උමා අක්කා ඇත්තටම කනට ගැහුවා – දුමී වන්නිආරච්චි

gossiplanka image 2
 

ඇය නර්තන ශිල්පිනියක්. ඒ වගේම රංගනය පිළිබඳ විශේෂවේදී උපාධිධාරිනියක්. නර්තනයට ඇති දක්‍ෂතාව නිසාම ‘දොරකඩ දෙවොල’ ටෙලි නිර්මාණයේ ‘පද්මලතා’ ලෙස චරිත නිරූපණය කරන්න ඇයට අවස්ථාව ලැබෙනව.


දුමී වන්නිආරච්චි මොනවද පද්මලතා ගැන කියන්නෙ. අපි අහල බලමු.


දුමී, ‘පද්මලතා’ ගැන රසිකයො මොකද කියන්නෙ?


ඇත්තටම පළමු කොටසෙ ඉඳන්ම පද්මලතාට ඉතාමත් හොඳ ප්‍රතිචාරයක් ලැබෙනව. නමුත් මේකෙ දෙපැත්තක් තියෙනව. චරිතය දිහා බලල ඒකට බණින අයත් නැතිවම නොවෙයි.



අධ්‍යක්‍ෂවරයා මොකද කියන්නෙ?


මෙහි අධ්‍යක්‍ෂවරයා වන ලලිත් අයිය ගැන කියන්නම ඕන. ඔහු ඉතාමත් උනන්දුවෙන් තමන්ගෙ නිර්මාණය වෙනුවෙන් දායකත්වය ලබාදෙන අධ්‍යක්‍ෂවරයෙක්. හැමවෙලාවෙම හිතන්නෙ රංගන ශිල්පියාගෙ පැත්තෙන්. නිතරම ශිල්පියා වෙනුවෙන් පෙනී ඉන්නව. ඔහුත් එක්ක වැඩකරන්න ලැබීම මගේ වාසනාවක් කියලයි මම හිතන්නෙ. ලලිත් අයියා ඇතුළු මගෙ වටේ ඉන්න අය කියන්නෙ, මම ඒ චරිතය හොඳින් ප්ලේ කරන නිසා තමයි ප්‍රේක්‍ෂකයන්ට එහෙම ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙලා තියෙන්නෙ කියල.


කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?


ඇත්තටම මම ලලිත් රෝහිත අයියගෙ වැඩක් කරන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. ආරාධනය ලැබෙන්න දවස් දෙකකට කලින් මම අපේ අම්මත් එක්කත් කිව්වා ඉරගිනි මද්දහනෙ අධ්‍යක්‍ෂවරයාත් එක්ක වැඩක් කරන්න තිබුණා නම් හොඳයි කියල. ඒ අතර තමයි සහය අධ්‍යක්‍ෂ ප්‍රියන්ත අයියා මට මේ ආරාධනය කරන්නෙ. ඒ සඳහා විශේෂම හේතුව වුණේ මගේ නර්තන හැකියාව. මේ ගැන චන්දන ඉරුගල්බණ්ඩාර අයියට සහ ප්‍රියන්ත අයියට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද ඔවුන් තමයි මං ගැන ලලිත් අයියට කියන්නෙ.



පද්මලතා ගැන කතා කළොත්?


පද්මලතා කියන්නෙ තමන්ගෙ සතුට වෙනුවෙන් සාම්ප්‍රදායික රාමුවෙන් පිටතට පනින්න උත්සාහ කරන කෙනෙක්. ඇයව ඒ තත්ත්වයට පත්කරල තියෙන්නෙ සමාජය විසින්මයි.


මේ දවස්වල පද්මලතාගෙ සහ දාවිත්ගෙ වීඩියෝ ක්ලිප්ස් සමාජ මාධ්‍යයේ වෛරල් වෙනව?


රංගන ශිල්පිනියක් හැටියට මම දායක වුණ නිර්මාණයක කොටස් මේ විදිහට වෛරල් වෙන එක ගැනනම් සතුටුයි. නමුත් ඒවා ප්‍රේක්‍ෂකයා වෙත යන්නෙ මොන ආකාරයෙන්ද කියල බැලුවාම පොඩි කනගාටුවකුත් තියෙනව. මොකද සමහර වෙලාවට චරිතය තුළින් අපේ පෞද්ගලික ජීවිතේ ගැන අදහසක් ගන්න ඇතැම් අය උත්සාහ කරනව.


එවැනි පසුබිමක් තුළ මේ චරිතය නිරූපණය කිරීම අභියෝගයක් වුණාද?


ඔව්, ඇත්තටම මේ සාධක නිසා පද්මලතාගෙ චරිතය නිරූපණය කිරීම මට ලොකු අභියෝගයක් වුණා.


පද්මලතා සහ දුමී අතර එක සමානකමක් තියෙනව?


ඔව්, අපේ චරිත දෙකේ තියෙන එකම සමානකම තමයි නර්තන ශිල්පිනියක් වීම.


චරිතය වෙනුවෙන් බොහොම වෙහෙස මහන්සි වුණා?


මේ චරිතය ෂූටිං කරන්න ගතවුණ සති හතරක කාලය තුළ මගෙ පවුලේ අය වගේම අපේ කණ්ඩායමේ හැමෝම ගොඩක් මහන්සි වුණා වගේම ලොකු අභියෝගයක් භාර ගත්තා.


අකරතැබ්බවලටත් මුහුණ දෙන්න සිදු වුණාලු?


ඔව්, මට ඒ පරිසරය හරි නුහුරුයි. වැලි ගෑවුණ ගමන් මාව කසල පලු දානව. එහෙම අවස්ථාවල බෙහෙත් ගන්න යන්න පවා සිදු වුණා.


පද්මලතා, දුමී තුළ හිටපු නර්තන ශිල්පිනිය නැවත අවදි කළා?


ඔව්, පද්මලතා නිසා අවුරුදු ගාණකට පස්සෙ දුමී තුළ හිටපු නර්තන ශිල්පිනිය නැවතත් පුහුණුවීම් පටන්ගත්තා.


උමා අසෙනි ඇත්තටම කනට ගැහුවද?


අපි හැම වෙලාවෙම උත්සාහ කළේ හැම සීන් එකක්ම තාත්විකව රූගත කරන්න. ඒ අවස්ථාවෙ ඇත්තටම උමා අක්ක කනට ගැහුවා. සීන් එක කට් වුණ ගමන් නංගියේ කියල ළඟට ඇවිත් මූණ අතගෑවා. ඒ විදිහට අපි හරිම සුහදශීලීව තමයි කටයුතු කළේ. තව ඉස්සරහට ඒ වගේ ගොඩක් දේවල් තියෙනව.


මොනවද අනෙකුත් නිර්මාණ වැඩකටයුතු?


‘දොරකඩ දෙවොල’ වැඩකටයුතු දැන් අවසන්. සංජය නිර්මාල් සර්ගෙ අලුත්ම චිත්‍රපටය, ‘නග්න’ හි ප්‍රධාන නිළියගේ චරිතයට මම රංගනයෙන් දායක වුණා. තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිල තියෙනව. අපි බලමු ඉදිරියේදි.


මේ ආරාධනා ලැබෙන්නෙ පද්මලතා නිසාද?


‘දොරකඩ දෙවොල’ ටෙලි නාට්‍යයේ පළමු කොටස විකාශය වුණාට පස්සෙ, ඒක බලල තමයි ඔවුන් මට මේ ආරාධනා දෙකම කරන්නෙ.


පසුගිය දවස්වල උපාධියේ වැඩකටයුතුත් අවසන් වුණා?


පසුගිය ජනවාරි 06 වැනිදා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදී අපේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත් වුණා. දැන් රංගනය සම්බන්ධයෙන් විශේෂවේදී උපාධියක් මට තියෙනව.


දුමීගේ අදහස රැකියාවක් කරන්නද නැත්නම් වෘත්තීයමය නිළියක් වෙන්නද?


මගේ හීනය වුණේ චරිතාංග රංගන ශිල්පිනියක් වෙන්න. උපාධියත් එහි ප්‍රතිඵලයක්. ඉතිං මම රැකියාව විදිහට රංගන ක්‍ෂේත්‍රයම තෝරාගන්නව.


දුමී ඇයි මේ තරම් පිටපත් තෝරන්නෙ?


රංගන ශිල්පිනියක් විදිහට මං හරි කැමතියි අභියෝගාත්මක චරිතවලට. ඒ වගේම චරිතයක් ලැබුණම ගොඩක් දුරට මං ඒ ගැන හිතනව. මොකද මං මටම දාගත්ත සීමා මායිම් එහෙමත් තියෙනවනෙ. එකම විදිහේ චරිත කරන්නත් මගේ කැමැත්තක් නැහැ. ඒ නිසා චරිතයක් ලැබුණට පස්සෙ මං ගොඩක් තෝරනව.


ගෙදරින් ලැබෙන සහයෝගය?


මගේ අම්ම තමයි රෑ නිදිවරාගෙන, මදුරුවො කද්දිත් මගේ පස්සෙන් එන්නෙ. ඒ වගේම මගේ තාත්ත තමයි මගේ බෙස්ට්ම ෆෑන්. රංගනය ගැන ලොකු පරාසයක් නොදන්නව වුණත් ප්‍රේක්‍ෂකයෙක් හැටියට එයා දකින අඩුපාඩු මට කියල දෙනව. මගේ අයියත් ඒ වගේම ලොකු සහයෝගයක් ලබා දෙනව.


මහේෂ් එදිරිසිංහ

gossiplanka image 1
Previous Post Next Post