සත්‍ය කතා පුවතක ගැබ් වුණ මනුෂ්‍යත්වය හා මිත්‍රත්වය තේමාව කරගනිමින් යුද්ධයේ අතුරු කතාවක් තුළින් නිර්මාණය වූ ‘සයනයිඩ්’ චිත්‍රපටය දෙසැම්බර් 26 වැනිදා සිට රටපුරා සිනමාහල්වලදී තිරගත කිරීමට නියමිතය. මෙය මීට පෙර ‘අඟර දඟර’ සහ ‘රේන්බෝ’ වැනි සිනමා නිර්මාණ රිදී තිරයට එක් කළ නලීන් රාජපක්ෂ විසින් කතාව සහ තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කර ඇත.
ඔබේ තෙවැනි සිනමා නිර්මාණය ‘සයනයිඩ්’ නිර්මාණය වුණේ කොහොමද?
මගේ පළමු සිනමා නිර්මාණය ‘අඟර දඟර’, දෙවැනි සිනමා නිර්මාණය රේන්බෝ. මගේ දෙවැනි සිනමා නිර්මාණයෙන් පසුව මට දිගින් දිගටම ඉන්දියාවට යන්න සිද්ධ වුණා. ඒ දවස්වල මට තවත් චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවයක් තිබුණා. නමුත් මට වෙලාවක් නැති කමයි තිබුණේ. දිගින් දිගටම ඉන්දියාවට යන හින්දා මම හිතුවා ඉන්දියාවේ දී ෆිල්ම් එකක් කළොත් හොඳයි කියලා.
ඒ අනුව මම අන්තර්ජාලයෙන් දුටුවා ඉන්දියාවේ හිටපු මහ ඇමැතිවරයාව ඝාතනය කිරීමට සැලසුමක් තිබෙනවා කියලා. ඒ අනුව මෙහි අගමුල සොයාගෙන යනකොට මට හිතුණා මේ ගැන චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඕනෑ කියලා. ඊට පසුව තමයි සයනයිඩ් චිත්‍රපටය නිර්මාණය වුණේ.
ඇයි මේ ‘සයනයිඩ්’ කියලා නම යොදන්න හිතුවේ?
ඇත්තටම කිව්වොත් වර්ධරාජා පෙරුමාල් කියන්නේ ඊපීආර්එල්එෆ් එකේ ලීඩර්. ඔහුට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී කණ්ඩායමෙන් තර්ජන තිබුණා. එතකොට ලංකාවේ හිටපු හත්දෙනෙක් ඉන්දියාවට ගිහිල්ලා ඔවුන් හරහා නැවත ලංකාවට ආයුධ සහ බෝම්බ ප්‍රවාහනය කළා. සයනයිඩ් ඒකෙන් කොටසක් තමයි. ඉතිං මම හිතුවා ඒ සම්බන්ධ කතාවක් හින්දා සයනයිඩ් කියලා මේකට නම යොදන්න.
මේ වගේ කතාවක් සිනමාවට නැගීමේදී මොනවගේ අභියෝගවලට ද මුහුණ දුන්නේ?
මේ චිත්‍රපටය නිර්මාණය කරන කොට මම හිතුවා මේ කතාව ලියලා වර්ධරාජා පෙරුමාල් මහත්මයා එක්ක කතාබහ කරන්න ඕනෑ කියලා. ඊට පස්සේ පිටපත ලියන අතරතුරේ මම ඔහුට කතා කළා. ඔහුගෙන් මට විරුද්ධත්වයක් ලැබුණේ නැහැ. පසුව ඔහුගේ පවුලේ සාමාජිකයන් ලංකාවට ආපු වෙලාවක ඔවුන්ගේ අදහස් පවා මට ලබාදුන්නා. එතැනින් මේ කතාව නිර්මාණය කරන්න මට පහසුවක් වුණා. හැබැයි මෙහි රූගත කිරීම් ඉන්දියාවේදී සිදු කිරීමේදී මට අභියෝගයක් වුණා.
‘ත්‍රස්තවාදයෙන් මිදුණු මනුෂ්‍යත්වය’ කියලා උද්ධෘතපාඨයක් යොදන්න හිතුවේ ඇයි?
අපි මේ කතාවට පාදක කරගත්තේ මාධ්‍යවේදියෙක් ඉන්දියාවට ගිහිල්ලා ඔහු මුහුණදෙන අත්දැකීම් තමයි චිත්‍රපටයට නැඟුවේ. අපි මෙහි සිනමාරූපීව යම් යම් වෙනස්කම් කිහිපයක් කරලා තිබෙනවා. අපිට ඕනෑ වුණේ ත්‍රස්තවාදය ත්‍රස්තවාදයෙන් ඉවර කරන නිර්මාණයක් කරන්න නෙමෙයි. අපි සේරම මනුෂ්‍යයෝ කියන එක පෙන්වන්න ඕනෑ වුණා. අනික ජාති, ආගම්, කුල බේදයන් අපිට ඕනෑ වෙන්නේ නැහැ. අපි සියලු දෙනාම මනුෂ්‍යයෝ හැටියට එකට ඉන්න ඕනෑ කියන එකයි පෙන්වන්න ඕනෑ.
ඔබේ මුල්ම සිනමා නිර්මාණය අඟර දඟර?
ඔව්. මම ඒ චිත්‍රපටය කළේ ළමයින් සහ දෙමාපියන් වෙනුවෙන්. ‘අඟර දඟර’ චිත්‍රපටය හරහා ෂනුද්‍රිගේ ජීවිතයේ ලොකු වෙනස් අත්දැකීමක් වුණා. රේන්බෝ කියන්නේ රොෂාන් සහ ටනාෂා එකතු කරගෙන කරපු නිර්මාණයක්. ටනාෂාගේ පළමු සිනමා නිර්මාණය. ඒකෙන් මම කියන්න උත්සාහ කළේ තරුණයන් මුහුණදෙන මත්ද්‍රව්‍ය ප්‍රශ්නය ගැන.
චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමේදී මුහුණදෙන අභියෝග මොනවාද?
දිට්වා සුළි කුණාටුවෙන් ඇතිවුණ බලපෑමත් එක්ක ලංකාවේ සෑම ක්ෂේත්‍රයකම ලොකු කඩා වැටීමකට ලක්වුණා. ඒක සිනමා කර්මාන්තයටත් බලපෑවා. හැබැයි මේ වෙනකොට සෑම ක්ෂේත්‍රයකම යම්කිසි පිබිදීමක් තියෙනවා. ඒ අර්බුදයත් සමග ජනතාව නැගිටින වෙලාවක තමයි ‘සයනයිඩ්’ තිරගත වෙන්නේ. මේකෙ අනෙක් චිත්‍රපට වගේ වට්ටෝරු ක්‍රමයක් නෙමෙයි තියෙන්නේ. මිනිස්සුන්ට දැකලා ඉගෙන ගන්න දෙයක් තිබෙනවා. කලාකරුවෙක් හැටියට අපි විවිධ තේමාවන්වල නිර්මාණ කරන්න ඕනෑ කියලයි මගේ අදහස. මේක මගේ මුල් චිත්‍රපට දෙකටම වඩා බොහෝ වෙනස් චිත්‍රපටයක්. මේක සත්‍ය කතාවක් හින්දා අපිට වෙනස් විදිහට නිර්මාණය කරන්න සිද්ධ වුණා. අනික මම විශ්වාස කරනවා හැම චිත්‍රපටයක්ම එක වගේ වෙන්න ඕනෑ නැහැ කියලාත්. මගේ ඊළඟ චිත්‍රපටයත් මේ තුනටම වඩා වෙනස් වේවි.
සයනයිඩ් තිරගත කිරීමට යෑමේදී ගැටලු වලට මුහුණ දුන්නද?
එහෙම අභියෝග නම් තිබුණේ නැහැ. දමිළ, ඉංග්‍රීසි, සිංහල භාෂා ත්‍රිත්වයේ චිත්‍රපට තුනක් එකම දවසේ දර්ශන වාර තුනකට තිරගත වෙන වෙලාවක් තමයි ලංකාවේ තිබෙන්නේ. දර්ශන වාරවලත් ප්‍රශ්න ටිකක් තිබෙනවා. නමුත් චිත්‍රපටය හොඳ නම් ප්‍රේක්ෂකයෝ ඒක වැලඳ ගන්නවා නම් ඒවා බාධාවලුත් නෙමෙයි. මේකත් කොයි විදිහට ප්‍රේක්ෂකයෝ වැලඳ ගනීවිද කියන්න අපි දන්නේ නැහැ. මේක අභියෝගයක්. මම හිතනවා ඒ අභියෝගය ජයගන්න පුළුවන් වේවි කියලා.
මෙච්චර කාලයක් නිහඬව හිටියේ ඇයි?
මට කාලයක් දිගින් දිගටම ඉන්දියාවට යන්න සිද්ධ වුණා. අනික චිත්‍රපට කර්මාන්තය මගේ රැකියාව නෙමෙයි. මගේ විනෝදාංශයක් හැටියට තමයි මම මේක කරන්නේ. මට වෙලාවක් ආවහම තමයි මම ෆිල්ම් එකක් කරන්නේ. ඒ වෙලාව එනකම් මට ටිකක් බලාගෙන ඉන්න සිද්ධ වුණා.
ලංකාවේ සිනමා කිර්මාන්තය ගැන ඔබ ඉන්නේ මොන වගේ මතයකද?
මේ වසරේ අපි ලංකාවේ සිනමාවේ ලොකු වෙනසක් දුටුවා. රසිකයෝ සිනමා ශාලාවලට ඇදී එන්න පටන් ගත්තා. ඒ වගේම ලෝකයේ තිබෙන අති නවීන තාක්ෂණය භාවිතා කරලා සිනමා සංකීර්ණ, සිනමාහල් වගේම සුපිරි වෙළෙඳ සංකීර්ණ සිනමා සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. මේ දේවල් හින්දා තමයි සිනමාහල්වලට රසිකයෝ ගොඩවෙන්නේ. විවිධ ශානරවල චිත්‍රපට පවා නිර්මාණය වෙනවා.
වර්ධරාජා පෙරුමාල් ‘සයනයිඩ්’ නිර්මාණය ගැන මොනවද කිව්වේ?
ඔහු මේ චිත්‍රපටයේ මංගල දර්ශනයට ලංකාවට එන්න හිටියේ. නමුත් ඔහුගේ රාජකාරි හින්දා එන්න අපහසුවක් තිබුණා. නමුත් ඉදිරියේදී මේක නරඹන්න ලංකාවට එනවා කියලා කිව්වා. අනික ඔහුගෙන් මේ නිර්මාණයට විරුද්ධත්වයක් නැහැ. මට ඔහු නිතර නිතර කතා කරනවා. ඔහුත් අපි වගේ කලාවට ආදරය කරන චරිතයක්.
දිනේෂ් විතාන