චන්දිමා කරුණාදාස කියන්නේ බොහෝම සීරුවට චරිත තෝරාගෙන ක්ෂේත්‍රයේ ඉදිරියට යන රංගන ශිල්පිනියක්. චන්දිමා ප්‍රධාන චරිතය රඟපාන පිරිනිවන් කඳුපාමුල නාට්‍යයත් මේ දිනවල රූපගත කිරීම් ආරම්භ කළා. ඒ වගේ චරිත කීපයකින්ම චන්දිමා මේ දිනවල ප්‍රේක්ෂකයාව මුණගැසෙනවා.
ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ?
මේ දවස්වල තරමක් කාර්ය බහුල කාලයක්. භාරගත්ත සිනමා නිර්මාණ දෙකකම වැඩ කටයුතු මේ වෙනකොට අවසන් කළා. ඒ වගේම මේ දිනවල ජහුටා නිර්මාණයේ වැඩකටයුතුවලට සම්බන්ධ වෙනවා. තවත් අලුත් ටෙලි නිර්මාණ 2ක වැඩ කටයුතු ආරම්භ වෙන්න නියමිතයි. විශේෂයෙන්ම චන්දන ඉරුගල්බණ්ඩාර අධ්‍යක්ෂණය කරන පිරිනිවන් කඳු පාමුල නාට්‍යයෙන් වෙනස්ම චරිතයකින් ප්‍රේක්ෂකයා අතරට එනවා.
පුංචි කාලේ ඉඳන් හීනයක් තිබුණද රංගන ශිල්පිනියක් වෙන්න?
අනේ නෑ. මට තිබුණ එකම ආසාව විශ්වවිද්‍යාලයට යන්න ඕනී කියන එක විතරයි. ඒ එක්කම රැකියාවක් කරන්න ඕනෑ කියන එකත් මගේ හිතේ තිබුණා.
චන්දිමා කරුණාදාස කියන චරිතය නාට්‍යවල වගේම ඇත්තටම සැරයිද?
චන්දිමා කරුණාදාස කියන්නේ තමන්ගේ පාඩුවේ කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න කැමැති කෙනෙක්. මෙතෙක් ලැබුණ චරිතවල ස්වභාවය එක්ක මම ඇත්ත ජීවිතෙත් නපුරුයිද කියන එක ගොඩාක් අය අහන ප්‍රශ්නයක්. මම නපුරු කෙනෙක් නෙමෙයි, ඒත් තරහා යන අවස්ථා තියෙනවා.
උපාධිධාරිනියක් වූ ඔබ මීට වසර කීපයකට පෙර ඔබ අධ්‍යාපනය ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේම කථිකාචාර්යවරියක් ලෙස සේවය කළා. ඉන්පස්සෙ ඔබ සාම්ප්‍රදායිකත්වය ඉක්මවා ගිහින් කලාවට ප්‍රවිෂ්ට වීමට ගත් තීරණය ගැන සහ වෘත්තීයමය රංගන ශිල්පිනියක් වීම පිළිබඳව ඔබේ අදහස මොකක්ද?
සාම්ප්‍රදායිකත්වය අභිබවා ගිහින් කියන්නේ මෙහෙමයි. ඒක එක් එක් පුද්ගලයාට සාපේක්ෂ දෙයක්නේ. මම ගමේ ඉඳන් කොළඹ ආව කෙනෙක්. විශ්වවිද්‍යාලයීය කටයුතු අවසන් කරනවත් එක්කම කොළඹ රැඳෙනවා කියන එක අපි වගේ අයට අභියෝගයක්. ඉතින් ශාස්ත්‍රපති උපාධියත් අවසන් කරලා වසර තුනක කාලයක් විශ්වවිද්‍යාලයේ තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස වැඩ කරලා ගත කරපු කාලය ජීවිතේට අත්දැකීම් ගොඩාක් ගෙනත් දුන්න කාලයක්. ඉතින් අද ඒ ගැන සහ රංගනය තෝරා ගැනීම ගැන හිතුවම සතුටුයි ඇත්තටම. පහසුවෙන් ආව ගමනක් නෙමෙයිනේ ඉතින්. ඒ දරපු උත්සහය ගැන අද සතුටුයි.
කාර්ය බහුල රංගන ජීවිතය සහ පෞද්ගලික ජීවිතය කොහොමද කළමනාකරණය කරගන්නේ?
කාර්යබහුල රංගන ජිවිතය සහ පෞද්ගලික ජීවිතය සමබරව කරගෙන යන තරමට මනස නිදහසේ තියන් වැඩ කටයුතු කරන්න පහසුයි. ඒ වෙනුවෙන් මහත්තයා තමයි කැපකිරීම් ගොඩාක් කරගෙන ඉඩ කඩ හදලා දෙන්නේ. ඒකෙ සම්පූර්ණ ගෞරවය එයාට දෙන්න ඕනි.
වේදිකාවේ සහ පුංචි තිරයේ අත්දැකීම් පිළිබඳ ඔබේ අදහස?
මුලින්ම වේදිකාව එක්ක තමයි ලොකුම ගනුදෙනුව තිබුණේ ඊට පස්සේ තමයි පුංචි තිරයට එන්නේ.ඉතින් මේ ක්ෂේත්‍ර දෙකටම මම ගොඩාක් කැමැතියි.
පවුලෙ තොරතුරු කොහොමද?
මගේ පවුලේ අම්මා තාත්තා අක්කලා තුන් දෙනයි මමයි. අම්මා ජීවතුන් අතර නැහැ දැන්. අම්මා නැතිවෙලා අවුරුදු දෙකක්. ඒ තමයි මගේ ජීවිතේ මට අදටත් දරාගන්න බැරිම කාරණය. කොහොම වුණත් පවුලේ හැමෝම ගමේ ජීවත් වෙන්නේ. කොළඹ ඉන්නේ මමයි මහත්තයයි දුවයි විතරයි. හැමෝම උදව් කරනවා ඉතින්. ඒක තමයි ලොකුම ශක්තිය.
මෙතෙක් රංගනයේ යෙදුණු චරිත අතරින් අමතක නොවෙන චරිතය මොකක්ද?
මම මෙතෙක් රංගනයේ යෙදුණ චරිත හැම එකකටම වගේ මම ආසයි සහ අමතක නොවන චරිත ඒ හැම එකක්ම. ඒ අතරින් ලවන්තියා, සරෝජනී, සදමිණී, ඩාලින් අක්කා, කාන්ති චරිත මට ගොඩාරියක් මතක එකතුකරපු චරිත.
ඔබේ රංගනයට සීමා මායිම් තියෙනවද?
සීමා මායිම් කියන්නේ මෙහෙමයි, මට ලැබෙන චරිතයට, මට සාධාරණයක් කරන්න පුළුවන් නම් මම අනිවාර්යයෙන් භාරගන්නවා.
රඟපාන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියෙනවද?
එහෙම විශේෂයක් නැහැ. නමුත් මම කැමැතියි එකම රාමුවකට වැටෙන්නේ නැතිව විවිධ චරිත මට ලැබෙනව නම්.
රංගන ශිල්පීන්ට සම්මාන කෙතරම් වැදගත්ද?
රංගන ශිල්පීන්ට සම්මානයක් කියන්නේ තමන් කරන කාර්යයට ලැබෙන උත්තේජනයක්. එහෙම ලැබීම සතුටට කාරණයක්.
විශ්වවිද්‍යාල ජීවිතේ අත්දැකීම් මතක් කළොත්?
විශ්වවිද්‍යාලයෙන් ලැබුණු අත්දැකීම් සතුට පිරුණු මතකයක්. අදටත් මතක් කරනකොට පුදුම සතුටක් දැනෙන්නේ. මොකද ප්‍රායෝගික විෂයක් එක්කනේ මගේ ගනුදෙනුව තිබුණේ. ඩ්‍රාමා කරපු හැටි ඒවට මහන්සි වුණ විදිහ පුහුණු වීම් ඔක්කෝම ඉතින් අමතක නොවන ආදරණීය මතක තමයි.
රංගන ශිල්පියෙක්ට අධ්‍යයනය සහ සතතාභ්‍යාසය කොච්චර වැදගත්ද?
රංගන ශිල්පීන්ට ඒ පිළිබඳ හැදෑරීමක් තිබීම මම හිතනවා ගොඩාක් හොඳයි කියලා. ඒ අත්දැකීම් අපට විවිධ අවස්ථාවවල භාවිතා කරන්න පුළුවන්.
චූටි දුවත් එක්ක ගෙවන ජීවිතේ කොහොමද?
දුවත් එක්ක ගෙවෙන කාලය වෙහෙසත් එක්කම ආදරය පිරුණු කාලයක්. මම ඒ දේට හරි ආදරෙයි.
අනාගත බලාපොරොත්තු?
විශේෂයක් නෑ. මට මගේ වැඩ කරගෙන නිදහසේ ඉන්න තිබුණොත් ඒ ඇති.