හිතේ හයිය තියෙනව ඒ ගමන යන්න පුළුවන් -තිනෙරු විජේසිංහ

gossiplanka image 2
 හුණු කූරෙන් දැයේ දරුවන්ගේ නැණැස පාදන ගුරු පියෙක් ලෙසත්, රූපවාහිනී තිරයේ ප්‍රේක්ෂක හදවත් දිනූ රංගන ශිල්පියකු ලෙසත් තිනෙරු විජේසිංහ අද ජනප්‍රිය තරුවක්. කුලියාපිටියෙන් ඇරඹි ඒ නිහතමානී ගමන, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර උපාධිය දක්වා අධ්‍යාපනයෙන් ඔපවත්ව නොසැලෙන ආත්ම ශක්තියෙන් ඉදිරියට යන මේ තරුණයාගේ ජයග්‍රාහී මාවත ගැන කතාකරන්න ‘හාට්’ අපි ඔහුත් එක්ක කතාබහක යෙදුණා.

තිනෙරු, කවුද ඇත්තටම මේ තිනෙරු විජේසිංහ කියන්නේ?

ජීවිතයේ ආත්ම ශක්තිය පෙරදැරිව ඉතා දුර ගමනක් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න නිහතමානී පුද්ගලයෙක්.

ඔබ හැදීවැඩුණු පරිසරය සහ පාසල් ජීවිතය ගැන මතකය අවදි කළොත්?

මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ, කුලියාපිටියට අයත් මොරගනය කියන හරිම ලස්සන ගමක තමයි හැදුණේ. 5 වසර දක්වා ඉගෙන ගත්තේ මොරගනය ගමේ පාසලේ. 2008 වසරේ ශිෂ්‍යත්වයෙන් සමත් වෙලා මම කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. මම එතනින් එහාට වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේ ඒ පාසලෙන්. ගමේ තිබුණ නිදහස සහ සුන්දරත්වය මගේ ජීවිතයට ලොකු බලපෑමක් කළා. අදටත් විවේකයක් ලැබුණු ගමන් මම දුවන්නේ ගමට.

එදා පුංචි කාලේ දැකපු හීනය අද ඔබ ඉන්න තැනයි ගැන මොකද හිතෙන්නේ?

මගේ හීනය නම් තව ගොඩක් ඈතයි. නමුත් මම දැන් ඒ පාරේ නිවැරදිව ගමන් කරමින් ඉන්නවා. මගේ ඉලක්කවලින් මේ වෙද්දී 40% – 50% වගේ ප්‍රමාණයක් මම සම්පූර්ණ කරලා තියෙන්නේ. ඇත්තටම කියනවා නම්, මේ වයස වෙද්දී මම ඉන්න ඕනෙ කියලා හිතපු තැනට වඩා ඉහළ තැනකට එන්න මට පුළුවන් වෙලා තියෙනවා.

පාසල් කාලයේ තිනෙරු කියන්නේ මොන වගේ චරිතයක්ද? එදත් ඔබ ජනප්‍රියද?

එදත් මම පාසලේ ජනප්‍රිය චරිතයක්. ඒකට නම් විවිධ හේතු තිබ්බා. මම පාසල් කාලේ හොඳට ක්‍රීඩා කළා. මම දක්ෂ කෙටි දුර ධාවන ශූරයෙක්. මීටර් 100 ධාවන තරගයෙන් මම කලාප වාර්තා පවා තියලා තියෙනවා. ඒ වගේම පාසල් කාලයේ ප්‍රේම සම්බන්ධතා කිහිපයකුත් තිබුණා. පොඩි කාලේ ඉඳන්ම ටිකක් කැපීපෙනුණා මා තුළ තිබුණ දක්ෂතා නිසා.

රංගනයට අවස්ථාව තිබියදී ‘ගුරු වෘත්තිය’ තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණාද?

මගේ අම්මා සහ තාත්තා දෙන්නම විශ්‍රාමික විදුහල්පතිවරු. මගේ පවුලේ බොහෝ දෙනෙක් ගුරුවරු. ඒ නිසා මට ගුරු වෘත්තියට සහජයෙන්ම ආභාෂය සහ ආසාව තිබුණා. ළමයි එක්ක ඉන්නකොට දැනෙන සතුට, ඔවුන්ගෙන් ලැබෙන අලුත් තොරතුරු මගේ මුහුණේ හිනාව හැමදාම රඳවලා තබනවා. ඒ නිදහසට මම ගොඩක් ආදරෙයි.

රංගනය කියන්නේ හීනයක්ද? නැත්නම් අහම්බයක්ද?

රංගනය සම්පූර්ණයෙන්ම අහම්බයක්. මම උසස් පෙළට හැදෑරුවේ ගණිත අංශය. පාසල් කාලයේවත් රංගනය ඉගෙනගෙන තිබුණේ නැහැ. නමුත් මට ආසාවක් තිබ්බා රංගනයට එන්න. ඒ නිසා මම රංගනයට සම්බන්ධ වුණා.

අද ඔබ වටා ඉන්න මේ රසිකයන්ගේ ආදරය හෙට නැති වෙයි කියලා බයක් නැද්ද?

නැහැ. මොකද අපි ජීවත් වෙන්නේ ආදරය මතම නෙවෙයි. අපිට ආත්ම ශක්තිය තියෙනවා නම්, ආදරය තිබුණත් නැතත් අපිට අපේ ගමන යන්න පුළුවන්. ඒ නිසා මට එහෙම බයක් දැනෙන්නේ නැහැ.

gossiplanka image 1
Previous Post Next Post