සම්මාන බලාගෙන චිත්‍රපට හදන්නේ නෑ-අරුණ ජයවර්ධන

gossiplanka image 2
 


නිකිණි වැස්ස, හැපී බර්ත්ඩේ සහ 1970 Love Story ඔබ වෙත වැනි නිර්මාණ ලාංකීය ප්‍රේක්ෂකාගාරය වෙත රැගෙන ආ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය ‘මාරියා’ මේ දිනවල රටපුරා සිනමාහල්වල තිරගත වේ. නිළියක් නොමැතිව දැවැන්ත නළුවන් හත්දෙනෙක් මහ මුහුද මැද රූගත කළ මාරියා ගැන අරුණ ‘මීවිත’ට අදහස් දැක්වූයේ මෙලෙසිනි.


ඔබේ නවතම සිනමා නිර්මාණය ‘මාරියා’ නිර්මාණය වෙන්නේ සත්‍ය කතාවක් පාදක කරගෙන. එතැනින්ම මේ කතාව පටන්ගමු?


මාරියා කියන්නේ මගේ හතර වැනි චිත්‍රපටය. මට නිකිණි වැස්ස චිත්‍රපටයේ තේමාව හම්බවුණා වගේම මේකෙ තේමාව හම්බ වෙන්නෙත් අහම්බයෙන්. නිකිණි වැස්ස හි තේමාව හමුවන්නේ සිළුමිණ පුවත්පතේ ගිය ලිපියකින්. ‘මාරියා’ හි තේමාව මට හමුවෙන්නේ සිරස නාලිකාවේ ගිය පුවතක් පාදක කරගෙන ඉන්දුනීසියාවේ ධීවරයන් පිරිසකට මුහුදේ පාවී ආ “සෙක්ස් ඩෝල්” කෙනෙක් හමුවෙලා ඒකට ඔවුන් ඇඳුම් අන්දවලා පොලිසියට භාරදුන්නු පුවත තමයි මම දුටුවේ. ධීවරයෝ මාස ගණනක්වත් මුහුදේ ඉන්නවා හදිසියේ කෙනෙක් හමුවුණහම බෝට්ටුවකට මොකද වෙන්නේ කියලා සහ මම මේ චිත්‍රපටයෙන් කියන්න උත්සාහ කළේ අපේ රට හුඟක් වෙලාවට කැමැතියි බාහිරින් එන දේවල් ඉක්මනටම ඇඟට දාගන්න. එහෙම වුණහම මොකද වෙන්නේ කියන කාරණය තමයි මම මේ චිත්‍රපටයෙන් නිර්මාණය කළේ.



මෙහි නළුවන් හත්දෙනා තෝරා ගැනීම සිදුකළේ කොහොමද?


මගේ අනෙක් චිත්‍රපටවලට වඩා මේ චිත්‍රපටය වෙනස් වෙන්න ප්‍රධාන කාරණා කිහිපයක් තිබෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන් හතයි තිබෙන්නේ. මොකද බොහෝ චිත්‍රපටවල රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් ඉන්නවා. අනෙක් කාරණාව මුහුදත් එක්ක හැප්පෙන්න පුළුවන්. ධීවරයෝ වගේ වැඩ කරන්න පුළුවන් ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පීන්ගේ අවශ්‍යතාවයක් තිබුණා. තවද එක එක හැඩ සහිත රංගන ශිල්පීන්ගේ අවශ්‍යතාවයක් තිබුණා. ඒ හරහා තමයි මම මොවුන් තෝරා ගත්තේ. විශේෂයෙන් මම චරිත විදිහට ඒ ගොල්ලන්ව ගොඩනගන්න අවශ්‍යතාවයක් තිබුණා. ඉතිං මම හිතනවා ඒක යම්තාක් දුරට සාර්ථක වුණා කියලා.


මුහුදේ රූගත කිරීම් ඔබට අභියෝගයක් වුණාද?


ඇත්තටම අපේ රටේ තිබෙන පහසුකම් එක්ක මේ චිත්‍රපටයට ලොකු පිරිවැයක් දරන්න වෙනවා. නමුත් අපි තීරණය කළා මේක මුහුදටම ගිහිල්ලා කරනවා කියලා. ඒ අභියෝගය අපි භාරගත්තා. අනික මෙහි රඟපෑ සියලු දෙනාම වගේම නිෂ්පාදක කණ්ඩායමත් ඒ අභියෝගය භාර ගන්න කැමති වුණා. විශේෂයෙන් හේමාල් සහ අශාන්ට මුහුදට පනින්න වගේම මුහුදත් එක්ක දර්ශන තිබුණා. ඒකට ඔවුන් පුහුණු වුණා. ඒ වගේම අපි දවස් දෙක තුනක් මුහුදට ගිහිල්ලා පුහුණු වුණා.



‘මාරියා’ සඳහා ජාත්‍යන්තර සම්මාන රැසකට නතු වෙන්න ඔබ මෙය නිර්මාණය කරන්නේ සම්මාන බලාගෙනද?


නිකිණි වැස්සෙන් පස්සේ මට එවැනි ශානරයේ චිත්‍රපටයක් කිරීමේ වුවමනාවක් තිබුණා. තවද පොඩි වෙනස් අත්දැකීමක් ප්‍රේක්‍ෂකයන්ට දෙන්න මට අවශ්‍ය වුණා. ඉතිං ඒ හරහා තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. පිටරට සම්මාන බලාගෙන චිත්‍රපට කරන්න අමාරුයි. නමුත් අපිට ඒ සඳහා උත්සාහ කරන්න පුළුවන්. ඒ උත්සාහයට ලැබෙන ප්‍රතිඵල තමයි අපිට භාරගන්න වෙන්නේ. විශේෂයෙන් ෆෙස්ටිල් එකේ මේ හත්දෙනාටම සම්මාන හිමිවීම සුවිශේෂී කාරණාවක්. ඒ වගේම රුසියාවෙත් හොඳම චිත්‍රපටය වුණා. තවද අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලවල් විස්සකට විතර අපි සහභාගි වුණා. ඒ වගේ ඉතාම හොඳ ප්‍රතිචාර තිබුණා. මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙන්නේ ලාංකික ප්‍රේක්‍ෂකයන්ගේ ප්‍රතිචාර තමයි.


මේ වෙනකොට ලාංකීය සිනමා ප්‍රේක්‍ෂකාගාරයේ ලොකු පිබිදීමක් තිබෙනවා. ඔවුන් මේක මොන විදිහට භාරගනීවිද කියලා ඔබ හිතන්නේ?


2025 වසර ගැන හැමෝම කියන්නේ ලාංකීය සිනමාවේ ස්වර්ණමය අවුරුද්දක් කියලා. වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට කිහිපයක්ම ප්‍රේක්‍ෂකයාගෙන් ලැබුණා. ඒ වගේම එකිනෙකාට වෙනස් නිර්මාණත් ප්‍රේක්‍ෂකයන්ට ලැබුණා. අලුත් අධ්‍යක්‍ෂවරු ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ හරහා හොඳ නිර්මාණ බිහිවුණා. මාරියා චිත්‍රපටයත් මීට කලින් ප්‍රේක්‍ෂකයන්ට තිළිණ කරන්න තිබුණේ. ඉතාමත් හොඳ චිත්‍රපට තිරගත වුණ හින්දයි මට නොවැම්බර් මාසය දක්වා පසුබසින්න සිද්ධ වුණේ. මේ ස්වර්ණමය වසරේ ලාංකීය ප්‍රේක්‍ෂකාගාරයට ‘මාරියා’ හරහා වෙනස් අත්දැකීමක් ලබාදෙන්න උත්සාහ කරනවා.


ප්‍රේක්‍ෂකාගාරයේ පිබිදීම සිනමාකරුවෙක් විදිහට ඔබ කොහොමද දකින්නේ?


අපි හිටපු තැනින් ලාංකීය සිනමාව ප්‍රේක්‍ෂකයා ඉතාමත් ඉහළට ඔසවලා තියෙනවා. විශේෂයෙන් ප්‍රේක්‍ෂකාගාරය, නිෂ්පාදකවරු වගේම මේ කර්මාන්තය සෑහෙන උස්තැනක තිබෙනවා. මේක පවත්වාගෙන යන එක තමයි අපි දැන් කරන්න ඕනෑ. එතකොට තව සිනමාහල් හැදෙයි. නවක නිෂ්පාදකවරු බිහිවේවි. තව අලුත් අධ්‍යක්‍ෂවරු බිහිවේවි. අලුත් අලුත් ශානරවල නිර්මාණ බිහිවේවි. මේක තමයි අපි බලාපොරොත්තු වුණ අනාගතය. ඒ අනාගතයට හොඳම අත්තිවාරම දැම්මේ 2025 වසර කියලයි මම හිතන්නේ.


දිනේෂ් විතාන

gossiplanka image 1
Previous Post Next Post