර්ශන බණ්ඩාර අයියගේ රංගන පාසලට සම්බන්ධ වුණා. ඒ හැදෑරීම අවසන් කරලා මහේන්ද්‍ර පෙරේරා සර්ගේ රංගන පාසලට සම්බන්ධ වුණා. තවමත් රංගනය හදාරමින් කලා කටයුතු සඳහා සම්බන්ධ වෙනවා. මේ විෂය ඉගෙනගෙන අවසන් කරන්න බැරි තරම් විශාල පරාසයක විහිදුණු එකක්. තවදුරටත් මේ විෂය ගැන හදාරන්න තමයි මගේ බලාපොරොත්තුව.

ශාවින්දව අපි මුලින්ම දැක්කේ මෝහිනීගෙන්. ඒ හරහා ඔබ ඇගයීමටත් ලක්වුණා?

සනුක වික්‍රමසිංහගේ ‘මෝහිනී’ මියුසික් වීඩියෝ එකට තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. 2025 දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලෙලේ මෙස්ට් ඇක්ටර් මියුසික් වීඩියෝ සම්මානය මට ලැබුණා. ඔය විදියට වැඩ කරගෙන යනකොට තමයි අනුෂ්ක අයියාගේ පට්ටිගෙදර හිච්චා චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ.

හිච්චා, ඔබේ සැබෑ ජීවන චරිතයට වඩා හාත්පසින්ම වෙනස් ඇති?

අම්මෝ ඔව්. ඒ තරම් මම නපුරු නැහැ. වලියට බර කෙනෙක් නෙවෙයි. හිතේ පොඩි බයක් තිබුණා හිච්චා චරිතය කරනකොට. හැබැයි අනුෂ්ක අයියා ඇතුළු පට්ටිගෙදර කණ්ඩායම මට ගොඩක් උදව් කළා. ඒ දුන්න සහායත් එක්ක තමයි හිච්චාව මේ තරම් ප්‍රේක්ෂකයන් අතරට ගියේ.

සමහරු නම් හිච්චට ඒ තරම් කැමැති නැහැ?

ඔව්. ඉතින් මම හිතුවක්කාරයි. පොඩ්ඩක් ඇත්තම් අක්කලා, අයියලා එක්ක රණ්ඩුවට පැටලෙන නිසා. එහෙම ඉතින් ප්‍රතිචාර ලැබෙන්නේ මම චරිතයට සාධාරණයක් කරලා ඇති කියලා හිතෙනවා. හොඳ නරක ප්‍රතිචාර දෙකම මම සතුටින් භාරගන්නවා.

දිගටම කලා ක්ෂේත්‍රයේ රැඳෙන්නද බලාපොරොත්තුව?

අනිවාර්යයෙන්. මම හිතනවා මගේ තෝරාගැනීම හරි කියලා. කට්ටක් කාලා හරි මම මේ ගමන ඉදිරියටම යනවා කොහොම හරි.

අයියා සමග එකට රඟපාන්න අවස්ථාවක් ලැබුණේ නැද්ද තවම?

‘රස්තා පෙරනිමිත්තක්’ වේදිකා නාට්‍යයේ අපි දෙන්නම එකට රඟපෑවා. 2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ අපේ නාට්‍යයට ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. ලොකු ආශාවක් තියෙනවා අයියා සමග එකට රඟපානවා තිරයේ දකින්න. ඒ සිහිනයත් සැබෑ වේවි කියලා මම හිතනවා.

දැන් ඊළඟ අඩිය තියන්නේ සිනමාවටද?

ඕනෑම රංගන ශිල්පියෙක්ගේ එකම සිහිනය සිනමාව පැත්තෙන් ඉදිරියට යන්න. මගෙත් එහෙමයි. හැබැයි ඉතින් මගේ දක්ෂතාව ප්‍රේක්ෂකයන්ට රසවිඳින්න පුළුවන් හොඳ නිර්මාණයක් නම් පැත්තක් නොබලා සම්බන්ධ වෙනවා. රුක්මාල් නිරෝෂ්ගේ අළු පැහැ වලාකුළක් චිත්‍රපටයට මම සම්බන්ධ වුණා. ඉදිරියේදී මගේ සිහිනයත් සැබෑ වෙයි සිනමාවෙන්.

gossiplanka image 1
Previous Post Next Post