කොහොමද මාරියාහි ටෙනී වෙන්නේ?
අරුණ ජයවර්ධනගේ අධීක්ෂණය යටතේ හිරු නාළිකාවේ මම වැඩ කිහිපයක් කළා. ඒ දැනහැඳුනුම්කම් එක්ක අරුණ අයියාට මා කෙරෙහි විශ්වාසයක් ඇති වුණා කියලයි මට හිතෙන්නෙ මේ චරිතය වෙනුවෙන් මට සාධාරණයක් කරන්න පුළුවන් වෙයි කියලා.
ඒ එක්කම ‘මාරියා‘ රූගත කිරීම්වලට බෝට්ටුවේ යන්න, පිහිනන්න එහෙමත් පුළුවන් නිසා, නිෂ්පාදක ඉන්ද්‍රජිත් සිල්වා මහතාත් දන්න නිසා එයා එක්කත් කතා කරලා දැවැන්තයන් හය දෙනා අතරට හත් වැනියා විදිහට අරුණ අයියා මාව තෝරා ගත්තා. අරුණ අයියාට මම ස්තුතිවන්ත වෙනවා මට මේ චරිතය ලබා දීම ගැන.
ප්‍රවීණ ශිල්පීන් හයක් එක්ක මේ වගේ චරිතයක් ලැබුණු එක ගැන මොකද හිතන්නේ?
මම හිතනවා මේ වකවානුවේ ලංකාවේ ඉන්න වාසනාවන්තම නළුවා මමයි කියලා. මොකද අපේ සිනමාවේ ඉන්න දැවැන්තයන්, ජනප්‍රියම විශිෂ්ටයන් හය දෙනෙක් එක්ක ස්ක්‍රීන් එක බෙදා ගන්න මට වාසනාව උදා වුණා. ඒ වගේම සම්මානනීය අධ්යක්ෂවරයෙක්, චන්න දේශප්‍රිය වැනි ප්‍රවීණ කැමරා අධ්යක්ෂවරයෙක් යටතේ මට වැඩ කරන්න අවස්ථාව ලැබුණා.
ඒක වාසනාව වගේම මට ඒ කාලය තුළ මට ලොකු ප්‍රෙෂර් එකකුත් වුණා. මොකද මම හැමවෙලාවේම හිතුවා මේ අය එක්ක මම කොහොමද එකට මුහු වෙන්නේ කියන එක. හැබැයි දවසක් දෙකක් යද්දී මට තේරුම් ගියා අලුත් කෙනෙක් කියලා මට වෙනසක් නැහැ කියලා. එක පවුලේ අය වගේ මාව පිළිගත්තේ. මහේන්ද්‍ර පෙරේරා කියන්නේ අපිට ගුරුපියාණන් කෙනෙක්. ඒ වගේම ප්‍රියන්ත සිරිකුමාර, හේමාල්, දසුන්, දර්ශන් අශාන් වැනි ප්‍රවීණයන් එක්ක වැඩ කරන්න ලැබීමත් වාසනාවක්. ඒ වාසනාව මට මාස ගාණක් විඳින්න අවස්ථාව ලැබුණා. දමින්ද මඩවල, ඇඩම් අයියා ඇතුළු යුනිට් එකේ හැමෝම එක පවුලක් වුණා. මේ අය එක්ක වැඩ කිරීමත් මම ලබපු සම්මානයක්.
මුහුදු ජීවිතේ අත්දැකීම කොහොමද ජිවිතයට එකතු කර ගත්තේ?
මම කලින් මුහුදු ගිහින් තියෙනවා. ඒත් රස්සාවට මුහුදු ගිහින් නැහැ. විශේෂයෙන්ම මේ වෙලාවේ අපේ ධීවර සහෝදරයන් මතක් කරන්න ඕනේ. මුහුදු යනවා කියන එක ලෙහෙසි පහසු කාරණයක් නෙවෙයි. බෝට්ටුවක් ඇතුළේ මාස ගණනක් ඉන්නවා කියන්නේ ඒ තුළ ඉන්න හය හත් දෙනාගේ ජීවිත එකම රාමුවක් ඇතුළේ තියෙන්නේ. හිතාගන්න බැරි විදිහට කුණාටු එනවා. හිතාගන්න බැරි විදිහට මාරියා එනවා. සැඩ සුළං එනවා. ඒ හැම එකකටම මුහුණ දෙන්න ඕනේ. ධීවර සහෝදරයින් ලොකු ජීවිත අවදානම් එක්ක මේ වැඩේ කරන්නේ. අපි හැමෝටම ඒ ලබපු අත්දැකීම එක්ක ඒක හිතාගන්න පුළුවන් වුණා. ධීවර සහෝදරයින් විදින දුක තේරුණා.
ඒ නිසා මම රජයටත් කියන්නේ උපරිම පහසුකම් මේ ධීවර සහෝදරයන්ටත් ලබා දෙන්න කියලා. මොකද බෝට්ටුවක් ඇතුළේ අසනීප වුණාම එතන ඉන්න වෛද්‍යවරු වෙන්නෙත් නර්ස්ලා වෙන්නෙත් ඒ ඉන්න අයම තමයි. උයන්න ඕනේ මාළු අල්ලන්න ඕනේ. පාසල්වලින් ඉගෙන නිසි අධ්‍යාපනය නොලැබුවත් මුහුද ගැන ඔවුන් තුළ තියෙන්නේ පුදුම දැනුම්වත් බවක්. ධීවරයින්ට ජයවේවා කියලා තමා කියන්න තියෙන්නේ.
මේ සිදුවීම් අතර අමතක නොවන මතකයන් ඇති…
අපි මේ නිර්මාණය කරන්න කතා කරපු පළමු මීටින් එකේ ඉඳන් ෆිල්ම් එක ඉවර වෙනකම්ම හැමදෙයක්ම මට අමතක නොවන මතකයන්. එච්චරටම දැනුන වැඩක්. ස්ක්‍රිප්ට් රීඩින් එකේ ඉඳන් දවසින් දවස එකතු වුණේ අලුත් අත්දැකීම්. කිලෝ ගණනක ලොකු කොප්පරෙක් කපන්න තිබ්බා. කෑලි කරලා උඩට ගන්න එක. ඒ දේවල් පුදුම වැඩ. ඒ සියල්ල අපි රියල් විදිහට කළේ. අපිව කුණාටුවකට අහුවුණා. තව පොඩ්ඩෙන් පළමු දවසෙම මහේන්ද්‍ර අයියාගේ කකුල දෙකට කඩලා යන විදිහෙ අනතුරක් වුණා. අපි හැමෝටම ජීවිතේ කවදාවත් අමතක නොවන පුදුම සිදුවීම්. මේ තුළ ආසාව, බය, උද්‍යෝගය හැම දෙයක්ම එකට තිබුණු නිර්මාණයක්. රසිකයන් තමයි මේ නිර්මාණය බලලා ඒ දේ ගැන විවේචනය කරන්න ඕනේ.
මේ ඔබේ දෙවන සිනමා අත්දැකීම, පළමු සිනමා අත්දැකීම ගැනත් මතක් කරමු
මගේ පළමු සිනමා අත්දැකීමත් අරුණ ජයවර්ධන අයියා එක්කම තමයි සිදු වෙන්නේ. 1970 ලව් ස්ටෝරි චිත්‍රපටය. ඒ වෙද්දී ටෙලි නාට්‍ය කිහිපයක පොඩි පොඩි චරිත කරමින් හිටියේ. ඒ නිසා මට මේ ලැබුණු කුඩා අවස්ථාවත් මම සිනමාවේ වැඩ වෙන්නේ කොහොමද කියන එක දැන ගන්න අවස්ථාවක් කර ගත්තා.
මාරියා ගැන ලාංකික ප්‍රේක්ෂකයන් අතරේ මොන වගේ විශ්වාසයක් ද තියෙන්නේ?
ඇත්තටම මේ වෙද්දී ලාංකික ප්‍රේක්ෂකයන් අතර ලොකු විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. හරි දෙයක් හැදුණොත් මිනිස්සු එනවා. මට දැනුණේ එච්චරයි.
හොඳ වැඩ නැතුව ලාංකික ප්‍රේක්ෂකයන්ට දොස් කියන්න බැහැ. මේ අවුරුද්දේ ආව නිර්මාණ සාර්ථකයි කියල කියන්න පුළුවන්. ප්‍රේක්ෂකයන් බොහොම ආදරෙන් භාර ගත්තා.
ඉදිරියේ දකින්න පුළුවන් නිර්මාණ මොනවද?
ජගත් ආනන්ද අයියාගේ යකඩ මනමාලි චිත්‍රපටය එන්න තියෙනවා. එහි මට හොඳ චරිතයක් ලැබුණා. ඒ එක්කම ශ්‍යාම් අයියාගේ කොටුව පිටකොටුව කියන කොටස් සීමිත ප්‍රමාණයක වැඩක් එන්න තියෙනවා. රංග ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කරන ජැෆ්නාදරය නාට්‍යයේ රංගනයෙන් දායක වුණා. තව සිනමා නිර්මාණ දෙක තුනක් කතා කරමින් තියෙනවා. ඒ එක්කම තව ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කරනවා