මම කොටු පනින්නේ නැහැ -ඉසුරංග ජයකුමාර

gossiplanka image 2
 පුංචි තිරයේ ‘කොටු’ නාට්‍යය අතරින් ඇඳෙන අපූරු චරිතයක් වූ ඔහු, අද වනවිට ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ ඉහළම ආදරයක් දිනා සිටින රංගන ශිල්පියෙකි. ‘ආලකමන්දා’ හෝටලයේ සේවකයකු ලෙසින් අප හමුවට එන ඔහු, හුදෙක් රංගනයට පමණක් නොව නිවේදනයට මෙන්ම හඬකැවීමටද පෑ හපන්කම් අතිමහත්ය. ඔහු ඉසුරංග ජයකුමාරයි. ඔහු අපි සමග කතාබහකට ‘හාට්’ වෙත ගොඩවැදුණා.


කොහොමද මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල සාමාන්‍ය විදිහට කාලය ගෙවිලා යනවා. ඊළඟ අවුරුද්දට කරන්න තියෙන වේදිකා නාට්‍යයේ වැඩයි කොටු ටෙලිනාට්‍යයේ වැඩ කටයුතුයි කරගෙන යනවා.

මේ දිනවල ආලකමන්දා හෝටලෙත් වැඩ නේද?

ඔව් මේ දවස්වල ආලකමන්දා හෝටලේත් වැඩ කටයුතු කරගෙන යනවා.

කොටු පනින අයට මේ දවස්වල ඔබෙන් බේරෙන්න බැරිද?

මගෙන් නෙමෙයි කසුන්ගෙන් තමයි. කසුන් එක්ක නම් මේ දවස්වල ටිකක් බේරෙන්න අමාරුයි. ආලකමන්දා හෝටලේත් කසුන් අතරත් පොඩි සිදුවීම් කිහිපයක් සිදුවෙනවා. එතැනදී ඒ මිනිස්සු එක්ක කසුන් ගැටෙනවා. ඒ විදිහට තමයි කතාව ගලාගෙන යන්නේ.


කොටු නිර්මාණයට සම්බන්ධ වුණු ආකාරය සහ චරිතයට ලැබෙන ප්‍රතිචාර කතා කළොත්?

අසංක සායක්කාර අධ්‍යක්ෂවරයා හරහා තමයි සම්බන්ධ වුණේ. එතුමා ‘කොටු’ ටෙලිනාට්‍යයට මට ආරාධනාවක් ලබාදුන්නා. ඒ ආරාධනාවත් සමග කොටු ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණා. හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චරිතයට අනුව ලැබෙන්න ඕනෙ විදියේ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ‘කොටු’ ටෙලිනාට්‍යය ඇත්තටම හාස්‍ය ජවනිකාවලින් පිරුණු නිර්මාණයක්. රූගතකිරීම් අතරතුර සිදුවූ සිදුවීම් අතර දර්ශනයකදී මට ගුටි කන්නත් සිදුවුණු අවස්ථා තියෙනවා. ඒ කනේ පාරවල් හරියටම වදින්න ඕනෙ නිසා කිහිප වතාවක් මට ගුටි කන්නත් සිද්ධ වුණා. මේ වගේ යම් යම් අවස්ථාවල හාස්‍යජනක සිදුවීම් කිහිපයක් සිදුවුණා.

‘කොටු’ නාට්‍යයේ ඔබ රඟපාන අත්දැකීම් සැබෑ ජීවිතයේත් අත්විඳලා තියෙනවද?

නෑ. සැබෑ ජීවිතයේ මට ලැබිලා නැහැ. නමුත් ඒ වගේ අත්දැකීම් යාළුවන්ට අත් විඳින්න ලැබෙනවා දැකලා තියෙනවා. මගේ සැබෑ ජීවිතේ නම් එහෙම අත්දැකීම් නැහැ. මොකද මම කොටු පනින්නේ නැහැනෙ.

ඔබේ පෞද්ගලික තොරතුරුත් දැනගන්න කැමැතියි?

මම ඩබ්ලිව්.එම්. ඉසුරංග ජයකුමාර. මගේ ගම බණ්ඩාරවෙල. මගේ පවුලේ ඉන්නවා අම්මයි තාත්තයි මමයි නංගියි. මගේ මූලික අධ්‍යාපනය බණ්ඩාරවෙල කිරවනාගම නවෝද්‍යා පාසලෙන් හදාරා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන ලද්දේ බණ්ඩාරවෙල ධර්මාශෝක මධ්‍යමහා විද්‍යාලයෙන්. නාවල විවෘත විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ උපාධියක් සම්පූර්ණ කළා. ඉතින් මේ දිනවල මම කොළඹ ප්‍රදේශයේ මගේ වැඩකටයුතු කරගෙන යනවා.

ඩබින් ඔබේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද?

ඩබියා ගැන කතාකරනවා නම් මේ නම හැදුණෙත් මිනිස්සුන්ගෙන්ම තමයි. පළවෙනි කොරෝනා රැල්ලත් සමග තමයි මම වීඩියෝ හදන්න පටන් ගත්තේ. අපිට එළියට බහින්න බැහැනේ. ෆෝන් එකෙන් තමයි මම වීඩියෝ හදන්න පටන් ගත්තේ. මේ විදිහට තමයි මම ඩබින් පටන් ගත්තේ. ඩබින් කරන්න ආසාව තිබ්බට මට චාන්ස් එකක් ලැබුණේ නැහැ. එහෙම තනියම ඉන්නකොට තමයි කාටුන්වලට ඩබින් කරන්න පටන් ගත්තේ. ඒ විදිහට වැඩ කරලා දැන් හඬකැවීම් ශිල්පියෙක් විදිහට මට ක්ෂේත්‍රයේ වැඩ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. විවිධ නාලිකාවල මම හඬකැවීම් සිදුකරනවා. එහෙම තමයි මට ‘ඩබියා’ කියන චරිතය බිහි වුණෙත්.

ඩබින් ආටිස්ට් කෙනෙක් විදිහට ඉඳලා ටෙලිනාට්‍යයට පැමිණීම ගැන මොකද හිතෙන්නේ?

ඩබින් කියන්නේ මගේ හොබි එකක්. මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක්. මිනිසුන් අතර ඩබියා කියන කන්සෙප්ට් එක ජනප්‍රිය වුණා. ඒ හැර මම පාසල් කාලේ ඉඳන් වේදිකා නාට්‍ය හරහාත් රංගනය හදාරලා තියෙනවා. ඉන් පසුව තමයි මම හඬකැවීමට එන්නේ. මම ජනප්‍රිය වුණෙත් හඬකැවීම් හරහා තමයි. රංගනයේදී වේදිකා නාට්‍ය වැඩකටයුතු කළා. ඉන් පසුව ටෙලිනාට්‍ය හරහා ජනප්‍රිය වුණා. මාව හඬකැවීම් ශිල්පියෙක් විදිහට දැනගෙන හිටියට මම කරන්නේ රංගනය. වේදිකා නාට්‍යවල රඟපානවා.

ඩබියා මිනිසුන් අතර ජනප්‍රිය වෙන්න ගත්තෙ මොන වගේ කන්සෙප්ට්වලින්ද?

මම කරපු හැම වීඩියෝ එකක්ම කළේ මම සමාජය, දේශපාලනය, කලාව, ලංකාවේ ඉතිහාසය, සමාජයේ මතුවන ප්‍රශ්න, ආර්ථිකය ප්‍රශ්න ගැන කාටුන් මගින් වීඩියෝ නිර්මාණය කළා. ඒ අතරේ කොමඩි වීඩියෝත් මම නිර්මාණය කළා.

සිනමාවට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?

ඔව් මම ඇත්තටම හොඳ සිනමා නිර්මාණයකට දායක වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා. නිර්මාණයක් බාරගැනීමේදී වුණත් මම චරිතය පිළිබඳ හිතනවා. මොකද තිර පිටපතට අනුව මට ඒ චරිතයට සාධාරණයක් කරන්න අවශ්‍යයි. දැනටමත් මට නිර්මාණ දෙක තුනකටම ආරාධනා ලැබිලා තියෙනවා. බලමු අපි ඉදිරියේදී මොකද වෙන්නේ කියලා.

gossiplanka image 1
Previous Post Next Post