අසම්මත ප්‍රේම චරිතවලට දෝෂාරෝපණ වැඩියි තිළිණි ජයමාලි

gossiplanka image 2
 කුඩා කල පටන් වේදිකාවෙන් ලැබූ පන්නරයත්, අත්දැකීම් සමුදායත් පෙරදැරි කරගත් ඇය, අද වන විට තමන්ටම අනන්‍ය වූ රංගන ශෛලියකින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් අපූරු පෞරුෂයකින් යුක්තය. ලැබෙන ඕනෑම චරිතයකට උපරිම සාධාරණයක් ඉටු කරමින්, ප්‍රේක්ෂක ආදරය සහ ගෞරවය එකසේ දිනාගත් ඇය තිළිණි ජයමාලිය. මේ පිළිසඳර ඇය සමඟිනි


තිළිණි කොහොමද මේ දවස්වල වැඩකටයුතු?


මේ දවස්වල විසේකාරී, සින්ටෝ ටෙලිනාට්‍යය දෙකේ රූගත කිරීම්වලට යනවා. ඊට අමතරව මම වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. චාමික හත්ලාවත්තගේ කොළඹ හතේ සහ සුරේෂ් මදුෂාන්ගේ විෂම සම කියන වේදිකා නාට්‍යයට.


රංගන ක්ෂේත්‍රයට පිවිසුණු විදිහත් කියමුද?


මම මුලින්ම රංගනයට පිවිසෙන්නේ වේදිකා නාට්‍යවලින්. එතකොට මට අවුරුදු දහයයි. මම රාජ්‍ය නාට්‍ය උලෙළේ සුදු බබා සහ කළු පූසි කියන නාට්‍යයන්ට සම්බන්ධ වෙනවා. ඒක තමා මම පළමුවෙන් රංගනයෙන් දායක වුණු වේදිකා නාට්‍යය. ඊට පස්සේ මට තව වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙනවා. පසුව මට ටෙලි නාට්‍යවල පොඩි පොඩි චරිතවලට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒත් ප්‍රේක්ෂකයන් මාව අඳුර ගන්නේ අසංක සායක්කාර රචනා කරපු Inter නැසනල් -2 කියන නාට්‍යයෙන්. ඒකෙ මම රඟපාන්නේ හුංගි කියන චරිතය. ඒ චරිතයෙන් තමයි මට ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය ලබන්න පුළුවන් වෙන්නේ.


ඒ වුණත් සින්ටෝ ටෙලි නාට්‍යයේ සිතාරගෙ චරිතයට ප්‍රේක්ෂකයන්ගෙන් බැණුම් අහනවා නේද?


ඔව්. සිතාරගෙ චරිතය කියන්නේ සමාජ සම්මතයට අනුව අසම්මත ප්‍රේමයක පැටලුණු චරිතයක්. ඒ වගේ චරිතයකට සමාජයෙන් ලැබෙන දෝෂාරෝපණ වැඩියි. මං හිතන්නේ ඒක නිසා තමයි මේ චරිතයට ප්‍රේක්ෂකයන් ගොඩක් බණින්නේ. ප්‍රේක්ෂකයෝ මේක ටෙලි නාට්‍යයක් කියන එක අමතක කරලා සාමාන්‍ය ජීවිතේ ළඟම කෙනෙකුට සිද්ධ වුණු දෙයක් විදිහට අරගෙන තමයි ප්‍රතිචාර දක්වන්නේ.


පොඩි ළමයි එක්ක වැඩ කරනකොට ලැබෙන අත්දැකීම් කොහොමද?


පොඩි දරුවෝ එක්ක වැඩ කරද්දි හරිම සුන්දර අවස්ථා තියෙනවා. හැබැයි ඒක ලේසි නෑ. ඒ චූටි බබාලාව රූගත කිරීම්වලට ගෙන්නන්නේ පැය කිහිපයකට විතරයි. ඒ වෙලාව ඇතුළත එයාලා බය වෙයි, අඬයි කියලා අපි හැමෝම හරිම පරිස්සමෙන් වැඩ කරන්නේ. එක අවස්ථාවක් තිබුණා එදා බබා මගෙ ළඟට එන්නෙම නැහැ අඬනවා. එහෙම වෙලා තියෙන්නෙ මම එදා ඇඳන් හිටියේ දුඹුරු පාට ඇඳුමක්. ඒ බබා දුඹුරු පාටට කැමති නෑලු. ඒක නිසාලු අඬලා තියෙන්නේ. ඔය වගේ දේවලුත් වෙලා තියෙනවා බබාලා එක්ක වැඩ කරද්දි.


විසේකාරී ටෙලිනාට්‍යයේ උවීගෙ චරිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද?


මේ කතාවට මට ආරාධනා කරන්නේ ඉන්දික ධර්මතිලක අධ්‍යක්ෂකවරයා. හැබැයි මම උවී චරිතය කරන්න නම් නෙවෙයි සූදානම් වෙලා ගියේ වෙන චරිතයක් කරන්න. ඒත් මම පළවෙනි දවසේ රූගත කිරීම්වලට ගියහම එතන ඇතිවුණු ප්‍රශ්නයක් නිසා අධ්‍යක්ෂවරයා මට කිව්වා උවීගෙ චරිතය කරන්න කියලා. එහෙම තමයි මට මේ උවීගෙ චරිතය ලැබෙන්නේ.


ඒ චරිතයට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?


උවී චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒත් සමහර ප්‍රතිචාර නම් තියෙනවා කැම්පස් ළමයි ඔච්චර මෝඩ වෙන්න පුළුවන්ද කියලා අහන. මම කරන්නේ මට ලැබිලා තියෙන චරිතයනෙ. ඉතින් ඒකට ප්‍රේක්ෂකයන්ට ඕන ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන්. අපි ඒවගේ හොඳ නරක දෙකම භාරගන්න ඕන.


නිර්මාණවලට සම්බන්ධ වීමේදී තෝරා ගැනීම් සිදු කරනවාද?


මම ලොකුවට නිර්මාණ තෝරා ගැනීම් සිද්ධ කරන්නේ නැහැ. තිර පිටපත ලියන්නේ කවුද?, මට කරන්න තියෙන චරිතය මොකක්ද?, රඟපාන්න ඉන්න අනික් නළු නිළියො කවුද? ඒ වගේ පොදු දේවල් තමයි හොයලා බලන්නේ.


සිනමාවට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද?


අදහසක් තියෙනවා. මේ වෙනකොට ආරාධනා දෙකක් ලැබිලත් තියෙනවා.


කලා කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


කලා කටයුතුවලට පවුලෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මත් කලාවට ළැදි කෙනෙක්. ඒ වගේම අපේ ගෙදර සියලු දෙනාම කලාවට ප්‍රිය කරනවා. ටෙලි නාට්‍යවල චරිත තෝරාගැනීමේදී එයාල මට කිසිම බලපෑමක් කරන්නේ නැහැ. මට කැමති මොකක්ද ඒ දේ තෝරගන්න කියලා තමයි හැමදාම කියන්නේ. එයාලා නිසා තමයි මම මගේ වැඩ කටයුතු හොඳින් කරගෙන යන්නෙ. ඒ වගේම දමින්ද නන්දරත්න මගේ ආදරවන්තයාත් මතක් කරන්න ඕන. එයත් මට ලොකු සහයෝගයක් ලබා දෙනවා. මම රඟපාන චරිත දිහා බලලා වැරදි අඩුපාඩු මට කියලා දෙනවා. ඒ වගේම මට කිසිම බාධාවක් නැතිව නිදහසේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව මට හදල දෙනවා.


ඉදිරි වැඩකටයුතු ගැනත් ටිකක් දැනගන්න කැමතියි?


මට ටෙලි නාට්‍ය දෙකකට හා චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ වගේ රූගත කිරීම් ඉදිරියේදී පටන් ගන්නවා. සිංදුවක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව මම රංගනයෙන් දායක වුණු කොළඹ හතේ තොරණ වේදිකා නාට්‍යය ඉන්දියාවේ භාරත් රංග මහෝත්සව උලෙළට තේරිලා තියෙනවා. ඒ නිසා එයට සහභාගි වීමට යන ඉන්දියානු සංචාරයට එක් වෙන්නත් සූදානමින් ඉන්නවා.

gossiplanka image 1
Previous Post Next Post