කෙටි චිත්‍රපට සහ වෙබ් කතා මාලා හරහා ප්‍රේක්ෂක අවධානය තමන් වෙත නතුකර ගත් නවක නිර්මාණකරුවෙක් පිළිබඳව වර්තමානයේ කලා ක්ෂේත්‍රය තුළ කතාබහක් නිර්මාණය වී තිබේ. ඔහු පසුගිය කාලයේ නිර්මාණය කළ Take Care ඊට හොඳම නිදසුනයි. සමාජ මාධ්‍ය අවකාශ තුළ වගේම ශ්‍රී ලාංකීය ටෙලි සම්මාන උළෙලවලදී ද මෙම නිර්මාණය ගැන විශේෂ අවධානයක් දිනාගෙන සම්මානයට පවා නතුවිණි. පවුලක් වටා ගෙතුණු කතාන්දරයකින් යුතු ‘පට්ටි ගෙදර’ ඔහුගේ නවතම ටෙලිවිෂන් නිර්මාණයයි. අද ‘මීවිත’ හා එක්වන්නේ මෙවැනි වෙනස්ම නිර්මාණ ඔබේ ආලින්දයට රැගෙන ආ අනුෂ්ක රසාංජන ද සිල්වා වේ.
අනුෂ්ක කියන්න බලන්නකෝ ‘පට්ටිගෙදර’ ටෙලිනාට්‍ය නිර්මාණය වුණේ කොහොමද කියලා?
මේ ටෙලිනාට්‍ය මම ඇත්තටම Take Care ටෙලි නාට්‍යයටත් කලින් ලියන්න ගත්තු වැඩක්. වෙනත් අධ්‍යක්ෂවරයකුට තමයි ලිව්වේ. අන්තිමට මේ වැඩේ සිද්ධ වුණේ නැහැ. කෙහොම හරි Take Care කරන්න පටන් ගත්තාට පස්සේ මේ වැඩේ මඟහැරිලා ගියා. කලින් කොටස් පහක් විතර ලියලා තිබ්බේ. අන්තිමේ මම Take Care කරලා ඉවර වෙලා ඊළඟට මොනවාද කරන්නේ කියලා සෑහෙන්න හිතලා බැලුවා. ගමක පවුලක් වටා නිර්මාණය වුණු කතාවක චරිත කිහිපයක් හසුරුවන්න පුළුවන් විදිහේ කතාවක් කරන්න මට ආසාවක් තිබුණා. ඒ අනුව තමයි මම ආපහු ‘පට්ටිගෙදර’ නිර්මාණය කරන්න පටන් ගත්තේ.
ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයකුට ද මේ පිටපත මුලින්ම ලිව්වේ?
නවක අධ්‍යක්ෂවරයකුට තමයි මුලින්ම පිටපත ලිව්වේ. පස්සේ ඒ වැඩේ සිද්ධ වුණේ නැහැ. අන්තිමේ කොහොම හරි ඒ අතහැරුණු වැඩේ මම ආපහු මුවහත් කරල ගත්තා.
මුලින් අතහැරුණු වැඩේට අද වෙනකොට විශාල සමාජ කියැවීමක් තිබෙනවා නේද?
සතුටුයි. තවම හරියට කතාව දිගහැරෙන ගමන් තියෙන්නේ. මෙතෙක් විකාශය වුණු කොටස් ප්‍රමාණයේ චරිත හඳුන්වා දීමක් වගේම මොන විදිහේ තේමාවක් ඔස්සේ ද කතාව ගලාගෙන යන්නේ කියලා විතරයි දැනට තවම හඳුන්වා දීලා තියෙන්නේ. හැබැයි ඒ සීමිත කොටස් ගණනාව ඇතුළෙත් මිනිස්සු වැඩේ අල්ලගත්තු එක ගැන සතුටුයි.
‘පට්ටිගෙදර’ කියන්නේ පට්ට වැඩක් කියලත් සමහරු කියනවා. ඇත්තටම පට්ට වැඩක්ද?
ඒක ඉතිං බලන ප්‍රේක්ෂකයා අනුව තමයි තීරණය වෙන්නේ. පට්ටිගෙදර කියන එක පට්ට වැඩක් විදිහට කරන්න තමයි මම උත්සාහ කරන්නේ. ඉතිං අපිට තිබෙන සම්පත්වලින් වගේම තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් අරගෙන පට්ට වැඩක් කරන්න උත්සාහ කරනවා. ඒක ප්‍රේක්ෂකයාට දැනෙනවා නම් අපිට සතුටුයි.
මෙහි තිර රචනාව වගේම කතා සංකල්පය ඔබේමයි. එතකොට මේ පිටපත ලියැවුණේ කොහොමද?
මේ පිටපත ලියන්න පටන් ගත්ත කාලේ තමයි ‘කුම්බලන්නේ ෆයිට්’ කියන මලයාලම් චිත්‍රපටය තිරගත වෙන්නේ. එතකොට එය නැරඹුවාට පස්සේ මට ආසාවක් තිබ්බා පවුලක කතාවක් නිර්මාණය කරන්න. විශේෂයෙන් තණමල්විල කොල්ලෙක්, කාලයකට ඉහතදී විකාශය වුණු දූ දරුවෝ, කන්දේගෙදර වගේ පවුලක් මූලික කරගෙන කතාවක් නිර්මාණය කරන්න ඕනෑ කියලා. ඒ අනුව තමයි චරිත කිහිපයක් ඔස්සේ මේ කතාව නිර්මාණය කළේ.
ඔබ වැඩිපුර පවුල සහ විවාහය කේන්ද්‍ර කරගෙන නිර්මාණ කරන්න උත්සාහ කරනවා. ඇයි ඒ?
මම කැමැතියි මිනිස්සුන්ට සමීප දේවල් අල්ලන්න. ලෝක සිනමාවේ වුණත් මිනිස්සුන්ගේ හදවතට සමීප නිර්මාණ තමයි මිනිස්සු වැලඳ ගත්තේ. මිනිස්සු කැමැතියි තිරය ඇතුළෙන් තමන්ව දකින්න. විශේෂයෙන් දකුණු ආසියාතික රටවල මානුෂීයවාදී නිර්මාණවලට තමයි වැඩි නැඹුරුවක් දක්වන්නේ. අනික මමත් ආසයි මිනිස්සුන්ගේ හදවතට කතා කරනවා වගේ නිර්මාණ කරන්න. පවුල සහ විවාහය කියන්නේම හැමෝටම දැනෙන දෙයක්. හැමෝටම වැලඳගන්න දෙයක් කරන්න මම ආසයි.
හදි හූනියම්, කොඩිවින වගේ පැරණි සාම්ප්‍රදායික මතයන් යළි ඔබ මේ හරහා සමාජයට අරගෙන එන්න හදන්නේ ඇයි?
ඇත්තටම සමහරු හිතන්න පුළුවන් මේකෙන් මිථ්‍යාව වගේ සංකල්ප ප්‍රවර්ධනය කරනවා වගේම වපුරනවා කියලා. මේ නිර්මාණය මම අරගෙන යන්නේ මැද මාවතක. ඇත්තටම අපේ සමාජයේ මේවා විශ්වාස කරන සහ නොකරන දෙපිරිසක් ඉන්නවානේ. ඒ සඳහා වෙන අර්ථකථනයක් ගෙන එන්නයි මට වුවමනා වෙලා තියෙන්නේ. ඒකට තමයි මේ කතා සංකල්පයට මම ඒ වගේ සංකල්පයක් ඇතුළත් කළේ. මේ වගේ සංකල්පයක් මේ කතාවට අරගෙන එන්න එපා කියලත් අදහස් එනවා. හැබැයි මේ දේවල් අද කාලේ ගම්වල වෙන දේවල් හින්දයි නිර්මාණය ඇතුළට අරගෙන ආවේ.
විශේෂයෙන් මේ පිටපත ලියනකොට මේ චරිතවලට මොවුන් ගන්නවා කියලා හිතේ තියාගෙනම ද පිටපත ලිව්වේ?
මම මේ පිටපත මුලින් අධ්‍යක්ෂවරයාට ලියද්දී ඔහුගේ ඔළුවෙ හිටපු චරිත කිහිපයක් තිබ්බා. කලින් ලිව්වාට වඩා හාත්පසින්ම වෙනස් විදිහට තමයි දැන් කතාව ගලාගෙන යන්නේ. ඒ අනුව චරිත සෑහෙන වෙනස්වෙලා තිබ්බේ. ඒ චරිතවල පරිසරය පවා වෙනස් වුණා. ඒකත් එක්ක මම ආපහු චරිත තෝරා ගැනීමක් සිදුකළා. පොලිස් චරිතය නම් කලින් මේ තරම් දරුණු චරිතයක් විදිහට නෙමෙයි තිබුණේ. ඊට පසුව තමයි චරිතය මේ ආකාරයට ලියැවුණේ. මම Take Care නිර්මාණයේදී දිනක්ෂි, රෙබෙකා, කසුන් එක්ක වැඩ කරලා තිබ්බා. ඔවුන්ගේ හැකියාව දැකලා තිබ්බ හින්දා මේ චරිතවලට ඔවුන්ව ගැළපෙයි කියල හිතුවා.
උපාලිගේ චරිතය ගැන ගොඩක් දෙනෙක් කතාබහ වෙනවා. චෝදනා එල්ල වෙන අවස්ථා එහෙම තියෙනවාද?
අපි Take Care කරන කාලේ ඇඟලුම් ක්ෂේත්‍රයට අපහාස කරනවා කියලා තිබුණා. මම නිර්මාණයක් කරද්දී ඕනෑම වෘත්තියක විවිධාකාර මිනිස්සු ඉන්නවා කියලා තමයි සමාජයට තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. මම හිතන්නේ ඒක වැරදි තැනින් අල්ල ගන්න ඕනෑ දෙයක් නෙමෙයි. පොලිස්කාරයෙක් කියල පොලිසියට අපහාස කරන්න නෙමෙයි ඒ චරිතය ලියන්නේ. ඒක හුදෙක් නිර්මාණය උදෙසා විතරයි අපි භාවිතා කරන්නේ. මම හිතන්නේ කලාකාරයකුට නිදහස තියෙන්න ඕනෑ. ඒක හින්දා ඒක වැරදි තැනකින් අල්ලගන්න වුවමනා නැහැ කියලයි මම හිතන්නේ.
මේ දවස්වල කමෙන්ට්වල වැටෙනවා අරවින්ද සහ නෝනා, අයියා-නංගි වෙලා ඒ දෙන්නා අතරේ සම්බන්ධයක් ඇතිවෙන්නේ කොහොමද කියලා. සමහරු රචකයාට අමතක වෙලාද කියලත් අහනවා. නැතිනම් ඒ ගැන දන්නේ නැතිද කියලත්. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ?
මම තිර රචනය ඇතුළේ මිනිස්සුන්ට හිතන්න පොඩි දෙයක් ඉතුරු කරලා සහ පොඩි පොඩි ඩීටෙල්ස්වලින් කතාව කියවා ගන්න පුළුවන් විදිහට තමයි තිර රචනය සිදු කරන්නේ. එතැනදි මේ වෙන හැමදේටම හේතුවක් තියෙනවා සහ ප්‍රේක්ෂකයන්ට හිතෙන්න පුළුවන් මොකක්ද මේ වෙන්නේ? ඇයි මෙහෙම වුණේ? කොහොමද මෙහෙම වෙන්නේ? කියලා. ඒ ප්‍රශ්නවලට උත්තර දැනගන්න කතාව මුල ඉඳලා අගට කිසිම තැනක් අතහැර ගන්නේ නැතුව බලන්න වෙනවා. සමහරු ඇහැව්වා පට්ටි ගෙදරට ඇයි පට්ටි ගෙදර කියන්නේ කියලත්. ඒකට උත්තරය තිබුණේ පසුගිය 16 වැනි කොටසේ.
Take Care මේ තරම් සම්මානනීය ටෙලි නාට්‍යයක් වෙයි කියලා හිතුවද?
Take Care මේ තරම් හිට් එකක් වෙයි කියලා හිතුවේ නැහැ. අනික Take Care කියන්නේ වෙබ් සීරියස් එකක් විදිහට හැදෙන්න ගිය වැඩක්. ඒක ටෙලි නාට්‍යයක් විදිහට එළියට එන්නේ සාරංග අයියා, දිනක්ෂි අක්කා සහ ස්වාධීන රූපවාහිනියේ කලින් හිටපු සභාපති සුදර්ශන ගුණවර්ධන මහත්මයා හින්දයි. ඔවුන්ගේ කැපකිරීම හින්දයි මේක ටෙලි නාට්‍යයක් විදිහට එළියට ආවේ. ඒත් හිතුවේ නැහැ මේක මේ තරම් කතාබහට ලක්වෙයි කියලා. මට හැකිවුණා සිග්නීස් සම්මාන උළෙලේදී හොඳම අධ්‍යක්ෂණයට සම්මාන ලබාගන්න. දිනක්ෂි අක්කාට පළමු වැනි වතාවට හොඳම නිළිය සම්මානය ලබාගන්න පුළුවන් වුණා. ඇත්තටම සතුටුයි. මේ දේවල් මම හිතපු නැති දේවල්.
ඇත්තටම අනුෂ්ක රසංජන කවුද කියලා කිව්වොත්?
මම මුලින්ම පාසල් ගියේ බගවන්තලාව ධර්මකීර්ති විiාලයට. ශිෂ්‍යත්වය සමත් වෙලා මොරටුව වේල්ස් කුමර විදුහලට එනවා. මුලින්ම වේදිකා නාට්‍ය ගැන අවබෝධයක් එන්නේ බගවන්තලාව ධර්ම කීර්ති විදුහලෙන්. මොරටුව වේල්ස් කුමර විදුහලේදී ඒ දැනුම තවත් පුළුල් වුණා. මට පුංචි කාලෙ ඉඳලා වුවමනාවක් තිබ්බේ නාට්‍ය කලාව ගැන.
පුංචි කාලෙ ඉඳලම අධ්‍යක්ෂවරයෙක් වීමේ සිහිනය තමයි තිබුණේ. එහෙමද?
මම අධ්‍යක්ෂණය කියන කාර්ය දැනගෙන හිටියේ නැහැ. නමුත් වේදිකාව උඩ සිටින පිරිස පහළ සිට හැසිරවීමේ වුවමනාව තමයි මට තිබුණේ. ඉස්කෝලෙ කාලෙදිත් මමම ලියලා මමම අධ්‍යක්ෂණය කරලා වේදිකා නාට්‍ය රඟදැක්වූවා. පසුව මම උසස් පෙළ විභාගයට පෙනීසිටින්නේ ගණිත අංශයෙන්.
උසස් පෙළින් පස්සේ මොනවද කළේ?
පවුලේ ආර්ථික තත්ත්වයත් එක්ක මට සිද්ධ වුණා වැඩිදුර අධ්‍යාපනය නතර කරලා රැකියාවක් කරන්න. මම මුලින්ම රස්සාව කළේ බියගම ආයෝජන වෙළෙඳ කලාපයේ අත්වැසුම් නිෂ්පාදනය කරන සමාගමක රසායානාගාර තාක්ෂණවේදියකු ලෙස.
අම්මා, තාත්තා මොනවද කළේ?
තාත්තා නම් ඒ කාලේ පුංචි පුංචි ව්‍යාපාර කටයුතුවල තමයි නියැළුණේ. අම්මා ගෘහණියක්. දැන්නම් තාත්තා විදෙස්ගත වෙලා ඉන්නේ.
ඊට පස්සේ රැකියාවෙන් ඉවත්වෙනවාද?
ඔව්. මම දැනගෙන හිටියා මෙතැන මට අයිති තැනක් නෙමෙයි කියලා. ඊට පස්සේ ඒ රස්සාවෙන් ඉවත්වෙලා කලාවට සම්බන්ධ වෙනවා. ඒ රස්සාවෙන් මට ඉදිරියටම යන්න පුළුවන්කමක් තිබුණා. නමුත් මට හැමතිස්සේම වුවමනාවක් තිබ්බා කලාවට සම්බන්ධ වෙන්න. අද වෙනකොට මම ඒ රස්සාවේ හිටියා නම් හොඳ වැටුපක් අරගෙන ඉහළම තැනකට යන්න තිබුණා. නමුත් මට වුවමනාවක් තිබ්බේ කලාවෙන් ඉදිරියට යන්න.
රැකියාවෙන් මුලින්ම ණයක් අරගෙන මොනාලිසා කියලා කෙටි චිත්‍රපටයක් කළා. ඒක තමයි මගේ පළමු කෙටි චිත්‍රපටය. හැබැයි ඒ වැඩේ මුලින්ම හරියට කරගන්න බැරිවුණා. අන්තිමේ ආපහු සල්ලි ටිකක් එකතු කරගෙන ඒක නිර්මාණය කරනවා. ඒ කෙටි චිත්‍රපටය හරහා මට ජෝ දිසානායක හඳුනාගන්න ලැබෙනවා. ඔහුගෙන් ලද ආරාධනාවකට වෙබ් සීරියස් එකකට ‘දෙයාර් ඊස් අ බොස්’ කියලා පිටපතක් ලියනවා. කොටස් හයක් දවස් තුනෙන් ලියලා දෙනවා. ඒ වෙබ් සීරියස් එක නිෂ්පාදනය කරපු පිරිසට මගේ හරහා අලුත් වෙබ් සීරියස් එකක් අධ්‍යක්ෂණය කරන්න වුවමනා වුණා. රැකියාවෙන් ඉවත්වෙලා ස්ථිරවම මේ ක්ෂේත්‍රයට එනවා කියන තීරණය ගත්තේ එතැනින්. ඒ අනුවයි එකවහලක් යට කියන වෙබ් සීරියස් එක ගත්තේ. පසුව ඔවුන්ටම ඕනෑ වෙනවා මගේම පිටපතකට මගේම අධ්‍යක්ෂණයෙන් තවත් වෙබ් සීරියස් එකක් නිර්මාණය කරන්න. ඒ අනුවයි Take Care කොටස් දහයක නිර්මාණයක් විදිහට සිදුකරන්න ගත්තේ. අන්තිමේ ඒක ටෙලි නිර්මාණයක් විදිහට ප්‍රේක්ෂකයෝ අතරට යනවා.
ජීවිතයේ ගත්තු මේ තීරණ ගැන මොකද හිතෙන්නේ?
ජීවිතයේ අපිට දෙයක් වුවමනා නම් අපි ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා නම් ඒ දේවල් ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා.
අධ්‍යක්ෂවරයකු වීමේ අරමුණ කරා ළඟාවීමේදී ජීවිතයේ කටු කාපු එහෙම අවස්ථාත් තියෙනවාද?
තවමත් ඒ අභියෝග නැතිවාම නෙමෙයි. පට්ටි ගෙදර කරනකොටත් එහෙමයි. අපි මේ වැඩේ කරලා සෑහෙන කාලයක් තියාගෙන හිටියා. ඒ කාලය ඇතුළත අපි සෑහෙන ප්‍රශ්නවලට මුහුණදුන්නා. මම හිතනවා ජීවිතයේ එහෙම තැන් එන එකක් නැතිවේවි කියලා. මොනදේ කළත් ඒ ප්‍රශ්න බාධා ඒවි කියලා මට හිතෙනවා.
මේ වෙනකොට ඔබේ වෘත්තිය?
තිර රචනාව සහ අධ්‍යක්ෂණය කියන භූමිකාවේ තමයි ඉන්නේ. මම තවම අවිවාහකයි. තවම මට ලොකු බරක් නැති නිසා පවුලෙනුත් ලැබෙන සහයෝගය හින්දා නිදහසේ මේ වෘත්තිය කරගෙන යෑමේ වාතාවරණයක් දැන් නිර්මාණයක් වෙලා තියෙනවා. ඒ ගැන සතුටුයි. කලින් මට එහෙම වාතාවරණයක් තිබුණේ නැති හින්දා ලොකු වටයක් ගහලා මෙතැනට එන්න සිද්ධ වුණේ.
විකාශය වෙන නිර්මාණ හින්දා අලුත් නිර්මාණ අධ්‍යක්ෂණය සිදු කරන්නත් ආරාධනා එහෙමත් ලැබෙනවාද?
Take Care කළාට පස්සේ අපි අලුත් වැඩක් කරමු කියලා කතා කළා. මම සාමාන්‍යයෙන් එක වෙලාවට එක වැඩක් විතරක් කරන්න කැමැති කෙනෙක්. වැඩ දෙක තුනක් කරන්න කැමැති නැහැ සහ මට ඒක කරන්න අමාරුයි. එතකොට මම කරන වැඩේ හරියටම කරන්න කාලය අරගෙන කරන්න තමයි උත්සාහ කරන්නේ. කොච්චර ආරාධනා ආවත් කරන්න පුළුවන් නම් විතරයි කරන්නේ.
දිනේෂ් විතාන