තාත්තා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක දුවට චරිතයක් හම්බවෙන්නේ හරි කලාතුරකින්. ඉතිං එවැනි අවස්ථාවක් අපි ඊයේ පෙරේදා දුටුවා. ඒ නලීන් රාජපක්ෂ අධ්‍යක්ෂණය කළ ‘සයිනයිඩ්’ සිනමා නිර්මාණයෙන්. අඟර දඟර සහ රේන්බෝ වැනි සිනමා නිර්මාණ රිදී තිරයට එක් කළ නලීන් රාජපක්ෂගේ නවතම සිනමා නිර්මාණය තමයි ‘සයනයිඩ්’. සයනයිඩ් හරහා යළි සිනමාවට එන තිසුන් නෙලිත්මා රාජපක්ෂ සමගයි මේ කතාබහ.
ඔබ රංගනයෙන් දායකවුණු සයනයිඩ් චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළා නේද?
ඇත්තටම ඒක වෙනස් චිත්‍රපටයක්. ත්‍රස්තවාදයෙන් මිදුණු මනුෂ්‍යත්වය තමයි ඒ තුළින් කතාබහ කරන්න උත්සාහ කරන්නේ. මම මේ සඳහා දමිළ තරුණියකගේ සුළු චරිතයකට තමයි රංගනයෙන් දායක වෙන්නේ. වර්ධරාජාගේ දුව වන පල්ලවිගේ චරිතය තමයි මම රඟපාන්නේ.
මංගල දර්ශනයේදී ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?
ඇත්තටම ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. රාජා ගනේෂන්, ජගත් ගලප්පත්ති, ගීතා කාන්ති ජයකොඩි වැනි ප්‍රවීණයන් එක්ක තමයි මට වැඩ කරන්න ලැබුණේ. චිත්‍රපටයේ මගේ දෙමාපියන් හැටියට ගීතා කාන්තා ජයකොඩි, ජගත් ගලප්පත්ති රඟපානවා.
ප්‍රවීණයන්ගෙන් ලද සහයෝගය මොනවගේද?
ඇත්තටම ගොඩක් හොඳ සහයෝගයක් ලැබුණා. මම මේ චිත්‍රපටයට රඟපානකොට උසස් පෙළ විභාගයට සූදානමින් හිටියේ. දමිළ තරුණියකගේ චරිතයක් හින්දා දමිළ භාෂාව තමයි හසුරුවන්න තියෙන්නේ. රාජා ගනේෂන් මහත්මයා තමයි මගේ දමිළ භාෂාව හැසිරෙව්වේ.
දමිළ භාෂාව කතාබහ කරන්න ඉගෙන ගත්තාද?
පාසලේදී දමිළ භාෂාව ඉගෙන ගන්නවා. නමුත් භාෂාව හසුරුවන ආකාරය වෙනස්නේ. ඒකට සහයෝගය ලබාදුන්නේ රාජා ගනේෂන් මහත්මයා. මට කොහොමටත් දමිළ භාෂාව ලියන්න කියවන්න පුළුවන්.
සයනයිඩ් ඔබේ පළමු සිනමා අත්දැකීමද?
පුංචි කාලේ මම අඟර දඟර, රේන්බෝ චිත්‍රපටවල රඟපාලා තියෙනවා. මේක මගේ තුන් වැනි චිත්‍රපටය.
රිදී තිරයේදී ඔබට, ඔබවම දකින්න ලැබුණහම මොකද හිතුණේ?
ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ රංගනය මටම බලාගන්න පුළුවන් වුණා.
සයනයිඩ් චිත්‍රපටයට සම්බන්ධ වුණේ කොහොමද?
අඟර දඟර, රේන්බෝ චිත්‍රපට දෙකම නලීන් රාජපක්ෂ මහත්මයාගේ. සයනයිඩ් චිත්‍රපටයත් ඔහුගේමයි. නලීන් රාජපක්ෂ මහත්මයා කියන්නේ මගේ තාත්තා. ඒ හින්දයි මට මෙහි රඟපාන්න ලැබුණේ.
තාත්තා රඟපානකොට දුවට විශේෂ සැලකීමක් කළාද?
මම දුව කියලා තාත්තා එහෙම විශේෂ සැලකීමක් මට සිදුකළේ නැහැ. පිටපතට අනුව මගේ චරිතයට අනුව මම හැසිරෙන්න ඕනෑ ආකාරය ගැන තමයි පැහැදිලි කළේ. අනෙක් ශිල්පීන්ට දක්වන ගෞරවය තමයි මටත් දැක්වූයේ.
තිසුලිගේ විස්තර ටිකක් කියමු බලන්න?
මගේ ප්‍රාථමික අධ්‍යාපනය මිනුවන්ගොඩ නාලන්දා බාලිකාවෙන් තමයි සිදුකරන්නේ. ඊට පසුව මිනුවන්ගොඩ ජනාධිපති විදුහලටත්, කොළඹ මියුසියස් විද්‍යාලයටත් යනවා වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා.
මේ දවස්වල මොනවද කරන්නේ?
මේ දිනවල උපාධියක් හදාරනවා. ඊට අමතරව ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ගුරුවරියක් විදිහට කටයුතු කරනවා.
රඟපෑම දිගටම කරන්න තමයි සූදානම?
දිගටම රඟපාන්න ආසයි. මගේ අධ්‍යාපන හා රැකියාවේ වැඩකටයුතුවලට බාධාවක් නොවන විදිහට හොඳ චරිතයක් ලැබුණොත් රඟපාන්න අදහසක් තිබෙනවා.
පෙරපාසල් ගුරුවරියගේ භූමිකාවේ අත්දැකීම් මොනවගේද?
ඇත්තටම හරි රසවත්. මොකද පුංචි දරුවන් එක්කනේ කාලය ගෙවිලා යන්නේ. ඉතිං ඒ පුංචි දරුවන්ගේ අදහස් – සිතුවිලි හරි වෙනස්. පුංචි දරුවෝ එක්ක වැඩ කරනවා කියන්නේම අමුතු අත්දැකීමක්නේ.
දුවගේ රඟපෑම් ගැන තාත්තා මොනවාද කිව්වේ?
ඇත්තටම හොඳයි කිව්වා. තව ඉදිරියටම යන්න පුළුවන් කියලා තවත් උදව් කරන්නම් කිව්වා.
ඉදිරියේදී මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?
චිත්‍රපටවලට රඟපෑමට ආරාධනාවක් ලැබුණොත් සහභාගිවෙන්න අදහසක් තියෙනවා.
රඟපෑම හැදෑරීමක් කරන්න අදහසක් තියෙනවාද?
රඟපෑම වැඩිදුරටත් හැදෑරීමට අදහසක් තියෙනවා.
ටෙලිනාට්‍ය රඟපෑමට අදහසක් තියෙනවාද?
ටෙලිනාට්‍යවලට රඟපෑමට සම්බන්ධ වෙන්න ලොකු අදහසක් නැහැ. මොකද මම රැකියාව සිදු කරන ගමන් රඟපෑම වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න අමාරුයි. තව ටෙලිනාට්‍යයක් රඟපාන්න යනකොට ඒ වෙනුවෙන් ලොකු කාලයක් වැය කරන්න ඕනෑ. දැනට එහෙම කාලය වෙන් කරන්න අපහසුයි. සිනමාවෙන් ඉදිරියට යන්න තමයි අදහස.
මේ ගමන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. පුංචි කාලයේ ඉඳලා තාත්තාගේ සහයෝගයෙන් රඟපාන්න ලැබිලා තියෙනවා. අනික මේ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැනේ.
පවුලේ විස්තර එහෙම?
අම්මයි, තාත්තයි, නංගියි, මල්ලියි.
තාත්තා අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටවල විතරද දුව රඟපාන්නේ?
එහෙම අදහසක් නැහැ. මටත් පුංචි කාලේ ඉඳලා කලාවට සම්බන්ධ වෙන්න ආසාවක් තිබුණා. ඒ වගේම පාසලේදී නර්තනයට, ගායනයට, රංගනයට තිබුණ දක්‍ෂතා තාත්තා දැකලා තමයි එයාගේ නිර්මාණවලට මාව සම්බන්ධ කර ගත්තේ. දක්‍ෂතා තිබුණ නිසයි තාත්තා මාව වැඩවලට සම්බන්ධ කරගත්තේ.
තාත්තාගේ සම්බන්ධතා පාවිච්චි කරලා නිළියක් වෙන්නද අදහස?
එහෙම නම් නැහැ. මම උත්සාහ කරන්නේ මගේ හැකියාවන්වලින් ඉදිරියට යන්න තමයි. ඒකට උපරිම මහන්සි වෙනවා. තාත්තාගේ දැනහැඳුනුම්කම් පාවිච්චි කරලා රඟපෑමට එන්න කිසිම අදහසක් නැහැ.
මහේෂ් එදිරිසිංහ