මෑත කාලයේ අලුතින් ටෙලි කලාවට ආව නිළියන් අතර ‘ලෝචනා ඉසුරින්දි’ හුඟක්ම සුවිශේෂ කෙනෙක් කියලා විවාදයක් නැතිව කියන්න පුළුවන්. ලෝචනා ඉසුරින්දි කියන නමට වැඩිය බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ‘ඉරගිනි මද්දහන’ ටෙලි කතාවේ ‘චූටි’ විදියට එහෙමත් නැත්නම් මේ දවස්වල විකාශය වන ‘පට්ටි ගෙදර’ මාලි හෝ බේබි විදියටයි.
ඒ මොන විදියට හැඳින්වුවත් ලෝචනා කියන්නේ එකෙන්ම නවකයන් අතර අතිදක්ෂ සුපිරි ටෙලි තරුවක්. කෙටි කාලයකින්ම සම්මානනීය වූ ටෙලි තරුවක්. ඒ නිසාමයි ‘මව්රට’ ‘හාට්’ එකට පොඩ්ඩකට ඇවිදින් යන්න එන්නය කියලා අපි ඇයට ආරාධනා කළේ. හරි සිනහ මුසුව නිහතමානීව ඈ ඒ ආරාධනාව පිළිගත්තා.
කොහොමද ලෝචනා ඉතින් ඔබේ සුව දුක් සහ අලුත් තොරතුරු?
මම සුවෙන් ඉන්නවා. සතුටින් කාලය ගතකරනවා. මේ දවස්වල ‘පට්ටි ගෙදර’ ෂූටින්වලට යනවා එනවා. රංගනයෙන් දායක වූ ටෙලි ඩ්‍රාමා කිහිපයක්ම විකාශය වීමට නියමිතව තිබෙනවා. ඒ අතර මගේ ගුරු වෘත්තියත් ව්‍යාපාරයත් අතර දවස ගෙවනවා.
ඔබේ පළමු ටෙලි නිර්මාණය ‘ඉරගිනි මද්දහන’ නෙවෙයි.
නැහැ. මුලින්ම මට ටෙලි තිරයට එන්න ආරාධනා සහ ඉඟි ලැබෙන්නේ 2015 අවුරුද්දෙයි. ඒ ඇයි කියනවා නම් මම ඒ අවුරුද්දේ හේමාස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වූ අවුරුදු කුමාරි තරගයක අවුරුදු කුමාරි ලෙස කිරුළ පලඳිනවා. ඊට පසු රූපවාහිනී චැනල් කිහිපයකින්ම පැවැත්වූ අවුරුදු කුමාරි තරග කිහිපයකටද මම සහභාගි වෙනවා. අන්න එතැනදී තමයි රංගනයට ඇරයුම් එන්නේ. ඒත් මට ඒ වෙනුවෙන් කාලය දෙන්න බැරි වෙනවා. මොකද එතකොටත් මම ඉන්නේ මගේ අධ්‍යාපන කටයුතුවල හිරවෙලයි. ඒ නිසා මම රංගනයට එන්න තියෙන කැමැත්ත යටපත් කරගන්නවා.
‘ඉරගිනි මද්දහන’ට ආරාධනා ලැබුණෙ ඉන් පස්සෙද?
තවම මම ඉරගිනි මද්දහනට ඇවිදින් නැහැ. අධ්‍යාපන කටයුතු හමාර වෙලා ගුරු වෘත්තියේ පත්වීම ලැබුණට පස්සේ ගෙවීයන ගාය තුළදී ‘මිහිකතගේ හුස්ම’ ටෙලියට කුලුඳුලේම ආරාධනා ලැබෙනවා. ඒ ආරාධනාව ලැබෙන්නේ මධු රත්නායක සහ කුමාරි විජේතුංග යන අක්කලාගේ අනුග්‍රහය නිසයි. ‘මිහිකතගේ හුස්මට’ පස්සේ තව ටෙලි කිහිපයක පොඩි චරිත ලැබුණා. ඒත් ඉතින් නිළිකම ගැන උමතුවක් හෝ පස්සෙන් යන උනන්දුවක් ඒ වනවිටත් ලොකුවට හිතේ තිබුණේ නැහැ කියමුකො.
ඒ අතර තමයි ඉරගිනි මද්දහනට ආරාධනා ලැබෙන්නේ. ලලිත් රෝහිත එදිරිසිංහ අයියගෙන් තමයි ඒ ආරාධනාව ආවේ. එතැනත් ඔන්න ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙ ෂූටින්වලට යන්න එන්න තියෙන දුර ප්‍රමාණය. මගේ ගම කලවාන. ඉරගිනි මද්දහන ෂූටින් තිබුණේ ඊට යොදුන් ගණනක් ඈත. ඒ තරම් අපූරු චරිතයක් රිජෙක්ට් කරන අදහස තමයි තිබුණේ. ඒත් තිර නාටකය කියෙව්වම චූටිගේ චරිතය ගැන හිතුවම ඒක රිජෙක්ට් කරන්න හරි ලෝභ හිතුණා. අම්මට මාව දැනුණා. ඈ හරිම දයාවෙන් මට කියනවා ඒ ටෙලි චරිතය භාරගන්න, මගේ තනි නොතනියට එයා ළඟින්ම ඉන්නම් කියලා. ඉරගිනි මද්දහන භාරගත්තා. චූටිට රඟපෑවා. ඒ සෙට් එකේ ගෙවුණු ලස්සනම ලස්සන කාලෙත් චූටිගේ චරිතයට ලැබුණු නොසිතූ ප්‍රතිචාරයත් නිසා ඔන්න රංගනය සහ නිළිකම ගැන පුදුම ආශාවක් හිතට ආවා.
චූටිගෙ චරිතය නිසා ඔබ සම්මානනීය වුණා?
තුන් පාරක් සම්මාන ලැබුණා. හොඳම නැගීඑන නිළිය ලෙස සම්මාන දෙකකුත්, හොඳම සහාය නිළිය ලෙස එක පාරකත් සම්මානයට පාත්‍ර වුණා.
චූටිගේ චරිතයෙන් තමයි ඔබ ප්‍රේක්ෂක සිතට සමීප වුණේ?
ඔව්. එතැනින් තමයි මට යමක් කරන්න පුළුවන් කියන හැඟීම ප්‍රේක්ෂකයන්ට වගේම ටෙලි නිර්මාණකරුවන්ටත් දැනුණේ. කතාබහට ලක්වන හිතට දැනෙන්න රඟපාන්න පුළුවන් චරිත ලැබෙන්න ගත්තේ ඊට පස්සෙයි.
‘පට්ටි ගෙදර’ අධ්‍යක්ෂ අනුෂ්ක රසාංන ද සිල්වා බේබිගෙ චරිතයට මට ආරාධනා කළා. ඔහු ප්‍රවීණ නිර්මාණ ශිල්පියෙක්. අනෙක බට්ටිගෙ චරිතයෙ තිබුණු විශේෂත්වයන් නිසා ඒ චරිතය මම හුඟක් ආශාවෙන් භාරගත්තේ. ඒ වගේ හොඳ චරිත ලැබුණෙ චූටි නිසයි. මගේ රංගන ජීවිතයේ ටර්නින් පොයින්ට් එක. චූටිගෙ චරිත නිරූපණයයි.
සමහර හොඳ චරිත රිජෙක්ට් කරන්නේ ඇයි කියලා ඇහුවොත්?
මට නොගැළපෙන චරිත හිතට එකඟව රඟපාන්න බැරි චරිත මම භාරගන්නේ නැහැ.
එයට හේතුව ඔබ ගුරුවරියක් ලෙස රැකියාව කිරීමද?
සුවිශේෂම හේතුව එයයි. ගුරුවරියක ලෙස මම මගේ සිසු දරුවන්ට ආදර්ශයක් විය යුතුයි. ඔවුන්ට මුහුණ දෙන්න බැරි මට්ටමක චරිතයක් රූපවාහිනියේ විකාශය වනවිට ගුරුවරියක ලෙස මම පාසලට ගොඩවෙන්නේ කොහොමදැයි කියන කාරණය මට කවදාවත් අමතක කරන්න බැහැ. අනෙක මට මගේ පවුලෙ අය ගැනත් එතැනදී හුඟක්ම හිතනවා.
ඔය සියලු කරුණු මැද සම්මාන ගන්නට පවා පුළුවන් හොඳ චරිතයන් ඔබ රිජෙක්ට් කළා?
සත්තකින්ම ඔව්. ඉතාම සුහදව එම නිර්මාණකරුවන්ට මම කරුණු වටහාදීලා මම එවැනි චරිත ප්‍රතික්ෂේප කරනවා.
ලලිත් රෝහිත එදිරිසිංහගේ ‘දොරකඩ දෙවොල’ ටෙලිය රිජෙක්ට් වුණෙත් ඒ කාරණය නිසාද?
අපොයි නැහැ. දොරකඩ දෙවොල ටෙලියට ලැබුණු ආරාධනාව. විශේෂයෙන් චූටිව මගේ ජීවිතයට නිර්මාණය කරදුන් රෝහිත අයියාගේ ටෙලිය අතහරින්න සිද්ධ වුණේ දින ගණන් ප්‍රශ්නය නිසයි. හුඟක් දුකෙන් හිතේ අමාරුවෙන් කළ එපා කිරීමක්. තවමත් ඒ ගැන හිතට වේදනයි. රෝහිත අයියා එක්කත් මම ඒ ගැන කතා කළේ මනස්තාප හිතින්.
කියන්න තව යමක් තියෙනවද ලෝචනා?
යම් කෙනකුට යම් විශේෂයක් හිතට දැනෙන ආකාරයට ලෝචනා ඉසුරින්දි කියන මාව මේ තැන තියන්න දායක වෙච්ච හැම නිර්මාණකරුවකුටම වගේ මම ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් හද පතුලෙන්ම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා.